01

E   |     |  

2020-11-28

පුවත් කාණ්ඩ : කාරක සභා පුවත් 

රට තුළ ජල සම්පාදන කටයුතු කාර්යක්ෂම කිරීමට ලබන වසරේ ව්‍යාපෘති 264ක්

රට තුළ ජල සම්පාදන කටයුතු වඩා කාර්යක්ෂම කිරීම සඳහා ව්‍යාපෘති 264ක් එළඹෙන වසරේදී ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම් කොට ඇති බව ජලසම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය විය.

එම ව්‍යාපෘතිවලින් එක් කොටසක් 2021 වසරේදීත් අනෙක් කොටස 2022 වසරේදීත් ආරම්භ කිරිමට අමාත්‍යාංශය විසින් සැලසුම් කොට තිබේ.

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අදහස් දැක්වූ එම අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා, ඉහත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මගින් දැනට රට තුළ තිබෙන 40%ක් පමණ වන ජල සැපයුම් ආවරණය 78% දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.

එමගින් දැනට දවසකට නිෂ්පාදනය කරන ජලය ඝන මීටර් 2.07 ක ප්‍රමාණය ඝන මීටර් 4.47දක්වා වැඩි කිරීමටද හැකිවනු ඇත. මෙම සියළු ව්‍යාපෘති ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරුවන් විසින් නිර්මාණ සකස් කොට දේශීය අරමුදල් භාවිත කොට දේශීය කොන්ත්‍රාත් කරුවන් මගින් සිදු කිරීමට අපේක්ෂිතය.

ජලය සැපයීම පමණක් හුදෙක් තම ප්‍රතිපත්තිය නොවන බවත් ජනතාවට ගුණාත්මක ජලය සැපයීම තම අරමුණ බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය. තම අමාත්‍යාංශය යටතේ පවතින ජල සම්පත් මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය සහ ජාතික ප්‍රජා ජල දෙපාර්තමේන්තුව යන ආයතන ඒ සඳහා කාර්යක්ෂමව තටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ග්‍රාමීය හා ප්‍රාදේශිය පානීය ජල සම්පාදන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසූයේ ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති ඇසුරින් ජලසම්පාදන මණ්ඩලයේ ජලය සැපයීමෙන් ආවරණය නොවන ප්‍රදේශ සහ විශේෂ විභවතාවක් පවතින ප්‍රදේශවල ජනතාවට ජලය සම්පාදනය කිරීම තම අමාත්‍යාංශයේ කාර්යභාරය වන බවයි. එමෙන්ම අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව තුළ ලියාපදිංචි වී ඇති ප්‍රජාමූල සංවිධාන 4500ක ප්‍රමාණයක් මගින් මේ වන විට රට පුරා ජලය සපයන ජල සම්බන්ධතා සංඛ්‍යාව ලක්ෂ 7ක් පමණ වේ. ගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ ඉලක්කය වන රටේ ජනතාවට 100% ක් ජලය සැපයීමේ ඉලක්කය ළඟා කර ගැනීමට ප්‍රජාවගේ සහයද සහිතව කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මධුර විතානගේ, සම්පත් අතුකෝරළ, රාජිකා වික්‍රමසිංහ, මුදිතා ප්‍රශාන්ති, මිලාන් ජයතිලක, වීරසුමන වීරසිංහ, ඩී.එස් .හේරත්, සුදත් මංජුල, රෝහණ දිසානායක, කාදර් මස්තාන්, වසන්ත යාපා බණ්ඩාර, අජිත් රාජපක්ෂ, ජයරත්න හේරත්, ගුණතිලක රාජපක්ෂ, අසංක නවරත්න, ගීතා කුමාරසිංහ, සමන්ප්‍රිය හේරත්, කේ.පී.එස්. කුමාරසිරි, අමරකීර්ති අතුකෝරළ, ගම්ලත් සිරිපාල, ඉසුරු දොඩංගොඩ යන මහත්ම මහත්මීන්ද, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම, ග්‍රාමීය හා ප්‍රාදේශිය පානීය ජල සම්පාදන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.ජී විජයබන්දු යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.

 

1

2 



සම්බන්ධිත පුවත්

2026-01-29

ජාතික තරුණ සේවා සභාව ඔස්සේ තරුණ ව්‍යවසායකයින් බිහිකිරීම සම්බන්ධයෙන් සකස් කරන ලද නිර්ණායක පිළිබඳ තරුණ ව්‍යවසායකත්වය පිළිබඳ අනු කාරක සභාවේ අවධානය

ජාතික තරුණ සේවා සභාව ඔස්සේ තරුණ ව්‍යවසායකයින් බිහිකිරීම අරමුණ කරගනිමින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත් කළ තරුණ ව්‍යවසායකත්වය පිළිබඳ අනු කාරක සභාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්‍ෂ මහතාගේ සභාපතිත්වයෙන් 2026.01.21 දින පාර්ලිමේන්තුවේදී රැස් විය.මේ සඳහා ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, ලංකා වාණිජ මණ්ඩලය සහ දේශීය බැංකු නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.මෙහිදී තරුණ ව්‍යවසායකයින් නගා සිටුවීම සම්බන්ධයෙන් අවශ්‍ය සහය ලබාදීමට ජාතික තරුණ සේවා සභාව සකස් කිරීමට බලාපෙරොත්තු වන වැඩසටහනට අදාළ නිර්ණායක පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු විය. එසේම මේ සඳහා  ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ දේශීය බැංකු මගින් ලබාදිය හැකි සහයෝගය සම්බන්ධයෙන්ද සාකච්ඡා කිරීම සිදු විය. තවද විශ්ව විද්‍යාලවලින් පිටවන විද්‍යාර්ථීන්‍ ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයට සම්බන්ධ කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය. මෙම අනු කාරක සභාව සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චානක මාදුගොඩ,නීතිඥ නිලූෂා ලක්මාලි ගමගේ සහ ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. 


2026-01-29

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට අදාළ ගැටලු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට අදාළ ගැටලු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.මේ පිළිබඳ කරුණු සාකච්ඡා වූයේ එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් සහ ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනවිය, නිශාන්ත ජයවීර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, නිමල් පලිහේන, විජේසිරි බස්නායක යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් එම කාරක සභාව 2026.01.27 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්ත හා ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ   විවිධ ප්‍රජාව නියෝජනය  කරන  සංවිධාන කිහිපයක  නියෝජිතයින්  තම ක්‍ෂේත්‍රයන්හි  පවතින ගැටලු පිළිබඳව කාරක සභාව දැනුවත් කළේය. එහිදී මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට දිගුකාලීන ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන් තම කර්මාන්තය මුහුණ දෙන අසීරුතාවයන් පෙන්වා දෙමින් ශක්තිමත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාවය ඔවුහු අවධාරණය කළේය.එමෙන්ම අපනයනය දිරිමත් කිරීම උදෙසා පවතින නියාමනයන් ලිහිල් කිරීම, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කාර්යභාරය නැවත සමාලෝචනය කර සකස් කිරීම, ආදායම් බදු සඳහා ආරක්ෂිත වරාය රීති හඳුන්වා දීම, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා වැට් ප්‍රතිසංස්කරණ සිදු කිරීම, අවිධිමත් ලෙස ක්‍රියාත්මක වන විදේශීය ආයතන නියාමනය කිරීම හා විදේශීය ආයෝජකයින් දිරිමත් කිරීම ඔස්සේ තම කර්මාන්තය නගා සිටුවීමට හැකි බව ඔවුහු පෙන්වා දුන්හ. තවද මැණික් පතල් හැරීමේදී ස්කෑන් යන්ත්‍ර භාවිතය ඉඩ නොදීම සහ පවතින පතල් ඉඩම් අඩු වෙමින් යාමේ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ද එම කර්මාන්තකරුවෝ කාරක සභාවේ අවධානය යොමු කළහ.අවසානයේදී කාරක සභාවේ සභාපතිවරයා අදහස් දක්වමින් ලිහිල්කරණය (බදු හා භෞතික), පරිපාලනය සහ පතල් කැණීම් ප්‍රශ්නවලට අදාළ ප්‍රතිපත්ති කරුණු යන ප්‍රධාන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් කර්මාන්තය තුළ ගැටලු හඳුනාගත හැකි වූ බව ප්‍රකාශ කරන ලදී. ඒ අනුව, එකී කරුණු සමස්තයක් ලෙස ඒකාබද්ධ කරමින් සවිස්තරාත්මක සාකච්ඡා ලේඛනයක් සකස් කර, අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ඵලදායී සාකච්ඡා මාලාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා අවධාරණය කළේය. 


2026-01-29

ජාතික සිනමා පාසලක් ආරම්භ කිරීම පිළිබඳ කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේදී සාකච්ඡා...

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ පවතින සම්පත්වලින් ආරම්භ කිරීමටත් එකඟතාවයක් ඉදිරි පියවර සැලසුම් කිරීමට සියලු පාර්ශ්ව නියෝජනය වන තාක්ෂණික කමිටුවක් කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල නැවත මේ වසරේ ආරම්භ කිරීමට පියවරනවීන තාක්ෂණයෙන් සමන්විත සිනමා චිත්‍රාගාරයක් ඉදිකිරීම පිළිබඳ සාකච්ඡා මෙරට ජාතික සිනමා පාසලක් ස්ථාපිත කිරීම සඳහා  මූලික සාකච්ඡාවක් පසුගියදා (ජන. 22) කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ මූලිකත්වයෙන් පැවැත්විණි.කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට ගරු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනවිය ද සහභාගි විය.  ජාතික චිත්‍රපට සංස්ථාව, රාජ්‍ය සිනමා අනු මණ්ඩලය සහ  ශ්‍රී ලංකා පදනම් ආයතනය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් ද  චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, කලා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, අංග රචනා ශිල්පීන්ගේ සංසදය, සාක් සංස්කෘතික මධ්‍යස්ථානය, සිනමා අධ්‍යයනය පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයන් පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වූහ.  මෙහිදී පැමිණ සිටි නිලධාරීන් මෙන්ම සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයන් සහ ආචාර්යවරු ජාතික සිනමා පාසලක් ස්ථාපිත කිරීමට අදාළව සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ. ‍මෙම සිනමා පාසල සිනමාව පිළිබඳ දැනුම ලබාදීමෙන් ඔබ්බට ගිය ප්‍රායෝගික චිත්‍රපට නිර්මාණකරුවන් බිහිකරන පාඨමාලාවන්ගෙන් සමන්විත ආයතනයක් විය යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි. එසේම මෙම සිනමා පාසල අන්තර්ජාතික සිනමා පාසැල්වල ප්‍රමිතීන්ට අනුකූලව පවත්වා ගැනීමේ අවශ්‍යතාවත් මෙහිදී සාකච්ඡා විය.සිනමා කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ජාතික සිනමා පාසලක් ස්ථාපිත කිරීම පිළිබඳ දිගුකලක් මුළුල්ලේ කථිකාවක් පැවතිය ද තවමත් එය ක්‍රියාත්මක කිරීමට නොහැකිවී ඇති බැවින් සියලු අදාළ පාර්ශ්වයන්ගේ මැදිහත්වීමෙන් සහ පවතින සම්පත්වලින් එය ආරම්භ කිරීමත් අනතුරුව ක්‍රමිකව එය ශක්තිමක් කිරීමේත්  අවශ්‍යතාව සංසදයේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.  මේ අනුව ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික චිත්‍රපට සංස්ථාවේ දැනටමත් පවතින සම්පත් යොදාගනිමින් මෙම ජාතික සිනමා පාසල ආරම්භ කිරීමට අවශ්‍ය මූලික පියවර පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. ඊට අදාළ නෛතික රාමුව සකස් කිරීමත් අවශ්‍ය මූලික අනුමතිීන් ලබා ගැනීම ඇතුළු මූලික ඉදිරි පියවර සකස් කිරීම සඳහාත්  කමිටුවක් ස්ථාපිත කිරීම මෙහිදී සිදුවිය. ඒ අනුව කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය, ශ්‍රී ලංකා පදනම් ආයතනය, ජාතික චිත්‍රපට සංස්ථාව, රාජ්‍ය සිනමා අනු මණ්ඩලය සහ සිනමා ක්ෂේත්‍රයේ නියෝජිතයන් ඇතුළත් වන පරිදි තාක්ෂණික කමිටුවක් මෙහිදී ස්ථාපිත කෙරිණි. පාර්ලිමේන්තු සංසදයේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති මහාචාර්ය සීතා බණ්ඩාර, රාජ්‍ය සිනමා අනු මණ්ඩලයේ සභාපති ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර, සාක් සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය කෞෂල්‍ය කුමාරසිංහ ඇතුළු සිනමා ක්ෂේත්‍රය නියෝජනය  කරමින් පිරිසක් මෙම කමිටුවට පත්කර ගැනීම සිදුවිය.එසේම මෙම සිනමා පාසලේ විෂය මාලාව ඇතුළු අධ්‍යයන කටයුතු සැලසුම් කිරීම සඳහා සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත තවත් කමිටුවක් ස්ථාපිත කිරීමත් සිදුවිය.එසේම, දැනට අක්‍රීයවී ඇති කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල (International Film Festival, Colombo) මේ වසරේදී නැවත ආරම්භ කිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු විය. ඒ අනුව අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම සහ දිගුකාලීනව ස්ථාවර ලෙස මෙම සිනමා උළෙල පවත්වාගෙන යාමට අවශ්‍ය ආයතනයක් ස්ථාපිත කිරීමටත් මෙහිදී එකඟත්වය පළ විය. මෙම සියලු කටයුතු සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීමට සූදානම් බව මෙහිදී අදහස් දක්වමින් කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා සඳහන් කළේය. මේ අතර චිත්‍රපට නිෂ්පාදන කටයුතු සඳහා නවීන තාක්ෂණයෙන් යුතු චිත්‍රාගාර සංකීර්ණයක් ඉදිකිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා විය. කොළඹට නුදුරින් සුදුසු භූමි භාගයක මෙය ඉදිකිරීමේ අවශ්‍යතාවයත් ඒ අනුව ගත යුතු ඉදිරි පියවර පිළිබඳවත් මෙහිදී අවධානය යොමු විය. කලා හා සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සාමාජික මන්ත්‍රීවරයන් වන මහාචාර්ය සේන නානායක්කාර, නිතිඥ සුසන්ත දොඩාවත්ත, නිතිඥ නිලන්ති කොට්ටහච්චි, රුවන් මාපලගම, සුගත් වසන්ත ද සිල්වා, නිතිඥ හිරුනි විජේසිංහ, දිනේෂ් හේමන්ත සහ උපුල් කිත්සිරි ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වූහ. 


2026-01-28

දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සහ යාපනය ශික්ෂණ රෝහල පිළිබඳ ආයතන සමාලෝචනයක් සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදුකෙරේ

දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සහ යාපනය ශික්ෂණ රෝහල පිළිබඳ ආයතන සමාලෝචනයක් සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදු කරන ලදී.ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව 2026.01.21 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී.ඒ අනුව දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පිළිබඳ සමාලෝචනය පළමුව කාරක සභාවේදී සිදු කරන ලදී. එහිදී අදහස් දක්වමින් දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නිලධාරීහු දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය නිසා වසරකට පුද්ගලයින් 22,000 ක් පමණ මිය යන බවත් වසරකට රුපියල් බිලියන 225 - 240 ත් අතර මුදලක් රටට අහිමිව යන බව පෙන්වා දුන්හ.මෙ‍ම තත්ත්වයෙන් මූලිකවම මිදීමට අවශ්‍ය කෙරෙන නෛතික ප්‍රතිපාදන ඇතුළත් කරමින් දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත සංශෝධනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව ද පැවසූහ.ලොව රටවල් 104ක් තනි තනි වශයෙන් දුම්වැටි අලෙවි කිරීම තහනම් කර ඇති බවත් එම නීතිය මෙරටද ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය අවධාරණය කළේය. තනි තනි වශයෙන් දුම්වැටි අලෙවි කිරීමේදී දුම්වැටි ඇසුරුම්වල දක්වා ඇති අනතුරු ඇඟවීම් අදාළ පාරිභෝගිකයින්ට දෘශ්‍යමාන වීමක් සිදු නොවන බවද එම නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූහ.තවද දුම්වැටි සඳහා බදු පැනවීම, දුම්වැටි මිල නියම කිරීමෙන් අනතුරුව සිදුකිරීමේ වැදගත්කමද දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ  ජාතික අධිකාරියේ නිලධාරීහු අවධාරණය කළහ.මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා, දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් ඔවුන්ගේ පනතට සිදුකිරීමට අපේක්ෂිත සංශෝධනය හා අනෙකුත් වැඩසටහන් වෙනුවෙන් කාරක සභාව ලෙස අවශ්‍ය සහයෝගය ලබාදීමට සුදානම් බව පැවසීය.අනතුරුව යාපනය ශික්ෂණ රෝහල පිළිබඳව ආයතන සමාලෝචනය සිදු කෙරුණු අතර එහිදී එම රෝහලේ වර්තමාන තත්ත්වය පිළිබඳව රෝහල් බලධාරීන් විසින් කාරක සභාව දැනුවත් කරන ලදී. දැනට රෝහලේ සිදු කරන ප්‍රතිකාර ඇතුළු සියලු සත්කාර තවදුරටත් කාර්යක්ෂම හා වර්ධනය කරගැනීම උදෙසා කාර්යමණ්ඩල අවශ්‍යතාවක් මතුව ඇති බව රෝහල් පරිපාලන නිලධාරීහු පෙන්වා දුන්හ. එමෙන්ම යාපනය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් බවට පරිවර්තනය කරගැනීමේ අවශ්‍යතාවයද ඔවුන් කාරක සභාවට දැන්වූහ. එහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා, ලංකාවේ දැනට ජාතික රෝහල් 3ක් පවතින බවත් නුදුරේදී අවශ්‍ය නිර්ණායක සම්පූර්ණ කිරීමෙන් පසු යාපනය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් බවට පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වන බව පැවසුවේය. එමෙන්ම කාර්ය මණ්ඩලය පිළිබදව නැවත සමාලෝචනය කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී කාරක සභා සභාපතිවරයා විසින් පෙන්වා දුන්නේය.තවද යාපනය ශික්ෂණ රෝහල සඳහා අභ්‍යන්තර විගණකවරයෙක් රෝහලට පත්කොට රෝහල් පරිපාලනය ඇතුළු රෝහලේ ක්‍රියාකාරිත්වයේ විනිවිදභාවය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය සහය ලබාදෙන ලෙස රෝහල් පරිපාලන බලධාරීන් කාරක සභාවෙන් ඉල්ලා සිටියේය.මෙම රැස්වීම සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, කාරක සභා සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ දයාසිරි ජයසේකර, මුනීර් මුලාෆර්, සමන්මලී ගුණසිංහ, (මහාචාර්ය) සේන නානායක්කාර, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා, (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා, කාරක සභාවේ සභාපතිවරයාගේ අවසරය ඇතිව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (වෛද්‍ය)  ජනක සේනාරත්න, (වෛද්‍ය)  පත්මනාදන් සත්‍යලිංගම්  යන මහත්ම මහත්මීන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්, යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු පරිපාලන නිලධාරීන් සහ දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks