බලන්න

E   |   த   |  

2020-06-25

පුවත් කාණ්ඩ : පුවත් 

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නව සාමාජිකයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ 80 වන රැස්වීම ඊයේ (24) පස්වරුවේ එහි සභාපති ගරු කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදී පැවත්විනි. අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් වන, බිමල් රත්නායක මහතා සහ තලතා අතුකෝරළ මහත්මියද සිවිල් සංවිධාන නියෝජිතයන් වන ජාවිඩ් යූසුෆ් සහ මහාචාර්ය නාගනාදන් සෙල්වකුමාරන් යන මහත්වරුන් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා හා නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතාද මෙම රැස්වීමට සහභාගී වූහ.

 

එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයන්ව සිටි නිහාල් ෆොන්සේකා මහත‍ා සහ දුෂ්නි වීරකෝන් මහත්මියගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුරු සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එවා තිබූ ආචාර්ය රාණි ජයමහ මහත්මියගේ සහ සමන්ත කුමාරසිංහ මහතාගේ නාම යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සාකච්ඡා කර ඒකමතිකව සම්මත කරන ලදී.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙකුව සිටි ආචාර්ය ජයන්ත ධනපාල මහතාගේ ඉල්ලා අස්වීම පිළිබඳව සභාපතිතුමා විසින් ව්‍යවස්ථා සභාව දැනුවත් කරන ලද අතර ජයන්ත ධනපාල මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිදුකරන ලද විශිෂ්ට සේවය ඇගයීමට ලක් කෙරිණි.

 

මෙම පුරප්පාඩුව පිරවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අනුකූලව ඉදිරියේදී පියවර ගනු ඇතැයි  ව්‍යවස්ථා සභාවේ සභාපතිතුමා සාමාජිකයන්ව දැනුවත් කරන ලදී.

 

හානිපූර්ණය පිළිබඳ කාර්යාලයේ ඇතිවි තිබෙන පුරප්පාඩුව සඳහා බ්‍රිගේඩියර් පී.පී.ජේ. ප්‍රනාන්දු (විශ්‍රාමික) මහතාගේ නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාකච්ඡාවට බඳුන් විය.

 

මැතිවරණ කොමිෂන් සභාවේ සහ පොලිස් කොමිෂන් සභාවේ කටයුතු පිළිබඳවද ව්‍යවස්ථා සභාවේ අවධානය යොමු විය.

 

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික රත්නජීවන් හූල් මහතා විසින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශයක් පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලැබී තිබූ ලිපියක් සහ ඒ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් එවන ලද නිරීක්ෂණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා විසින් සාමාජිකයන් වෙත ඉදිරිපත් කරන ලදී.

 

තවද, අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් පොලිස් කොමිෂන් සභාවට යවා තිබු ලිපියක පිටපතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා විසින් එහි සාමාජිකයන්ගේ  අවධානයට යොමු කරන ලද අතර මේ පිළිබඳව පොලිස් කොමිසමේ නිරීක්ෂණ මේ දක්වා ලැබි නොමැති බැවින් එම නිරීක්ෂණ ඉතා කඩිනමින් ලබා ගත යුතු බවද තීරණය කරන ලදී.

 

1 2

 



සම්බන්ධිත පුවත්

2026-11-27

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේ දී සම්මතයි

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයේ 05 වන දිනය වන අද දින (නොවැ. 27) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ වැය ශිර්ෂ (124, 216, 331) සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ වැය ශීර්ෂ (151, 290) විවාදයට ගැනුණු අතර, එහිදී ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ 151 වැය ශිර්ෂය සංශෝධන සහිතවද අනෙකුත් වැය ශිර්ෂ සංශෝධන රහිතවද පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් තොරව සම්මත කෙරිණි.


2026-11-27

කොළඹ කසළ අරුවක්කාලු වෙත ප්‍රවාහනය කිරීමේ ව්‍යාපෘතියට වැය කළ මුදල රුපියල් මිලියන 26,151 ක්

රුපියල් මිලියන 26,151.89 ක් කොළඹ නගරයේ කසළ, පුත්තලම අරුවක්කාලු ප්‍රදේශය වෙත ප්‍රවාහනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා මෙතෙක් වැය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ගරු අමාත්‍ය මහාචාර්ය ඒ. එච්. එම්. එච්.  අබයරත්න මහතා පැවසීය. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මේ වන විට මෙම ව්‍යාපෘතියේ සියලු ඉදි කිරීම් මෙහෙයුම් සහ පර්යේෂණ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර ව්‍යාපෘතියට අදාළ වත්කම් සහ ලේඛණ සේවායෝජකයා වෙත භාර ගැනීමේ කටයුතු සිදු කරමින් පවතින බවත් හෙතෙම කීවේය.පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙම ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාල සීමාව දීර්ඝ කර ගැනීමත්, ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳවත්, චයිනා හාබර් ඉංජිනියරින් කම්පැනි ලිමිටඩ් සමඟ සාකච්ඡා කර තීරණය කිරීමටත්, ඒ සඳහා කමිටුවක් පත් කිරීමටත් ලද අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි ව්‍යාපෘතියේ ඉදිරි මෙහෙයුම් කටයුතු සිදු කිරීමට නියමිතව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් දිනකට බැහැර කෙරෙන මෙට්‍රික් ටොන් 480 කසළ ප්‍රමාණය කෙරවලපිටිය පිහිටි (වෙස්ටර්න් පවර්) අපද්‍රව්‍යවලින් විදුලිය උත්පාදනය කරන බලාගාරයට බැහැර කෙරෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


2026-11-27

දේශීය දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් වැඩපිළිවෙළක්

ගව හා මී ගව ගහනය අඩුවීමෙන් දේශීය දියර කිරි නිෂ්පාදනයට ඇති විය හැකි බලපෑම අවම කිරීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ගනු ලබන ක්‍රියාමාර්ග මඟින් සතුන්ගේ ඵලදායිතාව සහ ගොවිපල ඵලදායිතාව ඉහළ නැංවෙන බව කෘෂිකර්ම සහ පශු සම්පත් ගරු නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය. ඒ අනුව, ජාතික කිරි නිෂ්පාදන වැඩසටහන (Dairy Hub) ක්‍රියාත්මක කිරීම මඟින් ගොවිපල ඵලදායිතාව ඉහළ නැංවීම, උසස් ආරයේ සතුන් බිහි කිරීම සඳහා කෘත්‍රිම සිංචන සේවා සහ අභිජනන කළමනාකරණය වැඩිදියුණු කිරීම, සතුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සඳහා තණ හා ආහාර නිෂ්පාදනය සහ සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම, සත්ව රෝග පාලනය වැළැක්වීම සහ පශු වෛද්‍ය සේවා ශක්තිමත් කිරීම, ගොවිපල කළමනාකරණය, සත්ව සුභසාධනය සහ කිරි නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, ගොවීන් සඳහා පුහුණුව, තාක්ෂණික උපදෙස් සහ ව්‍යාප්ති සේවා ලබා දීම ආදී ක්‍රියාමාර්ග ගෙන තිබෙයි. මෙම ක්‍රියාමාර්ග මඟින් එක් සතෙකුගෙන් ලබා ගන්නා කිරි ප්‍රමාණය සහ සමස්ත ගොවිපල ඵලදායිතාව ඉහළ නැංවීමෙන් දේශීය දියර කිරි නිෂ්පාදනය වර්ධනය කිරීම අපේක්ෂා කෙරෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.එළ ගව හා මී ගව ගහනය අඩු වීම, දියර කිරි නිෂ්පාදනයට බලපෑ හැකි නිසා සතුන්ගේ ඵලදායිතාව සහ ගොවිපල ඵලදායිතාව ඉහළ නැංවීම මඟින් එම බලපෑම අවම කළ හැකි බව පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා, 2015 වර්ෂයට සාපේක්ෂව සැලකූ විට 2025 වර්ෂයේදී එළ ගව හා මී ගව ගහනය අඩු වී නොමැති නමුත්, 2021 වර්ෂයෙන් පසු එළ ගව හා මී ගව ගහනයේ අඩුවීමක් දක්නට ලැබෙන බව ද කිවේය.2015 දී 1,227,379 ක් වූ එළ ගවයන් සංඛ්‍යාව, 2025 දී 1,525,717 ක්  දක්වා වැඩි වූ බවත්, 2015 දී 381,431ක් වූ මී ගවයන් සංඛ්‍යාව 2025 දී 448,606 ක් දක්වා වැඩි වූ බවත් පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව, 2021 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා ගව හා මී ගව ගහනය අඩුවීමක් දක්නට ලැබුණ ද, එම කාලය තුළ සමස්ත දියර කිරි නිෂ්පාදනයේ අඛණ්ඩ අඩුවීමක් වාර්තා වී නොමැති බව පෙන්වා දුන්නේය. 2023 වර්ෂයේ ලීටර් මිලියන 371.73 ක් වූ සමස්ත දියර කිරි නිෂ්පාදනය 2025 වර්ෂයේදී ලීටර් මිලියන 410.16 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


2026-11-27

ශ්‍රී ලංකාවේ වෛද්‍ය පුනරුත්ථාපන රෝහල් 03 ක් සහ ඒකක 05 ක් ක්‍රියාත්මකයි

ශ්‍රී  ලංකාවේ වෛද්‍ය පුනරුත්ථාපන රෝහල් 03 ක් සහ ඒ සම්බන්ධ ඒකක 05 ක් තිබෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ගරු අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රාගම, දිගන (මහනුවර), සහ අම්පාරෙහි පුනරුත්ථාපන රෝහල් පිහිටා ඇති බවත්, ජයන්තිපුර (පොළොන්නරුව), වාරියපොල (කුරුණෑගල), කැන්දගොල්ල (බදුල්ල), මාන්කුලම් සහ මැලිබන් (ජාතික රෝහල ගාල්ල) ස්ථානවල පුනරුත්ථාපන ඒකක ක්‍රියාත්මක වන බවත් හෙතෙම කීවේය.ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා ලබා දුන් පිළිතුරෙන් ඉහත කරුණු අනාවරණය විය. රුපියල් මිලියන 182 ක් සායන උපකරණ නිපදවීම සඳහා 2026 දී රාගම පුනරුත්ථාපන රෝහලටත්, රෝහල් පරිපාලනය යටතේ පවතින අනෙකුත් ඒකක සඳහා රෝහලට වෙන්වන ප්‍රතිපාදන තුළ එම ඒකකවල අවශ්‍යතාවන්ට ද ප්‍රතිපාදන වෙන් කෙරෙන බවත් අමාත්‍යවරයා පැවසුවේය.පුනරුත්ථාපන රෝහල්වල උපරිම සේවාවක් සැපයීම සඳහා මේ වනවිට සේවයේ නියුතු කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවන නිසා වෘත්තීය චිකිත්සක, භෞත චිකිත්සක, වාග් චිකිත්සක හා අංගාදේශක හා ඍජුකරණඥ සේවා කාණ්ඩවලට බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරගෙන යන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.රාගම පුනරුත්ථාපන රෝහල, දිගන පුනරුත්ථාපන රෝහල, කොළඹ ජාතික රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල යන රෝහල්වල කෘතීම අවයව නිපදවන අංශ පිහිටා ඇති බවත්, 2025 – 2027 මධ්‍යකාලීන අයවැය රාමුව මඟින් රාගම පුනරුත්ථාපන රෝහල සහ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks