2020-11-30
විදුලිබල මණ්ඩලයේ විදුලි පද්ධතියේ ඇති වන දෝෂයන් සහ දුර්වලතාවයන් හේතුවෙන් සිදුවන පුද්ගල මරණයක දී රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් පිරිනැමීමට හැකිවන පරිදි රක්ෂණ ක්රමයක් ඇති කිරීමට විදුලිබල අමාත්ය ඩලස් අලහප්පෙරුම මහතා රක්ෂණ සංස්ථාව සමඟ සිදුකළ සාකච්ඡාවකදී තීරණය වී තිබේ.
එමෙන්ම ක්ෂණික විදුලි බිඳවැටීම් වැනි හේතූන් නිසා ගෘහ විදුලි උපකරණ වලට සිදුවන අලාභයන් පූරණය කිරීම සඳහා ද මෙම රක්ෂණ ක්රමය හඳුන්වා දීමට ශ්රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ සාකච්ඡා කළ බව විදුලිබල අමාත්ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (30) පාර්ලිමේන්තුවේ දී පැවති විදුලිබල අමාත්යාංශයේ සහ පුනර්ජනනීය බලශක්ති රාජ්ය අමාත්යාංශයේ අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේදීය.
නඩත්තු කටයුත සඳහා විදුලිය විසන්ධි කිරීමේ දී එය සතියකට පෙර අදාළ පාරිභෝගිකයන් වෙත දැනුම්දීම සඳහා ක්රමවේදයක් ආරම්භ කරන ලෙසද අමාත්යවරයා නිලධාරීන් වෙත උපදේශක කාරක සභාවේදී දැනුම් දුන්නේය.
පළාත් පාලන ආයතන වලට අයත් ප්රදේශ වලට වීදි පහන් සැපයීමේ ක්රියාවලිය විධිමත් කිරීමටත් එසේ සැපයෙන වීදි පහන් වලට අදාළ ප්රමිතියක් ඇති කිරීමටත් කාරක සභාවේදී තීරණය විය. විදුලිබල මණ්ඩලය විසින් වීදි පහන් වෙනුවෙන් වසරකට රුපියල් බිලියන දෙකක මුදලක් වැය කරනු ලබයි. විදුලි බලයෙන් ක්රියාකරන වීදි පහන් සවි කිරීමට නොහැකි ප්රදේශ වලට සූර්ය බලයෙන් ක්රියාකරන වීදි පහන් සවි කිරීමේ අවශ්යතාවය පිළිබඳව ද මෙහිදී කාරක සභාවේ අවධානය යොමු විය.
අකුණු සක්රීය ප්රදේශවල අකුණු හේතුවෙන් විශාල වශයෙන් දේපළ විනාශයට පත්වීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමුවූ අතර ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සමගද සාකච්ඡා කොට මේ සම්බන්ධව විසඳුමක් ලබා ගැනීමට මෙහිදී තීරණය විය.
රට තුළ සූර්ය ජනන බල කට්ටල (Solar Panel) සවි කිරීමේ දී විධිමත් ක්රමවේදයක් සහ පාරිභෝගිකයන් අපහසුතාවයට පත් නොවන ක්රියාවලියක් ඇති කළ යුතු බවටද මෙහි දී අවධානය යොමු විය. මේ සඳහා සුනිත්ය බල ශක්ති අධිකාරිය මඟින් නියාමන ක්රියාවලියක් ආරම්භ කරන බව පුනර්ජනනීය බලශක්ති රාජ්ය අමාත්ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
මෙයට අමතරව රාජ්ය ආයතන සඳහා සූර්ය ජනන බල කට්ටල ලබාදීම සඳහා ඉන්දීයානු ණය යොජනා ක්රමය යටතේ රුපියල් මිලියන 100ක් ලැබීමට නියමිත බවත් ඒ මහතා අවධාරණය කළේය. එමගින් රාජ්ය ආයතන වල විදුලිබිල් සඳහා වැයවන විශාල මුදල ක්රමයෙන් අඩු කර ගැනීම මෙහි අරමුණයි. මේ සමගම ආණ්ඩුවේ ආයතන වල වහලවල් සූර්ය ජනන බල කට්ටල සවි කිරීම සඳහා කුළියට ලබාදීම මගින් ආදායම් ඉපයීමේ වැඩපිළිවෙලක්ද යෝජනා කොට තිබේ.
මෙම අවස්ථාවට අමාත්ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්රීවරු වන සාරතී දුෂ්මන්ත, බී.වයි.ජී.රත්නසේකර, සමන්ප්රිය හේරත් චාර්ල්ස් නිර්මලනාදන් සහ විදුලිබල අමාත්යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, පුනර්ජනනීය බලශක්ති රාජ්ය අමාත්යාංශයේ ලේකම් හේමන්ත සමරකෝන් ඇතුළු නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.
2026-10-21
2023 වසරේ සිදු වූ කොළඹ වරායේ තෙල් බංකරින් පහසුකම් සඳහා ඉඩම් බදුදීම සහ ඊට අදාළ කරුණු පිළිබඳව පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්යාංශ ලේකම්වරයාට සහ ශ්රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් ලබා දෙන ලදී.ගරු පාර්ලිමේන්තු මන්ත්රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ එම කාරක සභාවේදී මෙම උපදෙස් ලබා දීම සිදු විය.කොළඹ වරායේ භාවිතයට නොගත් ඉඩම් බදු දීම, තෙල් බංකරින් (Bunkering) මෙහෙයුම් සඳහා ඉඩම් වෙන් කිරීම සහ ඒ ආශ්රිත නීතිමය සමථකරණ ක්රියාවලියේ විනිවිදභාවය හා වෙළඳපොළ තරඟකාරීත්වය පිළිබඳව මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. තෙල් බංකරින් ක්ෂේත්රය ලිහිල් කිරීම (Liberalization) සඳහා 2022 ජූනි 27 දිනැති අමාත්ය මණ්ඩල තීරණය අනුව සහ 1971 අංක 51 දරන ශ්රී ලංකා වරාය අධිකාරිය පනතේ 7 වැනි වගන්තිය ප්රකාරව හිස් ඉඩම් බදු දීමට ටෙන්ඩර් කැඳවා තිබී ඇත. එම ටෙන්ඩර් පටිපාටිය යටතේ තෝරාගත් සමාගමකට පරන්තන් ප්රදේශයෙන් ලබා දුන් ඉඩම සඳහා මධ්යම පරිසර අධිකාරියේ (CEA) අනුමැතිය ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් වරාය අභ්යන්තරයෙන් විකල්ප ඉඩමක් ඉල්ලා ඇති බව හෙළි විය. අදාළ සමාගමට නියමිත මාස හයක කාලය තුළ ප්රමාණාත්මක අවදානම් තක්සේරු වාර්තාව (QRA) ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා ශ්රී ලංකා වරාය අධිකාරිය විසින් එකඟතාව අවලංගු කළ ද, සමාගම අධිකරණයට යෑමෙන් අනතුරුව ශ්රේෂ්ඨාධිකරණය විසින් පාර්ශ්වයන්ට සමථයකට එළඹීමේ හැකියාව සොයා බලන ලෙස දන්වා ඇත.ශ්රී ලංකා වරාය අධිකාරියේ අතිරේක කළමනාකාර අධ්යක්ෂ (තාක්ෂණික), ප්රධාන නීති නිලධාරී සහ පරිශ්ර කළමනාකරුගෙන් සමන්විත නිලධාරී කමිටුවක් අදාළ සමාගම සමඟ සාකච්ඡා කර සමථයකට පැමිණ තිබේ. ඒ අනුව මුලින් ලබා දීමට සැලසුම් කළ අක්කර 4ක් පමණ වූ ඉඩම වෙනුවට තෙල් ගබඩාව (Oil Bank) ආසන්නයේ පිහිටි අක්කර 2ක් පමණ වූ ඉඩමක් ලබා දීමට එකඟතාව පළ කර, අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ශ්රේෂ්ඨාධිකරණයට ඒකාබද්ධ සමථ යෝජනාවක් (Joint Settlement Motion) ඉදිරිපත් කර ඇත.වරාය අභ්යන්තරයේ ජැටියට සහ තෙල් ගබඩාවට ආසන්නයෙන් පුද්ගලික සමාගමකට ඉඩම් ලබා දීම තුළින් වෙළඳපොළ ඒකාධිකාරයක් (Monopoly) හෝ අසාධාරණ තරඟකාරීත්වයක් ඇතිවේදැයි කාරක සභාව විසින් ප්රශ්න කරන ලදී. දැනට බංකරින් තෙල් ගබඩා කිරීමේ ඒකාධිකාරය පවතින්නේ ජයබහලු පර්යන්තය (JCT) සතුව පමණක් බැවින්, නව ආයෝජකයෙකු පැමිණීම මගින් එම ඒකාධිකාරය බිඳවැටී විවෘත තරඟකාරීත්වයක් ගොඩනැගෙන බව වරාය අධිකාරියේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.මෙම සමථ ගිවිසුම අත්සන් කිරීමට පෙර ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අමාත්යාංශය සහ ශ්රී ලංකා වරාය අධිකාරිය වෙත දැනුම් දී ඇත. ශ්රේෂ්ඨාධිකරණය විසින් නිශ්චිත ඉඩමක් ලබාදෙන ලෙස නියෝග කර නොමැති අතර, සමථයක් ලෙස මෙම ඉඩම යෝජනා කර ඇත්තේ ශ්රී ලංකා වරාය අධිකාරිය විසින් බැවින් එම යෝජනාව නිසි ලෙස සාධාරණීකරණය (Justify) කළ යුතු බව කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය. ඒ අනුව "තීරණය නිවැරදි විය යුතු සේම එම නිවැරදි බව විනිවිදභාවයෙන් යුතුව පෙනෙන්නට තිබිය යුතුය" යන මූලධර්මය මත පිහිටා, මෙමගින් වෙළඳ ඒකාධිකාරයක් බිහි වන්නේ ද නැතහොත් බිඳෙන්නේ ද යන්නත්, දීර්ඝකාලීන මූල්ය අවාසියක් සිදුවන්නේ ද නැද්ද යන්නත් ඇතුළත් පූර්ණ වාර්තාවක් සතියක් ඇතුළත ජනාධිපති ලේකම් කාර්යාලයට යැවීමට පෙර කාරක සභාව වෙත ලබා දෙන ලෙස අමාත්යාංශ ලේකම්වරයාට සහ ශ්රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයාට කාරක සභා සභාපතිවරයා විසින් දැනුම් දෙන ලදී.කොළඹ වරායේ මෙහෙයුම් ප්රගතිය සහ වර්ධනය පිළිබඳව ද මෙහිදී කාරක සභාව විසින් විමසන ලදී. රතු මුහුද, සූවස් ඇළ සහ හෝමූස් සමුද්ර සන්ධිය ආශ්රිත සැපයුම් දාමයට ඇති වන බාධා හමුවේ වුවද, කොළඹ වරායේ පර්යන්ත පහ ඒකාබද්ධව වසරේ මුල් මාස අට තුළ 11% ක පමණ වර්ධනයක් අත්කර ගනිමින් මෙහෙයුම් ඵලදායිතාව සහ ආදායම ඉහළ නංවා ගැනීමට සමත්ව ඇති බව වරාය අධිකාරියේ නිලධාරීහු පැවසූහ.කාරක සභා සාමාජික ගරු මන්ත්රීවරු පිරිසක් මෙන්ම වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්යාංශයේ සහ ශ්රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීහු පිරිසක් මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.
2026-10-21
මත්ද්රව්ය විනාශ කිරීමේ ක්රියාවලිය විධිමත් කිරීම, මත්ද්රව්ය සම්බන්ධ වැරදිවලදී ඇප ලබා ගැනීමේ විධිවිධාන සංශෝධනය කිරීම සහ කංසා ශාකය පිළිබඳ නීතිමය නිර්වචනය පැහැදිලි කිරීම අරමුණු කරගත් විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත් දෙකක්, රාජ්ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා සලකා බලා, නීතිපතිවරයාගේ අනුමැතියට යටත්ව අනුමත කරන ලදී.ගරු පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ කාරක සභාවේදී, අත්අඩංගුවට ගෙන රජයේ භාරයේ පවතින මත්ද්රව්ය විනාශ කිරීමේ ක්රියාවලිය කඩිනම් කිරීම සහ එහි විනිවිදභාවය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කර ඇති නීතිමය සංශෝධන පිළිබඳව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්යාංශයේ නිලධාරීහු කරුණු පැහැදිලි කළහ.එහිදී, රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව දින 60ක් ඇතුළත ලබා ගැනීම, එම වාර්තාව ලැබීමෙන් පසු දින 15ක් ඇතුළත අධිකරණ නියෝගය ලබා ගැනීම සහ අධිකරණ නියෝගයෙන් පසු දින 14ක් ඇතුළත මත්ද්රව්ය විනාශ කිරීම සඳහා කාලසීමා නියම කිරීමට අදාළ විධිවිධාන පිළිබඳව නිලධාරීහු පැහැදිලි කළහ. එමෙන්ම, සැකකරුවකු නොමැති හෝ මත්ද්රව්ය අතහැර දමා ගොස් ඇති අවස්ථාවලදී හෝ අදාළ නීතිමය ක්රියාපටිපාටිය අනුගමනය කරමින් මත්ද්රව්ය විනාශ කිරීමේ කටයුතු කඩිනම් කිරීමට යෝජනා කර ඇති විධිවිධාන පිළිබඳව ද කරුණු ඉදිරිපත් කෙරිණි.මත්ද්රව්ය විනාශ කිරීමේ ක්රියාවලියේ විනිවිදභාවය සහ සාක්ෂි සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා එම ක්රියාවලිය ඡායාරූපගත කිරීම හා වීඩියෝගත කිරීම, අවශ්යතාවක් ඇති වුවහොත් දෙවන රසායනාගාර පරීක්ෂණයක් සඳහා සාම්පලයක් ආරක්ෂිතව තබා ගැනීම සහ විශාල මත්ද්රව්ය තොගවලින් නියෝජිත සාම්පල ලබා ගැනීමේදී විද්යාත්මක ක්රමවේදයක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් යෝජිත විධිවිධාන ද නිලධාරීහු පැහැදිලි කළහ.මත්ද්රව්ය සම්බන්ධ වැරදිවලදී ඇප ලබා ගැනීමට අදාළ නීතිමය විධිවිධාන සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි. ඒ අනුව, ග්රෑම් 100 දක්වා බරක් සහිත මත්ද්රව්ය සම්බන්ධයෙන් ඇප ඉල්ලීම් අදාළ මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත්, එම සීමාව ඉක්මවන අවස්ථාවලදී අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් යෝජනා කර ඇති සංශෝධන පිළිබඳව නිලධාරීහු පැහැදිලි කළහ.මීට පෙර පැවති ග්රෑම් 10ක සීමාව සංශෝධනය කිරීමේ අරමුණ වන්නේ රස පරීක්ෂක වාර්තා ප්රමාද වීම ඇතුළු හේතු මත සැකකරුවන් දිගු කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීම අවම කිරීම සහ බන්ධනාගාර තදබදය අඩු කිරීමට දායක වීම බව ද මෙහිදී පැහැදිලි කෙරිණි. තවද, මත්ද්රව්ය ජාවාරමට අදාළ වැරදි සම්බන්ධයෙන් ආඥාපනතේ 54(1) වගන්තියට අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ද කරුණු ඉදිරිපත් විය.මෙම පනත් කෙටුම්පත් දෙකට අදාළව ශ්රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව ඉදිරිපත් වූ සංශෝධන සහ අතිරේක සංශෝධන ද කාරක සභා අවස්ථාවේදී සලකා බැලීමෙන් අනතුරුව, පනත් කෙටුම්පත් දෙක නීතිපතිවරයාගේ අනුමැතියට යටත්ව අනුමත කරන ලදී.මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන මුජිබර් රහුමාන්, චන්දන සූරියආරච්චි සහ ධර්මප්රිය විජේසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.
2026-10-19
දකුණු පළාත් සභාවට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය සමාලෝචනය කිරීමේදී රාජ්ය ආයතනවලට අදාළ දීමනා ලබාදීම, චක්රලේඛ නිසි පරිදි ක්රියාත්මක නොවීම, ප්රසම්පාදන ක්රියාවලියේ අක්රමිකතා සහ යන්ත්රෝපකරණ වෙන්දේසි කිරීමේදී සිදුවූ මූල්ය අලාභ සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අවධානය යොමු විය.2023.03.24 දිනැති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ රැස්වීමේදී ලබාදී තිබු නිර්දේශ සම්බන්ධයෙන් පසු විපරමක් සහ 2021-2023 වර්ෂවල විගණකාධිපති ත්රෛවාර්ෂික වාර්තාව, 2024 හා 2025 විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට එම කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරිණි.දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සතුව තිබූ ඇස්ෆෝල්ට් නිෂ්පාදන යන්ත්රය 2021 වසරේදී වෙන්දේසි කිරීමේදී සිදුවූ බව කියන අක්රමිකතා සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු වූයේය. 2013 වසරේදී අධිකාරිය වෙත පවරා දී තිබූ මෙම යන්ත්රය, 2018 වසරෙන් පසු මහා පරිමාණ මාර්ග කාපට් කිරීමේ ව්යාපෘති නොමැති වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කර තිබූ බව නිලධාරීහු පෙන්වා දුන්හ. යන්ත්රය අක්රියව තබා ගැනීමෙන් නඩත්තු හා ආරක්ෂණ වියදම් දැරීමට සිදුවීම ද එය වෙන්දේසි කිරීමට බලපෑ හේතුවක් ලෙස සඳහන් විය.කෙසේ වෙතත්, යන්ත්රය වෙන්දේසි කිරීමේදී එහි ඉතිරිව තිබූ තාර ලීටර් 21,782ක් සහ ඩීසල් තොගය නිසි පරිදි තක්සේරු කර වෙන්දේසි වටිනාකමට ඇතුළත් නොකිරීම හේතුවෙන් මූල්ය අලාභයක් සිදුවී ඇති බව මෙහිදී සාකච්ඡා විය. මෙම අලාභයට අදාළව ගැනුම්කරුගෙන් මුදල් අය කර ගැනීම සඳහා අධිකරණ ක්රියාමාර්ග ගෙන ඇති අතර, පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ද අනාවරණය විය.මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන හා විධිමත් විනය පරීක්ෂණ සිදුකර නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව විනය ක්රියාමාර්ග ගෙන තිබුණද, අලාභය අදාළ නිලධාරීන්ගෙන් අය කර ගැනීම මෙතෙක් සිදුව නොමැති බව ද සාකච්ඡා කෙරිණි. අදාළ නිලධාරීන් විසින් ඉදිරිපත් කර ඇති කරුණු ද සැලකිල්ලට ගනිමින්, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශනය කර සැබෑ වගකිවයුත්තන් හඳුනා ගැනීම සඳහා නැවත පූර්ණ විමර්ශන කමිටුවක් පත් කර ඇති බව නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.මීට අමතරව, දකුණු පළාත් සභාව යටතේ ක්රියාත්මක වූ ප්රසම්පාදන ක්රියාවලියේදී මතුවූ ගැටලු පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. පැළ සැපයීම සඳහා සිදුකළ ප්රසම්පාදනයකදී එකම සැපයුම්කරුවෙකු සමඟ ගිවිසුම් කිහිපයකට එළඹීම, අත්තිකාරම් මුදල් ගෙවා තිබියදී නියමිත සැපයුම් සම්පූර්ණ නොවීම සහ අයවිය යුතු මුදල් පියවා ගැනීම සඳහා ඉඩමක් පවරා ගැනීමට ගත් ක්රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි. එසේම, නිසි අවශ්යතා ඇගයීමකින් හෝ ශක්යතා අධ්යයනයකින් තොරව රුපියල් මිලියන 27ක පමණ වියදමින් ස්කෑනර් යන්ත්ර 86ක් මිලදී ගැනීම සහ ඒවායින් බහුතරයක් අපේක්ෂිත කාර්යයන් සඳහා භාවිතයට නොගැනීම පිළිබඳව ද සාකච්ඡා විය. අදාළ මෘදුකාංග ව්යාපෘතිය ක්රියාත්මක කිරීමේදී මතුවූ ගැටලු හේතුවෙන් ඩිජිටල්කරණ කටයුතු අතරමඟ ඇනහිටීම පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.තවද, රාජ්ය ආයතනවල නිලධාරීන්ට ඉන්ධන සහ නිවාස දීමනා ලබාදීමේදී අදාළ චක්රලේඛ හා මූල්ය රෙගුලාසි නිසි පරිදි අනුගමනය කර තිබේද යන්න සම්බන්ධයෙන් ද කරුණු විමසා බැලුණි.රාජ්ය මුදල් සහ දේපළ භාවිතයේදී විනිවිදභාවය හා වගවීම තහවුරු කිරීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභාව, අනාවරණය වූ ගැටලු සම්බන්ධයෙන් විධිමත් විමර්ශන සිදුකර, වගකිවයුතු පාර්ශ්ව හඳුනාගෙන අදාළ නීතිමය හා විනය ක්රියාමාර්ග ගැනීමේ අවශ්යතාව පිළිබඳව අවධානය යොමු කළේය.මෙම රැස්වීම සඳහා ගරු රාජ්ය අමාත්යවරුන් වන නලීන් හේවගේ, විශ්රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, අරවින්ද සෙනරත්, ගරු මන්ත්රීවරයන් වන නීතීඥ සාගරිකා අතාවුද, ටී. කේ. ජයසුන්දර, ලාල් ප්රේමනාත්, සුසන්ත කුමාර නවරත්න, රුවන්තිලක ජයකොඩි, මංජුල සුරවීර ආරච්චි, අජන්ත ගම්මැද්දෙගේ සහ සුනිල් රත්නසිරි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
2026-10-19
ක්ෂුද්ර මූල්ය සහ ණය නියාමන අධිකාරිය පනත කඩිනමින් ක්රියාත්මක කරමින් ක්ෂුද්ර මූල්ය ක්ෂේත්රය විධිමත් ලෙස නියාමනය කිරීමේ අවශ්යතාව පිළිබඳව ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමු විය.ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නීතිඥ ලක්මාලි හේමචන්ද්ර ගරු පාර්ලිමේන්තු මන්ත්රීතුමියගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අතර, එහිදී මේ පිළිබඳව ශ්රී ලංකා ක්ෂුද්ර මූල්ය වෘත්තිකයන්ගේ සංගමයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කෙරිණි.ක්ෂුද්ර මූල්ය සහ ණය දීමේ ක්ෂේත්රය නියාමනය කිරීම සඳහා සම්මත කරන ලද පනත කඩිනමින් ක්රියාත්මක කිරීමේ අවශ්යතාව මෙහිදී අවධාරණය කෙරිණි. අවිධිමත් ලෙස අධික පොලී අය කරමින් ජනතාව පීඩාවට පත් කරන ණය දෙන ආයතන පාලනය කිරීම මෙන්ම විධිමත් ලෙස ක්රියාත්මක වන ක්ෂුද්ර මූල්ය ආයතන සඳහා සාධාරණ නියාමන පරිසරයක් සකස් කිරීමේ අවශ්යතාව ද පෙන්වා දෙන ලදී.මෙහිදී ක්ෂුද්ර මූල්ය ව්යාපාර කටයුතු සිදු කරන ආයතනවලට බලපත්ර ලබාදීමේ ක්රියාවලිය, පනතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් පවතින නීතිමය හා ප්රායෝගික ගැටලු, තැන්පතු ලබා ගැනීමේ සීමා සහ අරමුදල් පිරිවැය පිළිබඳව සාකච්ඡා වූ අතර, දැනට ක්රියාත්මක ක්ෂුද්ර මූල්ය ආයතන සඳහා බලපත්ර ලබා ගැනීමේ ක්රියාවලිය සරල කිරීම, නියාමනයකට යටත්ව සීමිත මහජන තැන්පතු ලබා ගැනීමට අවස්ථාව සැලසීම සහ අඩු පිරිවැය අරමුදල් වෙත ප්රවේශය ලබාදීම සම්බන්ධයෙන් ද යෝජනා ඉදිරිපත් කෙරිණි.එමෙන්ම, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්යන්තර ආයතනවලින් ලැබෙන සහනදායී අරමුදල් නියාමනය වන ක්ෂුද්ර මූල්ය ආයතන වෙත ලබා දීමේ යාන්ත්රණයක් සකස් කිරීම තුළින් ණය පොලී අනුපාත පහළ දැමීමට හැකි ආකාරය පිළිබඳවද අවධානය යොමු විය.පනතේ පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධ වගන්ති ක්රියාත්මක කිරීම, නියාමන අධිකාරිය පිහිටුවීමට ගතවන කාලය සහ ආයතනවලට බලපත්ර ලබාගැනීම සඳහා ලබා දී ඇති කාලසීමාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.මේ අතර, ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් (LMSL) ආයතනය සඳහා ග්රිඩ් 68ක කැණීම් අයිතිය ලබාදීම සහ මෙහෙයුම් සහය ලබාදීම සම්බන්ධ කරුණු පිළිබඳව ද කාරක සභාවේදී අවධානය යොමු වූ අතර, ඒ සම්බන්ධයෙන් අවශ්ය නිර්දේශ නිකුත් කිරීමට කාරක සභාව තීරණය කළේය.උතුරු-නැගෙනහිර වෙරළ තීරයේ පවතින ඛනිජ වැලි තැන්පතු වෙනත් පෞද්ගලික ආයතන වෙත ලබා නොදී රාජ්ය සතු ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනය වෙත අනන්ය කැණීම් අයිතිය ලබාදෙන ලෙස එම ආයතනය විසින් කාරක සභාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබිණි.මෙහිදී නැගෙනහිර වෙරළ තීරයේ පවතින ඛනිජ වැලි තැන්පතු භාවිත කරමින් අගය එකතු කළ කර්මාන්ත සඳහා අවශ්ය අමුද්රව්ය දීර්ඝකාලීනව සහ අඛණ්ඩව සපයා ගැනීමේ අවශ්යතාව පිළිබඳව සාකච්ඡා විය. ඛනිජ වැලි අමුද්රව්ය ලෙස පමණක් අපනයනය කිරීම වෙනුවට අගය එකතු කළ නිෂ්පාදන බවට පත් කර අපනයනය කිරීමේ රජයේ ප්රතිපත්තිය අනුව, දේශීය හා විදේශීය ආයෝජකයන් ආකර්ෂණය කරගනිමින් අගය එකතු කිරීමේ ව්යාපෘති ක්රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.එමෙන්ම, අතීතයේ නිකුත් කර ඇති ඛනිජ කැණීම් බලපත්ර සමාලෝචනය කිරීම, අක්රමවත් ලෙස පවතින බලපත්ර සම්බන්ධයෙන් අවශ්ය පියවර ගැනීම සහ අදාළ ඛනිජ තැන්පතු LMSL ආයතනය වෙත පැවරීම පිළිබඳව ද සාකච්ඡා විය. පසුගිය කාලයේ සිදුව ඇති බවට හඳුනාගෙන ඇති ඇතැම් අක්රමිකතා සම්බන්ධයෙන් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට පියවර ගෙන ඇති බවද සඳහන් වූ අතර, ඉදිරියේදී ඛනිජ කැණීම් බලපත්ර නිකුත් කිරීමේදී විනිවිදභාවය සහ ආයතන අතර සම්බන්ධීකරණය තහවුරු කිරීම සඳහා බහු-ආයතනික කමිටු ක්රමවේදයක් ක්රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, කන්දසාමි ප්රභු, තිළිණ සමරකෝන්, විජේසිරි බස්නායක, සුරංග රත්නායක සහ සිවඥානම් ශ්රීතරන් යන මහත්ම මහත්මීන් ඇතුළු කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.