01

E   |   த   |  

2020-08-20

පුවත් කාණ්ඩ : පුවත් 

මහින්ද යාපා අබේවර්ධන මහතා අභිනව පාර්ලිමේන්තුවේ ගරු කථානායක ධූරයට

පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා අද (20) පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මහින්ද යාපා අබේවර්ධන මහතා  කථානායක ධුරයට සුදුසු බවට සභානායක සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යෝජනා කළ අතර, සමගි ජනබලවේගයේ ප්‍රධාන ලේකම්  පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබංඩාර  මහතා එය ස්ථිර කළේය.

අනතුරුව මහින්ද යාපා අබේවර්ධන මහතා කථානායක අසුන වෙත කැඳවා ගෙන යාම ඔවුහු දෙදෙනා සිදු කළෝය.

එහිදී  පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේ එතුමා නව කථානායකවරයා ලෙස  දිවුරුම් දුන්නේය. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ  පාර්ලිමේන්තුව කැඳවීමේ ප්‍රකාශනය පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා කියවීමෙන් අනතුරුව නව කථානායකවරයා තෝරා පත් කර ගැනීම සිදු විය.

 

new-speaker-mahinda-yapa-abeywardana

 



සම්බන්ධිත පුවත්

2026-11-12

මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2027 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

දෙවැනිවර කියවීමේ විවාදය හෙට (නොවැ. 13) සිට නොවැම්බර් 20 දක්වාකාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම (අයවැය කථාව) මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.අද ප.ව. 1.30 ට පමණ අයවැය යෝජනා සමඟ ගරු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපතිවරයාගේ කාර්යාලයේ සිට සභාගර්භයට පැමිණි අතර ප.ව. 6.30 දක්වා අය වැය යෝජනා ඉදිරිපත් කරන ලදී.විදෙස් තානාපතිවරුන්, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, විනිසුරුවරුන් ඇතුළු ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය (අයවැය විවාදය) නොවැම්බර් 13 සිට දෙසැම්බර් 14 දක්වා දින 26 ක් පැවැත්වීමට නියමිතව තිබේ.2026 ඔක්තෝබර් 07 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය හෙට (13) සිට නොවැම්බර් 20 දක්වා දින 07 ක් පැවැත්වීමට නියමිතය. අනතුරුව නොවැම්බර් 20 වැනිදා ප.ව. 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා සෙනසුරාදා දින 04 ක්ද ඇතුළුව දින 19 ක් පැවැත්වීමට නියමිතව ඇත. ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා ප.ව. 6.00 ට පැවැත්වීමට නියමිතව තිබේ.


2026-11-12

ගරු කථානායකතුමාගේ නිවේදන - 2026.11.12

“ශ්‍රී ලංකා ක්‍රිකට්” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ශ්‍රී ලංකා ක්‍රිකට්” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (නොවැ. 12) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.එම නිවේදනයට අනුව, පනත් කෙටුම්පතේ 29 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ඇ) ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවේ දක්වා ඇති විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරන ලද සංශෝධනය කාරක සභා අවස්ථාවේ දී සිදු කිරීමෙන් පසු එම අනනුකූලතාවය ඉවත් වන අතර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි ය.තවද, පනත් කෙටුම්පතේ 7(1) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවේ දක්වා ඇති විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරන ලද සංශෝධනය කාරක සභා අවස්ථාවේ දී සිදු කිරීමෙන් පසු එම අනනුකූලතාවය ඉවත් වන අතර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි ය.තවද, ඉහත කරුණුවලට යටත්ව පනත් කෙටුම්පතේ අනෙකුත් කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් තීරණය කර ඇත.“ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයද කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.එම නිවේදනය අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත්තේ පහත සඳහන් සංශෝධන කාරක සභා අවස්ථාවේ දී සිදු කිරීමෙන් අනතුරුව (ඉන් සංශෝධන තුනක් දැනටමත් අතිරේක සොලිසිටර් ජනරාල්තුමා විසින් සිදු කිිරීමට එකඟ වී ඇත.) මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවයි:-•    “එම පොලිස් නිලධාරියාගේ ඉල්ලීම මත” යන වචන ඇතුළත් කිරීම මගින් 26(2) වගන්තිය සංශෝධනය කළ යුතු අතර, එම ඇතුළත් කිරීමෙන් අනතුරුව 26(2) වගන්තිය පහත පරිදි විය යුතු ය:-“(1) උපවගන්තිය යටතේ යම් සැකකරුවකු මහෙස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, වැඩිදුර විමර්ශන සිදු කිරීමේ අරමුණින් සැකකරු වැඩිදුරටත් දීර්ඝ කරන ලද කාලයක් සඳහා රඳවා තබා ගැනීමට අවශ්‍ය බවට විශ්වාස කිරීමට එම විමර්ශනය සිදු කරනු ලබන පොලිස් නිලධාරියාට සාධාරණ හේතු ඇති අවස්ථාවක දී, එම පොලිස් නිලධාරියාගේ ඉල්ලීම මත, මහෙස්ත්‍රාත්වරයා විසින් ලිඛිතව හේතු වාර්තා කරමින්, පැය විසිහතරක් නොඉක්මවන වැඩිදුර කාලසීමාවක් සඳහා එම සැකකරු අත්අඩංගුවේ තබා ගැනීම සඳහා බලය දෙනු ලැබිය හැකි ය”;•    ඵලදායී අධිකරණ අධීක්ෂණයක් සහතික කිරීම සඳහා, 59(5)(ආ) වගන්තියේ සඳහන් “අභියාචනාධිකරණය” යන වචන වෙනුවට “ශ්‍රේෂ්ඨාධිකරණය” යන වචන ආදේශ කිරීමෙන් සංශෝධනය කළ යුතු ය;•    අනවශ්‍ය ප්‍රතිපාදනයක් වන බැවින්, පනත් කෙටුම්පතේ 60(7) වගන්තිය ඉවත් කළ යුතු ය; සහ•    66(1) වගන්තිය පහත පරිදි නැවත සකස් කළ යුතු ය:-“මෙම පනත යටතේ නිකුත් කරන ලද හෝ කරන ලද විධායක නියෝගයක්, මෙහෙයුම් විධානයක් හෝ නියමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126, 140 හෝ 141 ව්‍යවස්ථා යටතේ වූ නඩු කටයුතුවලදී ප්‍රශ්න කරනු ලැබිය හැකි ය.”“ආගමන” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයකථානායකවරයා විසින් නිවේදනය කරන ලද “ආගමන” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පහත පරිදි වේ.•    43(3) වගන්තිය, එහි වර්තමාන ස්වරූපයෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(එ) ව්‍යවස්ථා සමඟ අනනුකූල වේ. කෙසේ වුවද, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් කර ඇති පරිදි 43(3) වගන්තිය ප්‍රතියෝජනය කර නව 43(4) වගන්තිය ඇතුළත් කිරීමෙන් මෙම අනනුකූලතාවය ඉවත් වනු ඇත.•    169 වගන්තිය, එහි වර්තමාන ස්වරූපයෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 ව්‍යවස්ථාව ද සැලකිල්ලට ගත් කළ, 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වේ. කෙසේ වුවද, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් කර ඇති ආකාරයට 169(1) සහ 169(3) වගන්ති සංශෝධනය කිරීමෙන් මෙම අනනුකූලතාවය ඉවත් වනු ඇත.•    45 සහ 65 වගන්ති, එහි වර්තමාන ස්වරූපයෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමඟ අනනුකූල වේ. කෙසේ වුවද, 45(1) වගන්තිය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් කර ඇති පරිදි සංශෝධනය කිරීමෙන් සහ ආගමන පහසුකම් සඳහා වන පිරිවැය සම්බන්ධයෙන් යෝජිත විධිවිධානයක් සුදුසු අංකනයක් යටතේ ඇතුළත් කිරීමෙන්, මෙම අනනුකූලතාවයන් ඉවත් වනු ඇත.•    සලකා බලන ලද කරුණු පදනම් කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ වෙනත් කිසිදු අනනුකූලතාවයක් නොමැත. එසේම, “ලිඛිත” යන වචනය ඉවත් කිරීමෙන් 174 වගන්තිය සංශෝධනය කරන බවට ලබා දී ඇති එකඟතාවය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සටහන් කර ඇත.•    හඳුනාගත් අනනුකූලතාවයන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය සංශෝධන සිදු නොකරන්නේ නම්, අදාළ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව මඟින් නියම කර ඇති විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කළ යුතු ය,යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.ශ්‍රේෂ්ඨාධිකරණයේ උක්ත තීරණ අද දින පාර්ලිමේන්තුවේ කටයුතු දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු බවට කථානායකවරයා නියෝග කළේය.


2026-11-11

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන දූත මණ්ඩල නිලධාරී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා හමු වෙයි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති / නියෝජ්‍ය ප්‍රධාන දූත මණ්ඩල නිලධාරී ඩේවිස් මයර්ස් (Davis Myers) මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා හමු වී සුහද සාකච්ඡාවක නිරත විය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය.නියෝජ්‍ය කථානායකවරයා විසින් මයර්ස් මහතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පවතින දිගුකාලීන සබඳතා එහිදී යළිත් සිහිපත් කළ අතර විශේෂයෙන්ම අභියෝගාත්මක අවස්ථාවන්හිදී ඇමෙරිකානු රජය ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. එසේම පාර්ලිමේන්තු කටයුතු ශක්තිමත් කිරීම සහ ආයතනික ධාරිතාව වර්ධනය කිරීම සඳහා අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මඟින් ලබා දුන් සහාය ද අගය කළේය.මෙහිදී පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ ඇමෙරිකානු කොංග්‍රස් අයවැය කාර්යාලය (U.S. Congressional Budget Office - CBO) එක්ව සංවිධානය කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ සංචාරය පිළිබඳව අදහස් දැක්වූවාය. එමෙන්ම USAID ආයතනය මඟින් පාර්ලිමේන්තුවේ මහජන සම්බන්ධතා වැඩසටහන් ශක්තිමත් කිරීම ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි ලබා දුන් සහාය පිළිබඳව ද ඇය සිහිපත් කළාය.ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමටත්, එය තවදුරටත් ශක්තිමත් කිරීමටත් තම කැපවීම මයර්ස් මහතා යළිත් අවධාරණය කළේය. පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ අලංකාරය සහ එහි ගෘහ නිර්මාණ ශිල්පීය වැදගත්කම මෙන්ම ශ්‍රී ලංකාවේ ස්වාභාවික සුන්දරත්වය ද ඔහු අගය කළේය.දෙපාර්ශ්වය අතර සමුද්‍රීය ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළු දෙරටටම වැදගත් කරුණු පිළිබඳව සුහද සාකච්ඡා පැවැත්විණි.මයර්ස් මහතා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ අතර, එහිදී ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණ ලක්ෂණ සහ පාර්ලිමේන්තුවේ පහසුකම් පිළිබඳව නිලධාරින් විසින් ඔහුට කරුණු පැහැදිලි කරන ලදී.ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරී රේචල් හගින්ස් මහත්මිය සහ දේශපාලන විශේෂඥ නස්රීන් මරික්කාර් මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


2026-11-11

අනුරාධපුරයේ පුරාවිද්‍යාත්මක ස්ථාන 846 ක උරුමයන් රැක ගැනීමට රුපියල් මිලියන 18 ක ප්‍රතිපාදන

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ වන විට හඳුනාගෙන ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන 846 ක් සංරක්‍ෂණය කිරීම සඳහා රුපියල් 18,058,884 ක ප්‍රතිපාදන මෙම වර්ෂයේ වෙන් කර ඇති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා පැවසීය. මේ අනුව, දෙපාර්තමේන්තු ප්‍රදාන යටතේ රුපියල් 12,609,034 ක් ද බාහිර ප්‍රතිපාදන මත රුපියල් 5,449, 850 ක් ද මෙයට අයත් වන බව සභාගත කළ සංඛ්‍යා දත්තවල සඳහන්ව ඇත.  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.මෙම පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව, සංරක්ෂණය සඳහා එක් එක් පුරාවිද්‍යා ස්ථානවල අගයන්, බලපෑම්වල ස්වභාවය, පිහිටි ස්ථානය, නෛතික පසුබිම ආදිය සලකා බලා කටයුතු සිදු කර ඇති බවත් පැවසු අමාත්‍යවරයා, ඒ යටතේ ස්ථාන අධීක්ෂණ කටයුතු කිරීම, මුර කටයුතු, ආරක්ෂිත වැට, මායිම් කණු යෙදීම, නීතිමය කටයුතු සිදු කිරීම, ගවේෂණ කටයුතු කිරීම, නඩත්තු කිරීම, තහවුරු කිරීම, කැණීම් කිරීම සහ සංරක්ෂණය කිරීම සිදු කර ඇති බවත් වැඩිදුරටත් කියා සිටියේය. 






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks