පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2020-08-03
පුවත් කාණ්ඩ : පුවත්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ 82 වන රැස්වීම අද (අගෝ. 03) පස්වරුවේ එහි සභාපති ගරු කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදී පැවති අතර අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මහින්ද සමරසිංහ සහ බිමල් රත්නායක යන මහත්වරු ඊට සහභාගී වූහ. ඔවුනට අමතරව සිවිල් සංවිධාන නියෝජිතයන් වන ජාවෙඩ් යූසුෆ් සහ නාගනාදන් සෙල්වකුමාරන් යන මහත්වරුන් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද ඊට එක්ව සිටියහ.
ආරම්භයේදීම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් පිළිගනු ලැබු ගරු හිටපු කථානායනවරයා ඉතා කාර්ය බහුල වකවානුවක රැස්වීමට සහභාගිවීම පිළිබදව සියලු දෙනාටම ස්තූතිය පළකර සිටියේය.
ඉන්පසුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවට , මානව හිමිකම් කොමිෂන් සභාවට සහ හානි පූර්ණය පිළිබද කාර්යාලයේ පවතින පුරප්පාඩු සදහා ඉදිරිපත්කර ඇති නාමයෝජනා සාකච්ඡාවට ලක්කළ ව්‍යවස්ථා සභාව ඒපිළිබද අවසන් තීරණයක් ගැනීම ලබන රැස්වීම දක්වා කල් තැබීමට තීරණය කරන ලදී.
අනතුරුව මුදල් කොමිසම, සීමා නිර්ණය පිළිබද කොමිෂන් සභාව,විගණන සේවා කොමිසම සහ ජාතික ප්‍රසම්පාදන කොමිසම විසින් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත්කර තිබූ කාර්තු වාර්තා ඇගයීමට ලක්කරන ලදී.
එමෙන්ම මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය වන ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය විසින් එම තනතුරෙන් ලබන සැප්තැම්බර් 01 වැනිදා සිට ඉවත්වන බව දන්වමින් එවා තිබු ඉල්ලා අස්වීමේ ලිපිය අවධානයට ලක්කළ ව්‍යවස්ථා සභාව එම කොමිෂන් සභාවේ තත්ත්වය ඉහල නැංවීමට සභාපතිනිය ලෙස ඇය විසින් ඉටුකළ මෙහෙය ඇගයීමට ලක් කළේය.තවද පසුගිය කාලය තුළ ලොව අනෙකුත් මානව හිමිකම් කොමිෂන් සභා අතර මෙම මානව හිමිකම් කොමිෂන් සභාව ඉහල තත්ත්වයකටද පත්වීම ද සිදුවූ බවත් ඒ සදහා ඇය විසින් ඉටුකළ කාර්යභාරය සුවිශේෂි බවද එතුමා සදහන් කළේය.
ඉහත කරුණු සාකච්ඡා කිරීමේන් අනතුරුව අදහස් දැක්වූ සභාපතිවරයා තමන් විසින් සභාපතීත්වය දරණ අවසාන ව්‍යවස්ථා සභා රැස්වීම මෙය බවත් මෙතෙක් එහි කටයුතු පවත්වා ගෙන යාම සදහා ගරු අගමැතිවරයා ඇතුළු සාමාජිකයන්ගෙන් ලැබුණු සහයෝගය පිළිබදව සිය කෘතවේදිත්වය පළ කළේය.එමෙන්ම ව්‍යවස්ථා සභාව විසින් සියලු තීරණ ගනු ලැබුවේ සියලු සාමාජිකයන් ඉදිරිපත් කළ කරුණු සාකච්ඡාවට ලක්කරමින් සියලු දෙනාගේම එකගත්වය ඇතිව බවද කරු ජයසූරිය මහතා සදහන් කළේය.
ඒ අතරම ව්‍යවස්ථා සභාවේ සියලු රැස්වීම් ඉතා කාර්යක්ෂමව සහ විධිමත්ව පැවැත්වීමට පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාගෙන් සහ කාර්ය මණ්ඩලයෙන් ලැබුණු සහයෝගය පිළිබදවද සභාපතිවරයා සිය ස්තුතිය පළ කළේය.එමෙන්ම සභාපතිවරයා ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිවරුන්ට ද සිය කෘතවේදිත්වය පළ කළේය.
මේ අවස්ථාවේදි අදහස් දැක්වු ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ව්‍යවස්ථා සභාවේ සියලු රැස්වීම් සුහද වාතාවරණයක් තුළ පැවැත්වීමත් සියලු සාමාජිකයන්ගේ අදහස්වලට ඉඩ ප්‍රස්ථා සලසා දීම පිළිබදවත් තම කෘතවේදීත්වය කරු ජයසූරිය මහතා වෙත පළ කර සිටියේය. හිටපු කථානායකවරයා සම්බන්ධයෙන් ගරු අගමැතිවරයා පළ කළ අදහස් සමග තමන්ද එකගවන බව මහින්ද සමරසිංහ මහතා සදහන් කළේය.
සභාපති කරු ජයසූරිය මහතා එම තනතුරේ සිටිමින් කළ මෙහෙවර ඇගයීමට ලක්කළ බිමල් රත්නායක මහතා කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුව වෙනුවෙන් සැම විටම පෙනී සිටි සුවිශේෂි කථානායකවරයෙකු බවද සදහන් කර සිටියේය.එමෙන්ම නවීන අවශ්‍යතාවයන්ට ගැළපෙන අයුරින් පාර්ලිමේන්තු කටයුතු ඉහළ නැංවීම සදහා කථානායකවරයා ප්‍රධාන භූමිකාවක් ඉටුකළ බවද බිමල් රත්නායක මහතා ප්‍රකාශකර සිටියේය .
සිවිල් සංවිධාන නියෝජිත ජාවිඩ් යූසුෆ් මහතා අදහස් දක්වමින් සභාපතිවරයා ව්‍යවස්ථා සභාව තුළදී විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කළ හා විවිධ මතයන් දැරූ සියලු දෙනාගේම අදහස්වලට ගරු කරමින් හා ඒවාට ඉඩකඩ ලබා දෙමින් ඉතා සමබර කාර්යභාරයක් ඉටුකළ බව සදහන් කළේය. නාගනාදන් සෙල්වකුමාරන් මහතාද හිටපු සභාපතිවරයාගේ සේවය ඇගයීමට ලක්කළේය.
2026-08-28
පාර්ලිමේන්තුව සැප්තැම්බර් 8 සිට 11 දක්වා රැස්වීමට නියමිත ය. ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (අගෝ. 20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබේ. මේ අනුව සැප්තැම්බර් 8 අගහරුවාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා (203 වන අධිකාරය වූ) මෝටර් වාහන පනත යටතේ අංක 2489/22 සහ 2493/19 දරන අති විශේෂ ගැසට්පත්‍රවල පළ කරන ලද නියෝග දෙකක් අනුමතිය සඳහා විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී තිබේ. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම සඳහා කාලය වෙන් කර ඇත.සැප්තැම්බර් 9 බදාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. ඉන්පසු පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා කාන්තාවන් සවිබලගැන්වීමේ පනත යටතේ යෝජනා සම්මතය අනුමතිය සඳහා විවාදයට ගැනීමට තීරණය වී තිබේ.ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව සඳහා කාලය වෙන් කර ඇත.සැප්තැම්බර් 11 සිකුරාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා කාලය පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රී යෝජනා සඳහා වෙන් කර ඇත. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නමපෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ නමනලින් බණ්ඩාර ජයමහ මහතාඛනිජ තෙල්, ඉන්ධන හා ජලය පිළිබඳ කර්මාන්ත ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නියාමනයට යටත් කිරීමඅජිත් පී. පෙරේරා මහතාශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා පවුල් ඒකකයන් වෙත දිරි දීමනාවක් ලබා දීම(ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාදියගම වනාන්තරය ආරක්ෂා කිරීමසුජීව දිසානායක මහතාපරිවේණාචාර්යවරුන්ගේ විශ්‍රාම වැටුප සඳහා ඔවුන්ගේ වැටුපෙන් අමතර සියයට හයක මුදලක් අයකිරීම නතර කිරීමනන්ද බණ්ඩාර මහතාකඳුකර ප්‍රදේශවල ආහාර බෝග වගා කිරීමටී. කේ. ජයසුන්දර මහතාකිතුල් කර්මාන්තය නගා සිටුවීම(ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතාශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ස්ථාපනය කිරීමඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.
2026-08-28
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයම නියෝජනය කරමින් පාර්ලිමේන්තු නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් නවදිල්ලි නුවර ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන ධාරිතා වර්ධන වැඩසටහනකට සහභාගී වෙමින් සිටිති.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ ඉල්ලීම මත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා මෙම ධාරිතා වර්ධන වැඩසටහන ආරම්භ කෙරිණි. අනතුරුව, ලෝක් සභාවේ කථානායක ශ්‍රී ඕම් බිර්ලා මහතාගේ මඟපෙන්වීම යටතේ, ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ මහ ලේකම් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කර පහසුකම් සලසා දෙන ලදී. මෙම සහයෝගීතාවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිලධාරීන් 50 දෙනෙකුට මෙම වැඩසටහන සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වුණි.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම පසුගිය මාසයේදී ඉන්දියාවේදී මෙම වැඩසටහනට සහභාගී වූ අතර, එම නියෝජිත පිරිස සමඟ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා ද සහභාගී විය. එහි දෙවන අදියර ලෙස, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ නායකත්වයෙන් යුත් තවත් නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වන විට නවදිල්ලි නුවරදී වැඩසටහනට සහභාගී වෙමින් සිටීයි.මෙම වැඩසටහන් ද්විත්වයම ලෝක් සභා මහ ලේකම් කාර්යාලයට අනුබද්ධ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන පාර්ලිමේන්තු පර්යේෂණ හා පුහුණු ආයතනය (PRIDE) විසින් පවත්වනු ලබන අතර, පාර්ලිමේන්තු නිලධාරීන්ගේ වෘත්තීය දැනුම, කුසලතා සහ ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයට පැමිණි අවස්ථාවේදී ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඔවුන්ව උණුසුම් ලෙස පිළිගන්නා ලදී.සිය සංචාරයේ කොටසක් ලෙස, වැඩසටහන ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීහු පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රේරණා ස්ථල්හිදී මහත්මා ගාන්ධිතුමාගේ ප්‍රතිමාව වෙත පුෂ්පෝපහාර දැක්වුහ.මෙම ධාරිතා වර්ධන වැඩසටහනේදී පාර්ලිමේන්තු පරිපාලනය හා ක්‍රියාකාරිත්වයට අදාළ පුළුල් පරාසයක විෂයයන් පිළිබඳ දැනුම ලබාදීම සිදු කෙරේ. ජාත්‍යන්තර පාර්ලිමේන්තු සබඳතා සහ ප්‍රොටෝකෝලය, පාර්ලිමේන්තුව වෙත විධායකයේ වගවීම, පාර්ලිමේන්තු කාරක සභාවල කාර්යභාරය හා ක්‍රියාකාරිත්වය, ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ සංවිධාන ව්‍යුහය සහ එහි පරිපාලන අංශයේ ක්‍රියාකාරිත්වය ඒ අතර වේ.එමෙන්ම, කාරක සභා ලේකම් කාර්යාල සහ විවිධ අංශවල ක්‍රියාකාරිත්වය හා කළමනාකරණය, පාර්ලිමේන්තු වරප්‍රසාද හා ආචාරධර්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සපයනු ලබන සේවා, මන්ත්‍රීවරුන්ගේ සේවා, දීමනා සහ සුබසාධන පහසුකම් පිළිබඳව ද නිලධාරීන්ට අවබෝධයක් ලබා දීමට වැඩසටහන මඟින් අවස්ථාව සලසා ඇත.මීට අමතරව, මහ ලේකම් කාර්යාලයේ අයවැය සකස් කිරීම, ඒකාබද්ධ මූල්‍ය ඒකකයේ (IFU) කාර්යයන්, අයවැය හා අයවැය සම්බන්ධ අංශවල කාර්යභාරය මෙන්ම ව්‍යවස්ථාදායක ආයතනවල මුලසුන හොබවන නිලධාරීන්ගේ කාර්යභාරය හා බලතල පිළිබඳව ද මෙම වැඩසටහනේදී අවධානය යොමු කෙරේ.නියෝජිත පිරිස ඉන්දීය පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගොස් ලෝක් සභා සහ රාජ්‍ය සභා මන්ත්‍රී මණ්ඩල ශාලා මෙන්ම සංවිධාන සභා ගොඩනැගිල්ලේ (Samvidhan Sadan) මධ්‍යම ශාලාව ද නිරීක්ෂණය කළහ. එමෙන්ම, පාර්ලිමේන්තු පුස්තකාල ගොඩනැගිල්ල වෙත ද සංචාරය කළ අතර, එමඟින් ඉන්දීය පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ පාර්ලිමේන්තු සහාය සේවා පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට නිලධාරීන්ට අවස්ථාව සැලසුණි.අධ්‍යයන හා ආයතනික සැසිවලට අමතරව, මෙම වැඩසටහනට ආග්‍රා නගරයේ සංස්කෘතික සංචාරයක් ද ඇතුළත් විය. මෙම වැඩසටහන, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අඛණ්ඩව සිදුවන පාර්ලිමේන්තු සහයෝගීතා හා ධාරිතා වර්ධන වැඩසටහන්වල කොටසක් වන අතර, දෙරටේ පාර්ලිමේන්තු ආයතන අතර අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි, පරිපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමටත් මෙය වැදගත් අවස්ථාවක් සලසා දෙයි.මේ අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක් නවදිල්ලි නුවරදී ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ මහ ලේකම් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා හමුවී සුහද හා ඵලදායී සාකච්ඡාවක නිරත වූහ.මෙහිදී මෙම ධාරිතා වර්ධන වැඩසටහන සංවිධානය කර පහසුකම් සලසා දීම සම්බන්ධයෙන් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා වෙත සිය අවංක ස්තූතිය පළ කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මිය, වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දුන් සහයෝගය ද අගය කළාය.එසේම මහ ලේකම්තුමිය ප්‍රමුඛ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් අංශ නියෝජනය කරන නිලධාරීහු පිරිසක් ඉන්දීය ව්‍යවස්ථාදායකයේ නිල රූපවාහිනි නාලිකාව වන “Sansad TV” හි කටයුතු සිදුවන ආකාරය ද නිරීක්ෂණය කළහ. මෙම වැඩසටහන සාර්ථක කණ්ඩායම් හරහා අඛණ්ඩව පවත්වාගෙන යාම මඟින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ලෝක් සභා මහ ලේකම් කාර්යාලය අතර වර්ධනය වෙමින් පවතින ආයතනික සබඳතා තවදුරටත් ශක්තිමත් වන අතර, දෙරට අතර පාර්ලිමේන්තු විශේෂඥ දැනුම සහ යහපත් භාවිතයන් හුවමාරු කර ගැනීමට ද එය වැදගත් දායකත්වයක් සපයයි.
2026-08-21
රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව අද (අගෝ. 21) පාර්ලිමේන්තුවේදී අනුමත විය. එයට අදාළ විවාදය අද පෙරවරු 11.30 සිට ප.ව 12.30 දක්වා පැවැත්විණි.කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබිණි.
2026-08-21
• ශෝකය පළ කිරීම සඳහා සභා ගර්භයේ විනාඩියක නිශ්ශබ්දතාවක්දැයෙන් සමුගත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී අද (අගෝ. 21) ශෝකය පළ කෙරිණි. ඒ අනුව ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ යෝජනාවකට අනුව සභාගර්භය තුළ විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කෙරිණි. ඉන් අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ දශක අටකට වැඩි කාලයක් සිය ගායන පෞරුෂයෙන් මෙරට සංගීතය හා සංස්කෘතිය පෝෂණය කළ අචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳ පුවත ඇසීමේ තමා ඉමහත් සංවේගයට පත්වූ බවයි. නන්දා මාලිනී මහත්මියගේ විවිධ ගීත ඇසෙමින් ඒ ගීත සමග ජීවිතයේ විවිධ අවස්ථා ගෙවී ගිය රසිකාවියක ලෙස එතුමියගේ අභාවය හුදෙක් ලාංකීය සංගීතයට අසමසම කලා පෞරුෂයක් අහිමි වීමක් ලෙස පමණක් නොව අපේ ජීවිතවලට සමීපව අපේ මතකයන් සමග බැඳී සතුටේදීත් වේදනාවේදීත් අප සමග හිටි හුරු පුරුදු හඬක් අපෙන් වෙන් වීමක් බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.එතුමියගේ ගීත සිය පරම්පරාවේ අත්දැකීම් සමග බැඳී තිබුණු අතර ඇගේ මනරම් හඬ සමග රැඳී තිබූ මතකයන් ඇගේ වියෝවත් සමග වඩාත් තදින් දැනෙන බව ද සඳහන් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ ගායන දිවිය ශ්‍රී ලාංකේය ගීත කලාවේ එක් යුගයක් පමණක් නොව, මෙරට ජන ජීවිතයේත්, සමාජ චලනයන්ගේත්, මිනිස් හැඟීම්වලත් සජීවී ප්‍රකාශනයක් වූ බව ප්‍රකාශ කළාය. ප්‍රේමය හා විරහව වැනි මානව හැඟීම් ගැයීමෙන් ඔබ්බට ගිය නන්දා මාලිනිය, පොදු ජනතාවගේ දුක, බිය, බලාපොරොත්තු සහ අරගලය සිය ගීත තුළින් හඬක් බවට පත් කළ බවත් ඒ නිසාම ඇගේ ගීත ඇසෙන විට අපට දැනුණේ ගායිකාවකගේ හඬක් පමණක් නොව, අපේම සමාජයේ හඬ බවත් සිහිපත් කළාය. අද නන්දා මාලිනියගේ වියෝව පිළිබඳ ශෝක වන මොහොතේ, ශ්‍රී ලාංකේය සංගීතයට අහිමි වූ අසමසම කලාකාරිනිය ගැන පමණක් නොව, අපේ ජීවිතයේ බොහෝ මතකයන් සමඟ බැඳුණු ආදරණීය හඬක් ගැන ද තමා සිහිපත් කරන බව අගමැතිවරිය ප්‍රකාශ කළාය. එසේම දශක ගණනාවක් පුරා අප සමඟ ගමන් කළ ඒ හඬ අද නිහඬ වුව ද, එතුමිය ගැයූ ගීත අපේ මතකයන් තුළත්, අපේ හදවත් තුළත් දිගටම ජීවත් වනු ඇති බව ද සිහිපත් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, එතුමියගේ ගී හඬට ආදරය කළ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවටත් තම බලවත් සංවේගය පළ කරන බවද ප්‍රකාශ කළාය.මෙම අවස්ථාවේදී ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම අදහස් පළ කරමින් සඳහන් කළේ නන්දා මාලිනී මහත්මිය තමා පෞද්ගලිකවම හඳුනන බවත් ඇය කිසිවකට නොනැමුණු හැමවිටම ජනතාව වෙනුවෙන් හිටගත් කලාකාරිණියක් ලෙස මානව දයාව, කරුණාව, අනුකම්පාව ඉතාමත්ම ඉහළින්ම තිබුණු අපේ රටේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම ගායනවේදිනියක් බවයි. මෙහිදී අදහස් දැක්වූ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, අභාවයට පත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් සභාගර්භය තුළ පළ කළ අදහස් සමග තමාද එක්වන බවත් එතුමියට නිවන්සුව අත්වේවායි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් ප්‍රාර්ථනා කරන බවත් ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks


