පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2020-12-04
පුවත් කාණ්ඩ : කාරක සභා පුවත්
2013-2016 වර්ෂ ඇතුළත මෙරටට පාම් ඔයිල් ආනයනය කළ ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් නිසා ශ්‍රී ලංකා රේගුවට රුපියල් මිලියන 6130 ක් අහිමිව ඇති බව ඊයේ (03) පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාවේදී අනාවරණය විය
ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය නිසා අදාළ කාල පරිච්ඡේදය තුළ නිවැරදි භාණ්ඩ සංයෝජිත වර්ගීකරණ අංක ( HS Code ) යටතේ නිෂ්කාශනය නොකිරීමෙන් මෙම මුදල අහිමිව ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව විගණන විමසුමකින් හෙළිදරව් කර තිබේ.
මෙම වසර ත්‍රිත්වය සඳහා අදාළ සමාගම්වලින් රජයට පාඩු වූ මුදල් අයකරගැනීම සඳහා විමර්ශන කටයුතු ඉදිරියට ගෙනයාමට මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා කටයුතු කර තිබුණද ශ්‍රී ලංකා රේගුව කඩිනමින් ඒ සම්බන්ධව පියවර ගත යුතු බවට කාරක සභාව නියෝග කළ අවස්ථාවේදී රේගු අධ්‍යක්ෂ ජනරාල් විජිත රවිප්‍රිය මහතා ඒ සමිබන්ධව සිය එකඟත්වය පළ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රජයේ ගිණුම් කාරක සභාව හමුවට ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් පැමිණ සිටි අතර ඊට අමතරව මුදල් අමාත්‍යංශයේ ඉහළ නිලධාරීහුද විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන්ද සහභාගී වූහ.
එහිදී අවධානයට ගැනුණු තවත් කරුණක් වූයේ 2013 වසරේ සිට ආනයනකරුවන් විසින් විශේෂිත කාර්යයන් සඳහා ආනයනය කළ වාහන , ද්විත්ව කාර්ය වාහන (Dual purpose) ලෙස ලියාපදිංචි කිරීම නිසා බදු වශයෙන් ලැබිය යුතු රුපියල් මිලියන 220 ක් රජයට අහිමිවී තිබීමය. ඊට අමතරව, 2010-2019 දක්වා කාලයෙහි විශේෂිත වෑන් රථ 443 ක් සඳහා මිලියන 3 බැගින් බදු නියම කර අවම වශයෙන් රු.මි. 1300 ක මුදලක් රජයට අයකර ගත හැකිව තිබූ බවද මෙහිදී අනාවරණය විණි.
එමෙන්ම 2010 සිට 2014 දක්වා , වෑන් 10 ක් සහ ලොරි 414 ක් විශේෂිත කාර්යය වාහන ලෙස ආනයනයෙන් තවත් විශාල රේගු බදු අක්‍රමිකතාවක් සිදුව ඇති බව විගණනයෙන් පෙන්වා දී තිබූ කරුණුද මෙහිදී සාකච්ඡාවට ලක්විය.
තවද රු.මි. 9 කට ආසන්න වටිනාකමකින් යුතු සුඛෝපභෝගී මෝටර් රථයක් විශේෂ කාර්ය වාහන කාණ්ඩය යටතේ රු.මි. 1.5 ක බද්දක් පමණක් අය කරගනිමින් ශ්‍රී ලංකා රේගුව විසින් මුදවා හැරීමද කමිටුවේ අවධානයට ලක්විය. එම රථය අදාළ ප්‍රවාහන කාණ්ඩය යටතේ නිෂ්කාශනයට කටයුතු යෙදවූයේ නම්, රජයට අයවිය යුතු බද්ද රු. මි. 56 කට ආසන්න වේ. මෙම සියලු නිරීක්ෂණ පෙන්වා දීමෙන් අනතුරුව, මුදල් අමාත්‍යංශ ලේකම් එස් .ආර් ආටිගල මහතාගේ ද එකඟත්වයෙන්, රේගුව සහ මෝටර් රථ දෙපාර්තමේන්තුව අතර සාකච්ඡාවකින් පසුව කඩිනම් ස්වයංක්‍රීය පරිගණක සැසඳුම් පද්ධතියක් පවත්වාගෙන යාමට මීට පෙර අවස්ථාවකදී රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් ලබා දුන් නිර්දේශය සම්බන්ධව කඩිනමින් පියවර ගැනීමට යෝජනා කෙරිණි.
ඒ සඳහා පනත් සංශෝධනයක් අවශ්‍ය වන්නේ නම් ඊට නීති සම්පාදනයෙන් මැදිහත්වීමට ගිණුම් කාරක සභාවේ සභික මන්ත්‍රීවරයන්ගේ සහයෝගයද පළ විය.
ආනයන සහ අපනයන ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකා රේගුවේ ප්‍රමාණවත් අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවීම සහ පරිපාලනයේ හිඩැස් නිසා එකම ආනයනකරුවකු විසින් අවස්ථා හයකදී රු.39,335,091 වටිනා සුවඳ විලවුන් අඩංගු බහාලුම් හයක් බටහිර ඖෂධ ලෙස ප්‍රකාශ කර වංචා සහගතව නිදහස් කරගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් 40,761,600ක අහිමිවීම සහ එම වංචාවට සම්බන්ධ වූ නිලධාරීන්ට ප්‍රමාණවත් දඬුවම් ලබාදීමටද කටයුතු නොකිරීමද මෙහිදී අනාවරණය විණි.
2019 වසරේ ශ්‍රී ලංකාවේ ආදායමෙන් 32.48%ක ප්‍රතිශතයක් එකතු කරන රේගුවේ කාර්ය මණ්ඩලය සිය පැමිණීම-පිටවීම සටහන් කෙරෙන ඇඟිලි සලකුණු යන්ත්‍ර සඳහා විරුද්ධත්වය දැක්වීම, අභ්‍යන්තර පාලන දුර්වලතා, දෙපාර්තමේන්තු නීති අංශය සඳහා නීතිවේදියෙකු සහ ප්‍රධාන අභ්‍යන්තර විගණකවරයකු බඳවාගැනීම ආදී ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ද මෙහිදී කාරක සභා සභිකයන්ගේ අවධානයට ලක්වූ අතර සමස්ත විගණන විමසුම් සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරු සමග රේගු නිලධාරීන් තවත් දෙමසකට පසු කාරක සභාවට කැදවීමටද මෙහිදී තීරණය විය.
එම රැස්වීමට ‘කෝපා’ කමිටුවේ සාමාජිකයන් වන අමාත්‍ය දයාසිරි ජයසේකර , ශෙහාන් සේමසිංහ , ප්‍රසන්න රණවීර යන මහත්වරුන් ද , මන්ත්‍රීවරයන් වන තිස්ස අත්තනායක , අශෝක අබේසිංහ , මහාචාර්ය රංජිත් බණ්ඩාර, ආචාර්ය හරිනි අමරසූරිය , වෛද්‍ය උපුල් ගලප්පත්ති , එස්.ශ්‍රිධරන්, නිරෝෂන් පෙරේරා , ගාමිණී වලේබොඩ , ගුණපාල රත්නසේකර සහ වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.
2026-09-01
විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කරනු ලබන “Voice to Policy” සංවාදමය ප්‍රාදේශීය වැඩසටහන් මාලාවේ තෙවැන්න මහනුවර දිස්ත්‍රික් තරුණ ප්‍රජාව සඳහා මේ මස 05 වැනිදා මහනුවර ‘ගෝල්ඩන් ක්‍රවුන්’ හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.තරුණ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් විවෘත පාර්ලිමේන්තු සංකල්පය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන මෙම වැඩසටහන, විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් වන ගරු අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. එසේම සංසදයේ සාමාජික මන්ත්‍රීවරු මෙන්ම මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.මෙම වැඩමුළු මගීන් විශේෂයෙන් තරුණ ප්‍රජාව පාර්ලිමේන්තු කටයුතු, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සහ විවෘත පාර්ලිමේන්තු මූලධර්ම පිළිබඳ දැනුවත් කිරීම මෙන්ම, පාර්ලිමේන්තුව සහ පුරවැසියන් අතර සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.මෙම වැඩමුළුව සඳහා සහභාගීවීමට අපේක්ෂා කරන මහනුවර දිස්ත්‍රික්කයේ වයස අවු 18 – 35 අතර තරුණ තරුණියන් https://forms.gle/aVp5UzhLbtPSmVap8 සබැඳිය ඔස්සේ අදාළ පෝරමය සම්පූර්ණ කොට සැප්තැම්බර් 03 මධ්‍යහ්න 12.00ට පෙර ලියාපදිංචි විය විය යුතුය. එසේම සහභාගී වන්නන් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කරන සංකේතවලින් තොර ඇඳුමින් සැරසී සිටිය යුතු වේ. CII (Coalition for Inclusive Impact) ආයතනයේ අනුග්‍රාහක දායකත්වයෙන් මෙම වැඩමුළු මාලාව සංවිධානය කෙරේ.
2026-08-25
මෙරට මැතිවරණ පද්ධතිය (පළාත් සභා හැර) වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු සහ ජනතා අපේක්ෂාවන්ට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පත් කළ විශේෂඥ මණ්ඩලයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැත්විණි.මැතිවරණ සම්බන්ධයෙන් වන නීති (පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නීති හැර) සමාලෝචනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සහ ඒ සම්බන්ධයෙන් යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි. එහිදී විශේෂඥ මණ්ඩලයේ කාර්යභාරය, සමාලෝචනයට ලක් කළ යුතු කරුණු මෙන්ම ඉදිරි කටයුතු ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.මෙහිදී, මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහජනතාව සහ විවිධ සංවිධාන විසින් ඉදිරිපත් කර ඇති යෝජනා 31ක් ගැඹුරින් සමාලෝචනය කර, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂඥ මණ්ඩලය කටයුතු කිරීමට නියමිතය. එම සමාලෝචන ක්‍රියාවලියේදී විශ්වවිද්‍යාල ප්‍රජාව සහ පර්යේෂණ ආයතන විසින් සිදු කර ඇති අදාළ අධ්‍යයන හා පර්යේෂණ ද සැලකිල්ලට ගැනීමට නියමිතය.මෙම සමාලෝචන ක්‍රියාවලිය සඳහා මාස දෙකක කාලයක් ලබා දී ඇති අතර, එහිදී පවතින මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු හඳුනා ගැනීම මෙන්ම, අවශ්‍යතාව පවතින්නේ නම් වඩාත් සාධනීය ලක්ෂණ සහිත නව මැතිවරණ ක්‍රමවේදයක් හා මැතිවරණ සංස්කෘතියක් ගොඩනැඟීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතය.ඒ අනුව, කාරක සභාවේ අවසන් අරමුණ වන්නේ පවතින ක්‍රමවේදයට සංශෝධන කිහිපයක් එක් කිරීම පමණක් නොව, වර්තමාන අවශ්‍යතා සහ ජනතා අපේක්ෂාවන්ට ගැළපෙන වඩාත් විශ්වාසනීය, ප්‍රජාතන්ත්‍රවාදී සහ කාර්යක්ෂම මැතිවරණ පද්ධතියක් සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය හා නීතිමය නිර්දේශ සහිත වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි.මෙම රැස්වීමට කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන්තිලක ජයකොඩි, නීතිඥ තුෂාරි ජයසිංහ සහ චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2026-08-25
තැපැල් දෙපාර්තමේන්තුවේ 2004 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා සිදුව ඇති මූල්‍ය වංචා සහ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA විශේෂ අවධානය යොමු කෙරිණි. ඒ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) විසින් 2026 අප්‍රේල් 07 වැනිදා ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ තැපැල් දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්යසාධනය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.විමර්ශන කටයුතු වඩාත් විධිමත් කිරීම සඳහා නව පරිගණකගත මෘදුකාංග පද්ධතියක් හඳුන්වා දී ඇති බවත්, ඒ මඟින් විමර්ශන ගොනු පිළිබඳ තොරතුරු යාවත්කාලීන කර ඒවායේ ප්‍රගතිය අධීක්ෂණය කිරීමට කටයුතු කර ඇති බවත් මෙහිදී අනාවරණය විය. සුළු ස්වභාවයේ සිදුවීම් වෙනුවෙන් දීර්ඝ විමර්ශන පවත්වා සම්පත් වැය කිරීම වෙනුවට, වැදගත් මූල්‍ය වංචා සහ බරපතළ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රමුඛතාව ලබා දී විමර්ශන කඩිනම් කිරීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කළේය.තවද, ඇතැම් විමර්ශන වසර ගණනාවක් තිස්සේ අවසන් නොවීම, චෝදනා ලැබූ ඇතැම් පුද්ගලයන් අතුරුදන් වීම හෝ මියයාම හෝ, ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ප්‍රමාද වීම සහ විමර්ශන අංශයේ පවතින මානව සම්පත් හිඟය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නිලධාරීන්ට එරෙහි විමර්ශන සහ විනය ක්‍රියාමාර්ග නියමිත කාලසීමාවක් තුළ අවසන් කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාව අවධාරණය කළේය. එමෙන්ම, විමර්ශන අවසන් කර අදාළ වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් අලාභ අයකර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කඩිනම් කරන ලෙස ද උපදෙස් ලබා දෙන ලදී.තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය පාලනය සහ අභ්‍යන්තර පාලන ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.මේ අතර, තැපැල් දෙපාර්තමේන්තුවේ අතිකාල දීමනා කළමනාකරණය විධිමත් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මඟින් පළාත් නවයම සහ මධ්‍යම තැපැල් හුවමාරුව ආවරණය වන පරිදි සිදු කළ වැඩ අධ්‍යයනය මත පදනම්ව ප්‍රශස්ත සේවක සංඛ්‍යාවක් (Optimum Cadre) හඳුන්වා දීමට කටයුතු කරන බව නිලධාරීහු පැවසූහ.අතිකාල දීමනා ගෙවීමේදී සේවක පැමිණීම නිවැරදිව තහවුරු කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතයට ගෙන ඇති බවත්, ඉදිරියේදී එම දත්ත පදනම් කර ගනිමින් අතිකාල දීමනා ගෙවීම් වඩාත් විධිමත් කිරීමට කටයුතු කරන බවත් මෙහිදී සඳහන් විය.තැපැල් සේවාව නවීකරණය කිරීම සහ ඩිජිටල්කරණය කිරීම පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වූ අතර, Speed Post, Cash on Delivery සහ International Courier වැනි අගය එකතු කළ සේවාවන් තවදුරටත් පුළුල් කිරීම, තැපැල් බැංකු සේවා ඩිජිටල්කරණය කිරීම සහ නව තාක්ෂණය ඔස්සේ තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් වර්ධනය කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කෙරිණි.එමෙන්ම, තැපැල් දෙපාර්තමේන්තුව සතු උපතැපැල් කාර්යාල ජාලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් සැපයෙන දුෂ්කර ප්‍රදේශවල උපතැපැල් කාර්යාල වසා දැමීමකින් තොරව පවත්වාගෙන යාමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික ගරු නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, කාරක සභා සාමාජික ගරු මන්ත්‍රීවරයන් වන චානක මාදුගොඩ, ඔෂානි උමංගා, නීතීඥ සාගරිකා අතාවුද, මංජුල සුරවීරආරච්චි, චන්දන සූරියආරච්චි, අජන්ත ගම්මැද්දගේ, ලාල් ප්‍රේමනාත්, රුවන්තිලක ජයකොඩි සහ සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2026-08-24
බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවේ අදහස් හා යෝජනා ලබා ගැනීම කෙරෙහි රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.එම කාරක සභා සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය දා පැවති මෙම රැස්වීමේදී, විශේෂයෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ සිට නඩු පැවරීම දක්වා පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය මෙන්ම, ඒ සඳහා පවතින නෛතික බාධා ඉවත් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරිණි.එහිදී මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු කටයුතු ප්‍රමාද වීම, රජයේ රස පරීක්ෂක වාර්තා ලබාගැනීමේ ප්‍රමාදයන් සහ එමගින් රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳව ද අවධානය යොමු විය.මත්ද්‍රව්‍ය මර්දනයේදී පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පමණක් නොව, මත්ද්‍රව්‍ය ජාවාරම් ජාල සහ ඒවාට සම්බන්ධ නීති විරෝධී මූල්‍ය ගනුදෙනු හඳුනාගෙන පාලනය කිරීම සඳහා නවීන තාක්ෂණය භාවිත කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි. එමෙන්ම දුරකථන සමාගම් මගින් ක්‍රියාත්මක කරනු ලබන ඩිජිටල් මුදල් හුවමාරු ක්‍රම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් නීති විරෝධී මූල්‍ය ගනුදෙනු සඳහා අවභාවිත කිරීම වැළැක්වීම සඳහා සුදුසු නියාමන ක්‍රමවේද හඳුන්වා දීමේ අවශ්‍යතාව ද මෙහිදී පෙන්වා දෙන ලදී.තවද, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කිරීම වෙනුවට ප්‍රජාමූලික පුනරුත්ථාපන වැඩපිළිවෙළක් ශක්තිමත් කිරීම, අපරාධ වැළැක්වීම සඳහා මහජන සහභාගිත්වය වැඩිදියුණු කිරීම සහ පවතින නීති කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡාවට ලක් විය.එමෙන්ම, අපරාධ විමර්ශන කටයුතු කඩිනම් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව තුළ නවීන අධිකරණ වෛද්‍ය විද්‍යාගාරයක් (Forensic Laboratory) ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද අදහස් ඉදිරිපත් විය. විද්‍යාත්මක සාක්ෂි විශ්ලේෂණය කඩිනම් කිරීම මඟින් නඩු කටයුතු වේගවත් කර බන්ධනාගාර තදබදය අවම කිරීමට හැකි වනු ඇති බව ද මෙහිදී පෙන්වා දෙන ලදී.මීට අමතරව, පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය, වෘත්තීය පුහුණුව සහ විමර්ශන කුසලතා ඉහළ නැංවීම මෙන්ම පොලිස් කාර්ය සාධනය ඇගයීමේ ක්‍රමවේද වැඩිදියුණු කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.මෙම කාරක සභා රැස්වීමට කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, ජී.ජී. පොන්නම්බලම්, මුජිබුර් රහුමාන්, එම්.කේ.එම්. අස්ලම්, වෛද්‍ය සෙල්ලතම්බි තිලකනාදන්, ධර්මප්‍රිය විජේසිංහ චන්දන සූරියආරච්චි සහ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර යන මහත්වරුන් සහභාගි වූ අතර මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න මහතා සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks

