01

E   |   த   |  

2020-01-22

පුවත් කාණ්ඩ : පුවත් 

මහ බැංකු බැදුම්කර නිකුතුවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැදුම්කර සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම පිණිස පත් කරන ලද , ජනාධිපති කොමිසමේ නිර්දේශ අනුව සිදු කරන ලද වෝහාරික විගණන වාර්තාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැනගැනීම පිණිස සභාගත කිරීමට ගරු කථානායක කරූ ජයසූරිය මහතා අද (21) තීරණය කළේය.

 

එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම මගින්, බැදුම්කර නිකුතුව පිළිබදව දැනට සිදු කෙරෙන අධිකරණ ක්‍රියාමාර්ග වලට කිසිදු බාධාවක් නොවන බවට තමා විශ්වාස කරන බවද එතුමා පාර්ලිමේන්තුවේදී පැවසීය.

 

මෙම වෝහාරික විගණන වාර්තාව මීට පෙර පාර්ලිමේන්තුවට ලැබී තිබුණු අතර, නීතිපතිවරයාගේ උපදෙස් මත එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත නිකුත් කිරීම අත්හිටුවීමට ගරු කථානායකතුමා පියවර ගෙන තිබුණි.

 

මෙම වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කථානායකවරයාගෙන් ඉල්ලා සිටි අතර , ඉදිරි පක්ෂ නායක රැස්වීමේදී සාකච්ජා කර ඒ සදහා දිනයක් ලබා දෙන බවද එතුමා පැවසීය.

 

කථානායකවරයා පාර්ලිමේන්තුවේදී කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.

 

පොදු ව්‍යපාර පිළිබඳ කාරක සභාව‍ වෙත මේ වන විට ලැබී ඇති, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2015 වර්ෂයේදී සිදු කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධව විමර්ශනය කර ඒ සම්බන්ධව නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කරන ලද විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශය පරිදි අදාළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව පිළියෙල කරන ලද වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරයන්ගේ දැනගැනීම පිණිස පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස මන්ත්‍රීවරයන් බොහෝ දෙනෙකු විසින් 2020 ජනවාරි 03 වැනි දින සභාගර්භයේදී සහ ඉන් පිටතදීත් දිගින් දිගටම කරන ලද ඉල්ලීම්ද,  2020 ජනවාරි 13 වැනි දින පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් හා දේශපාලන පක්ෂවල නියෝජිතවරයන් මා සමඟ පැවති රැස්වීමේදී කරන ලද ඉල්ලීම් ද, සැලකිල්ලට භාජනය කර ඒ සම්බන්ධව මාගේ තීරණය පාර්ලිමේන්තුවට දැනුම්දීමට මම අදහස් කරමි.

2015 වර්ෂයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් 2016 වර්ෂයේදී සිදු කරන ලද විමර්ශනයේදී, එකී භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් සිදුකොට ඒ තුළින් රජයට සිදුවූ නිශ්චිත අලාභය හා පාඩුව කොපමණද යන්න සොයාගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් නිර්දේශ ලබාදී තිබුණි.

ඉන් අනතුරුව, මෙකී භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව විමර්ශනයන් සිදු කරන ලද විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශය පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙහෙයවීමෙන් මෙකී භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව “වෝහාරික විගණනයක්” සිදු කිරීමට කටයුතු කරන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුව සම්බන්ධව විගණකාධිපතිවරයා විසින් ලබා දෙනු ලබන වාර්ෂික වාර්තාව සහ එකී ගිණුම් පිළිබඳ නිරීක්ෂණයන් පොදු ව්‍යාපර පිළිබඳ කාරක සභාව විසින් සලකාබලන ලද අවස්ථාවේදී, මෙම වෝහාරික විගණනය පැවැත්වීම හා ඊට සම්බන්ධ කටයුතු, එහි ක්‍රියාදාමයන් සහ ඊට වැයවන පිරිවැය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් කාරක සභාව හමුවේ විස්තරාත්මකව කරුණු දැක්වීම් ද සිදුකරන ලද බව අනාවරණය කරගන්නා ලදී.
 
එවැනි විගණනයක් සිදුකිරීම සම්බන්ධව විශේෂ නිපුණතාවයක් හා සුදුසුකම් ඇති ජාත්‍යන්තර පාර්ශ්වයක් විසින් සිදුකරන ලද එම වෝහාරික විගණනයට අදාළ අවසන් වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබී තිබූ අතර එම වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස එකී කාරක සභාවේ සභාපතිවරයා විසින් ලිඛිතව කරන ලද ඉල්ලීමට අනුව නීතිපතිවරයාගේ උපදෙස් පරිදි, භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධව පැවැත්වෙන සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත අධිකරණ ක්‍රියාදාමයන්ට අගතියක් නොවන අයුරින් එකී කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන්ට පමණක් ලබාදීම සඳහා එම වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා වෙත ඉදිරිපත් කරන ලදී.
 
ඉන් අනතුරුව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් මෙම වාර්තාව සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා රැස්වීමක් කැඳවීමට කටයුතු සූදානම් කර තිබූ නමුදු, 2019.12.02 දින අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය, වාරාවසාන කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග විධිවිධාන ප්‍රකාරව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ක්‍රියාත්මකවීම අහෝසි විය.

අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව නැවත ස්ථාපිත කොට එම කාරක සභාව විසින් මෙම වාර්තාව සම්බන්ධව ඉදිරි කටයුතු කිරීමට තවත් සැලකිය යුතු කාලයක් ගතවීමට ඉඩකඩ ඇති බැවින් එකී කාරක සභාව ක්‍රියාත්මකව නොපවතින මෙම කාලය තුළ එවැනි කාරක සභාවන්හි භාරකරු ලෙස මා වෙත පැවරී ඇති බලතල සහ වගකීම්, මා විසින් මෙහිදී  සැලකිල්ලට භාජනය කරන ලදී.

ඒ අනුව, විශේෂයෙන් මහජන මුදල් පාලනය පිළිබඳ පූර්ණ බලය පාර්ලිමේන්තුව වෙත පැවරී ඇති බවට වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානද, විශේෂයෙන්ම ඒ සම්බන්ධව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සතු බලතලද සමඟ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 136 ප්‍රකාරව මා වෙත පැවරී ඇති බලතල මෙන්ම පාර්ලිමේන්තුවේ වැඩකටයුතු සම්බන්ධයෙන් කිසිදු බාහිර පාර්ශ්වයකගේ මැදිහත්වීමකින් තොරව ස්වාධීනව තීරණ ගැනීමේ අයිතිය අවධාරණය කරමින් මාගේ පූර්වගාමී, හිටපු කථානායක ගරු අනුර බණ්ඩාරනායක මහතා විසින් ලබාදෙන ලද ‍ඓතිහාසික තීරණයද මෙහිලා විශේෂයෙන් සැලකිල්ලට භාජනය කරන ලදී.

එලෙසම, මෙම වෝහාරික වාර්තාව පිළියෙල කිරීම සඳහා  ජාත්‍යන්තර සහ දේශීය මට්ටමේ විශේෂඥයින්ගේ සහාය ලබාගැනීමට විශාල පිරිවැයක් දරා ඇති බැවින් මෙම වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන්ට පමණක් ලබාදීමට වඩා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීතුමන්ලා වෙත ලබාදීම යෝග්‍ය බව මම විශ්වාස කරමි.  
තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14අ ව්‍යවස්ථාව ප්‍රකාරව  තොරතුරු වෙත ප්‍රවේශවීමේ මූලික අයිතිවාසිකම කෙරෙහිද ම’විසින් මෙහිදී අවධානය යොමු කරන ලද බවත් සඳහන් කරනු කැමැත්තෙමි.

ඊට අනුකූලව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධව වූ “වෝහාරික විගණන වාර්තාව” අද දින සභාගත කිරීම යෝග්‍ය බවට මම තීරණය කරමි.

තවද, මෙම භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවට අදාළව දැනටමත් ආරම්භ කර තිබෙන සහ ඉදිරියේදී ආරම්භවීමට නියමිත අධිකරණ ක්‍රියාමාර්ග විධිමත් හා නීත්‍යානුකූල තත්ත්වයන් යටතේ පවත්වාගෙන යාමට මෙම තීරණය කිසිදු ආකාරයකින්, එකී අධිකරණමය ක්‍රියා මාර්ගයන්ට බාධාවක් හෝ බලපෑමක් සිදුවීමට අවකාශයක් ඇති නොවන බව මාගේ විශ්වාසයයි.

 



සම්බන්ධිත පුවත්

2026-10-20

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නවරාත්‍රී පූජෝත්සවය උත්සවාකාරයෙන් සමරයි

ශ්‍රී ලංකාවේ බහු ආගමික සහජීවනය සංකේතවත් කරමින්, නවරාත්‍රී පූජෝත්සවය ආචාර්ය හරිනි අමරසුරිය ගරු අග්‍රාමාත්‍යවරිය සහ වෛද්‍ය ජගත් වික්‍රමරත්න ගරු කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (ඔක්. 20) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී උත්සවාකාරයෙන් සමරනු ලැබීය.  ගරු කථානායකවරයාගේ උපදෙස් මත, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.ඒ අනුව අද පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී නවරාත්‍රී පූජෝත්සවය සැමරීම ආරම්භ කරමින් හින්දු පූජකවරු  ආගමික චාරිත්‍ර වල නිරත වූහ. එමෙන්ම මෙම අවස්ථාව ආශීර්වාදාත්මක නර්තනාංග කිහිපයකින් වර්ණවත් විය.ආචාර්ය හරිනි  අමරසුරිය ගරු අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අදහස් දක්වමින්, යහපත් සිතිවිල්ලෙන් සිදු කරනු ලබන මෙම පූජෝත්සවය සමස්ත රටටම ආශීර්වාදයක් වන බව පවසා සිටියේය. එසේම අන්‍ය සංස්කෘතීන්ට ගරු කරන ආගමික සහ සංස්කෘතික සහජීවනය තුළින් වඩාත් යහපත් රටක් ඇති කිරීමට හැකි බවත් ඇය පෙන්වා දුන්නාය.මෙහිදී  අදහස් දක්වමින් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, හින්දු විශ්වාසයට අනුව දුර්ගා දේවියගේ ආශිර්වාදයෙන් අයහපත දුරුවී, ලක්ෂ්මි දේවියගේ ආශීර්වාදයෙන් යස ඉසුරින් ආඪ්‍ය වී සරස්වතියගේ ඇල්ම බැල්මෙන් ප්‍රඥාව දියුණු වීම ප්‍රාර්ථනා කරන බවත් ‍‍සඳහන් කළේය. එසේම සියලු දෙනාගේම දායකත්වයෙන් කිසිදු භේදයකින් තොරව මෙවැනි සැමරුම් සංවිධානය කිරීම ආදර්ශයක් බවත්  කථානායකවරයා පැවසීය.භක්තියෙන් සමරනු ලබන හින්දු ආගමික උත්සවයක් ලෙස නවරාත්‍රී උත්සවය හැඳින්වෙන අතර  මේ උත්සවය සෑම වසරකම ඔක්තෝබර් මස මුලදී සමරනු ලැබේ. මෙම පූජෝත්සවය පුරා දින 9ක් රාත්‍රී භාගයේ දෙවියන් වෙනුවෙන් පවත්වන හෙයින් " නවරාත්‍රී " උත්සවය ලෙස නම් කොට ඇත. පළමු දින තුනේදී දුර්ගා දේවිය වෙනුවෙන් පුද පූජා පවත්වන අතර සියලු දුර්ගුණ, නපුර සහ දෝෂ දුරු කිරීමේ බලය ඇය සතුය. ඊළඟ තෙදින තුළ පුදනු ලබන්නේ තමන්ගේ බැතිමතුන් වෙත නොනැසෙන සම්පත සහ යස ඉසුර ලබා දෙන්නී සේ සැලකෙන ලක්ෂ්මී දේවියයි. ප්‍රඥාවේ දේවතාවිය සේ සලකන සරස්වතිය නමදිනු ලබන්නේ අවසන් තෙදින තුළය. මෙකී දින 09න් පසු 10වන දිනයේදී පූජාවක් පැවැත්වෙන අතර එය “විද්‍යා ආරම්භම්” ලෙස හඳුන්වයි. එම පූජාව අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සංකේතවත් කරමින් කරනු ලබන පූජාවක් ලෙස සැළකේ.මේ අවස්ථාව සඳහා හින්දු ආගමික පුජකතුමන්ලා, ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, නියෝජ්‍ය  කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ගරු  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය  (ආචාර්ය) හිනිදුම සුනිල් සෙ‍නෙවි,  ධීවර, ජලජ සහ සාගර සම්පත් ගරු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, විපක්ෂයේ ගරු ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්ම මහත්මීහූ ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහභාගී වූහ. එසේම පාර්ලිමේන්තුවේ  මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, සහකාර මහ ලේකම් හංස අබේරත්න යන මහතා ඇතුළු පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය ද අනුබද්ධ කාර්ය මණ්ඩල සහ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ නියෝජනය කරන නිලධාරී මහත්ම මහත්මීන් පිරිසක් ද මෙම උත්සවයට සහභාගී වූහ. 


2026-10-19

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතා  අද (ඔක්. 19)  සිය සහතිකය සටහන් කළේය.මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2026.08.19 දින ගරු  අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර  පනත් කෙටුම්පත  සම්බන්ධව  2026.10.08 වැනි දින  දෙවැනිවර කියවීමේ  විවාදය  පැවැත්වුණු අතර, එහිදී  සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.ඒ අනුව මෙම පනත මගින්, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීමේදී හඳුනාගෙන ඇති නීතිමය, අර්ථ නිරූපණය සම්බන්ධ, පරිපාලනමය සහ තාක්ෂණික ගැටලු, සිංහල සහ ඉංග්‍රීසි පනත් පාඨ අතර පවතින නොගැළපීම්, දූෂණ වැරදි සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේ සහ නඩු පැවරීමේ ගැටලු, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ පරිපාලන කටයුතු මෙන්ම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් ඔස්සේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම අරමුණු කෙරේ. මෙම සංශෝධන මඟින් දූෂණයට එරෙහිව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පවතින නීතිමය හා ආයතනික රාමුව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, දූෂණ විරෝධී පනත ඵලදායීව, විනිවිදභාවයෙන් සහ වගකීමෙන් යුතුව ක්‍රියාත්මක කිරීම සහතික කිරීමටත් අපේක්ෂිතය.ඒ අනුව දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක 25 දරන දූෂණ විරෝධී (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.


2026-10-19

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නවරාත්‍රී පූජෝත්සවය එළඹෙන 20 වැනිදා

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නවරාත්‍රී පූජෝත්සවය  එළඹෙන ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී උත්සවාකාරයෙන් සැමරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ බහු ආගමික සහජීවනය සංකේතවත් කරමින්, සමරනු ලබන මෙම නවරාත්‍රී පූජෝත්සවය සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි  අමරසුරිය, ගරු කථානායක  වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඇතුළු මැති ඇමතිවරයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහභාගී වීමට නියමිතය. භක්තියෙන් සමරනු ලබන හින්දු ආගමික උත්සවයක් ලෙස නවරාත්‍රී උත්සවය හැඳින්වෙන  අතර  මේ උත්සවය සෑම වසරකම ඔක්තෝබර් මාසයේදී සමරනු ලැබේ. මෙම පූජෝත්සවය  දින 9ක් රාත්‍රී භාගයේ දෙවියන් වෙනුවෙන් පවත්වන හෙයින් " නවරාත්‍රී " උත්සවය ලෙස නම් කොට ඇත. පළමු දින තුනේදී දුර්ගා දේවිය වෙනුවෙන් පුද පූජා  පවත්වන අතර  සියලු දුර්ගුණ, නපුර සහ දෝෂ දුරු කිරීමේ බලය ඇය සතුය. ඊළඟ තෙදින තුළ පුදනු ලබන්නේ තමන්ගේ බැතිමතුන් වෙත නොනැසෙන සම්පත සහ යස ඉසුර ලබාදෙන්නී සේ සැලකෙන ලක්ෂ්මී දේවියයි. ප්‍රඥාවේ දේවතාවිය සේ සලකන සරස්වතිය නමදිනු ලබන්නේ අවසන් තෙදින තුළය. මෙකී දින 09න්  පසු 10වන  දිනයේදී පූජාවක් පැවැත්වෙන අතර එය “විද්‍යා ආරම්භම්” ලෙස හඳුන්වයි. එම පූජාව අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සංකේතවත් කරමින් කරනු ලබන පූජාවක් ලෙස සැළකේ.ගරු කථානායකවරයාගේ උපදෙස් මත, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහයෝගීත්වයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෙම උත්සවය සංවිධානය කරනු ලබයි.


2026-10-16

ඔක්තෝබර් 20 සිට 23 දක්වා පාර්ලිමේන්තුව රැස්වේ

පාර්ලිමේන්තුව ඔක්තෝබර් 20 සිට 23 දක්වා රැස්වීමට නියමිත ය.ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ඔක්. 16)  පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීවේදී එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබේ.පාර්ලිමේන්තුව රැස්වන මෙම  සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත. පෙ.ව. 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00  සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.මේ අනුව, ඔක්තෝබර් 20 අඟහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවට අනුව විවාදයක් පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබේ. ඔක්තෝබර් 21 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනා සම්මතය සහ පරිපූරක ඇස්තමේන්තුවක් අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව ඇත.අනතුරුව, ප.ව. 5.00 ට ව්‍යවස්ථාපිත ආයතන 5ක වාර්ෂික වාර්තා විවාදයකින් තොරව අනුමත කර ගැනීමට තීරණය වී ඇත.ඉන්පසු, ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර  තිබේ. ඔක්තෝබර් 22 බ්‍රහස්පතින්දා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක ( පනත් කෙටුම්පත් අංක 79 සහ 80) දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමටත් තීරණය වී තිබේ.අනතුරුව,  ව්‍යවස්ථාපිත ආයතන 5ක වාර්ෂික වාර්තා විවාදයකින් තොරව අනුමත කර ගැනීමට නියමිතව ඇත.ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය. ඔක්තෝබර් 23 සිකුරාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වේ. අනතුරුව, ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks