2020-01-06
පුවත් කාණ්ඩ : පුවත්
“ජාතික ආරක්ෂක යාන්ත‍්‍රණය නැවතත් ශක්තිමත් කරන්නට අවශ්‍ය පියවර අපි දැනටමත් ගෙන තිබෙනවා. දක්ෂ නිලධාරීන්ට නැවතත් වගකීම් භාර දී තිබෙනවා. ජාතික ආරක්ෂාවට වගකියන ත‍්‍රිවිධ හමුදාව හා පොලීසිය අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරන්නට අප පියවර ගෙන තිබෙනවා” අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසීය.
අපේ මව්බිම ත‍්‍රස්තවාදයෙන්, අන්තවාදයෙන්, පාතාල ක‍්‍රියාකාරකම්වලින්, සොර බියෙන්, කප්පම්කරුවන්ගෙන්, මත්ද්‍රව්‍ය උවදුරින්, සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කරන්නන්ගෙන්, කාන්තා හා ළමා හිංසනයෙන් තොර සුරක්ෂිත රටක් කරන්නට අවශ්‍ය සියලු පියවර ගන්නට කටයුතු කරනවා.” යැයිද හෙතෙම කීවේය.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම අදහස් පළ කළේ අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදීය.
ජනාධිපතිතුමන් විසින් සිදුකරන ලද සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය පහතින් දැක්වේ.
“ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය නායකයා ලෙස ඔබ ඇමතීමේ අවස්ථාව මට ලැබී තිබෙන්නේ නොවැම්බර් 16 දා මේ රටේ ජනතාව ලබා දුන් ඵෙතිහාසික ජයග‍්‍රහණය නිසයි.
සාමකාමී හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් කැපවූ සියලූම පුරවැසියන්ටත්, ආයතනවලටත්, සියලූම දේශපාලන පක්ෂවලටත් මා මේ අවස්ථාවේ මගේ කෘතවේදීත්වය ප‍්‍රකාශ කරනවා.
මේ උත්තරීතර සභාවේ අසුන්ගෙන සිටින ඔබ කුමන පක්ෂයකට අයිති වුනත් අප සියලුදෙනාගේම මූලික වගකීම වන්නේ මේ රටේ ජනතාවගේ සුබසෙත වෙනුවෙන් ක‍්‍රියා කිරීමයි.
මා වසර විස්සක් මේ රටේ හමුදා නිලධාරියෙකු ලෙසත්, වසර 10 කට ආසන්න කාලයක් මේ රටේ ආරක්ෂක ලේකම්වරයා වශයෙනුත් සේවය කළා.
මා ක‍්‍රියාකාරී දේශපාලනයේ යෙදුනේ නැති වුනත් ජනතා සේවය කුමක්ද යන්න මා කුඩා කාලයේ සිටම අත්දැක තිබෙනවා.
මගේ පියාගේ වැඩිමහල් සොහොයුරා, ඩී.එම්. රාජපක්ෂ මැතිතුමා තමන්ගේ දේශපාලන
ගමන ආරම්භ කලේ 1936 දී රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ හම්බන්තොට ආසනය නියෝජනය කරමින්. 1945 දී සිදුවූ ඔහුගේ අභාවයෙන් පසු හම්බන්තොට ජනතාව මගේ පියා, ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාව රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට තෝරා ගත්තා. ඉන්පසු ඔහු
ලංකාවේ පළමුවන පාර්ලිමේන්තුවටත්, මහජන ඡන්දයෙන් තේරී පත්වුණා.
එතැන් පටන් මේ වනතුරු රුහුණේ ගිරුවාපත්තුවේ පිටිසර ගම්මානයක් වූ මැදමුලන මූලාශ‍්‍ර කරගත් පරම්පරා තුනක රාජපක්ෂවරු ඡන්දයෙන් පත්වූ මහජන නියෝජිතයන් ලෙස සේවය කොට තිබෙනවා. මේ කාලය තුළ මන්ත‍්‍රීවරු, නියෝජ්‍ය ඇමතිවරු, කැබිනට් ඇමතිවරු, නියෝජ්‍ය කථානායකවරයෙක්, කථානායකවරයෙක්, විරුද්ධ පක්ෂ නායකයෙක්, අගමැතිවරයෙක් පමණක් නොවෙයි ජනාධිපතිවරු දෙදෙනෙක්ම අප ගැන විශ්වාසය තැබූ මේ රටේ පොදු මහජනතාව විසින් තෝරා පත් කරගෙන තිබෙනවා.
එදා රුහුණේ සිංහයා වශයෙන් හැඳින්වුණු ඩී.එම්. රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට පැමිණි මුල් දිනයේ සිටම කුරහන් පැහැය ඇති සාටකයක් පැළඳ සිටියා.එම සාටකයෙන් එතුමා සංකේතවත් කලේ ගිරුවාපත්තුවේ කුරක්කන් ගොවියන්වයි. ඩී.එම්. රාජපක්ෂ මැතිතුමාගෙන් පසු මගේ පියා ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාත් එතුමාගෙන් පසු පාර්ලිමේන්තුව නියෝජනය කළ රාජපක්ෂ පවුලේ අනෙකුත් සාමාජිකයන් සියලූදෙනාමත් මේ කුරහන් පාට සාටකය පැළඳ සිටියා.
මා ඒ සාටකය අඳින්නේ නැති වුවත් මා නියෝජනය කරන්නේත් මේ රටේ පීඩිත ජනතාව වෙනුවෙන් සැමවිටම කැපවූ, කුරහන් සාටකයෙන් සංකේතවත් කරනා ගැඹුරු දර්ශනයමයි.
එම දර්ශනය ජනාධිපතිවරණය සඳහා මා ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළත් අන්තර්ගතව තිබෙනවා.
ගරු කථානායකතුමනි, මා මේ අවස්ථාවේදී “සෞභාග්‍යයේ දැක්ම” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සභාගත කරනවා.
2019 නොවැම්බර් 16 දා පැවති ඡන්දයෙන් මේ රටේ ජනතාව මට ඉතා පැහැදිලි ජනවරමක් ලබා දුන්නා. ඒ ජනවරම ලබා දුන්නේ මා ගැන මහත් විශ්වාසයෙන්. ඒ විශ්වාසය කිසි අයුරකින් කඩ නොකොට, ජනතාවට අප පොරොන්දු වූ ආකාරයටම සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමේ වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කිරීමට මාත් මගේ රජයත් ඇප කැප වෙනවා.
මට ඡන්දය දුන් ජනතාවට අවශ්‍ය වුනේ මේ රටේ දේශපාලනික සංස්කෘතියේ ප‍්‍රබල වෙනසක් කරන්නටයි. විශේෂයෙන්ම ජාතිවාදය මත පදනම් වූ දේශපාලන න්‍යාය පත‍්‍ර ජනතාව ප‍්‍රතික්ෂේප කළා. තවදුරටත් රජුන් තනන්නන්ගේ භූමිකාව රඟපාමින් රටේ දේශපාලනය හසුරවන්නට කිසිවෙකුට ඉඩ නොතබන බව බහුතර ජනතාව ඔප්පු කළා.
මා ආරාධනා කරනවා අදාළ දේශපාලනඥයින්ට මේ යථාර්ථය තේරුම් ගන්න කියා. පසුගිය කාලයේ පටු දේශපාලන අරමුණු මුල් කරගෙන කළ දේශපාලනය දැන්වත් පසෙකලා ජාතීන් අතර බේද වපුරනවා වෙනුවට එකට එක්වී ජාතිය ගොඩනැගීමේ කර්තව්‍යය සඳහා එකතුවන ලෙස මා ඉල්ලා සිටිනවා. බහුතර ජනතාවගේ අපේක්ෂාවන්ට අපි හැමවිටම ගරු කළ යුතුයි. ජනතා පරමාධිපත්‍යය සුරකින්නට පුළුවන් වන්නේ එවිටයි.
අපේ රටේ උත්තරීතර ව්‍යවස්ථාවට අනුව මගේ ධුර කාලය තුළ රටේ ඒකීය බව ආරක්ෂා කරන බවත්, බුද්ධශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බවත්, එසේම
ඕනෑම පුරවැසියෙකුට තමන් අභිමත ආගමක් ඇදහීමේ නිදහස සැමවිටම සුරකින බවත් මෙහිදී ප‍්‍රකාශ කරන්නට කැමතියි.
මට මතකයි මා කුඩා කාලේ මගේ පියා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. මම බොහෝ විට පාර්ලිමේන්තු මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු ක‍්‍රියාකාරකම් නරඹලා
තිබෙනවා. අතීතයේ අප දුටු පාර්ලිමේන්තුව ඉතාමත් ආදර්ශමත් ස්ථානයක්. මෙහි ඉතා වැදගත් හරබර දේශන පැවැත්වුණා. ඉතා තර්කානුකූල වාද විවාද සිදුවුණා. ඒවාට ඇහුම්කන් දීමට පාසැල් දරුවන් මෙන්ම වැඩිහිටි ජනතාව ආශාවෙන් පාර්ලිමේන්තුවට ඇදී ආවා. පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය රැකගන්නට මන්ත‍්‍රීවරුන් හැමවිටම උත්සාහ කළා. ජනතාව එදා පාර්ලිමේන්තුවට ගරු කළා. මහජන නියෝජිතයන්ට ගරු කළා. නමුත් පසුකාලීනව මේ ගෞරවය ක‍්‍රමක‍්‍රමයෙන් හීන වී
ගියා.
මෙම පාර්ලිමේන්තුව යළිත් වතාවක් ජනතාවගේ සැබෑ ගැටලූ සාකච්ඡා කෙරෙන, ජාතික ප‍්‍රතිපත්ති සංවාදයට ලක් කරන, ව්‍යවස්ථාදායකයේ වගකීම නිසිලෙස ඉටු කරන, ආදර්ශමත් ස්ථානයක් බවට පත් විය යුතුයි. පාර්ලිමේන්තුව ජනතාවගේ ගෞරවය දිනාගත් ස්ථානයක් බවට පත් කිරීමේ මූලික වගකීම තිබෙන්නේ මෙහි සිටින මහජන නියෝජිතයන් අතයි.
අද මේ රටේ සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදයක් තිබෙනවා. නිදහසින් වසර 70 කට පසුවත් අපේ රටේ සංවර්ධනය ගැන අපට සෑහීමකට පත් වන්නට බැහැ. මේ
තත්ත්වය වෙනස් කරන්නට අප සියලූදෙනාටම වගකීමක් තිබෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය කැපවීම් කරන්නට අපි සූදානම් විය යුතුයි.
මහජන නියෝජිතයෙකුගේ මූලික වගකීම ජනතා සේවයයි. අපට ලැබී ඇති තනතුරු වරප‍්‍රසාදයන් නොව වගකීම් බව අප සියලූදෙනාම මතක තබා ගත යුතුයි.
රටක් දියුණු කරන්නට නිවැරදි දැක්මක් හා සැලසුම් අවශ්‍යයි. ජනාධිපතිවරණයේදී රටේ ජනතාවට හඳුන්වා දුන් “සෞභාග්‍යයේ දැක්ම” ප‍්‍රතිපත්ති මාලාව වසර 4 කට ආසන්න කාලයක් වියත්මග වැනි ජාතික සංවිධාන හරහාත්, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කළ ” ගම සමග පිළිසඳරක්” වැඩසටහන හරහාත්, අනෙක් දේශපාලන පක්ෂ සමග කළ සංවාද හරහාත්, ජනතාවගේ අදහස් ලබා ගනිමින්, මගේ දැක්මත් එයට එක් කොට සකස් කළ ජාතික වැඩපිළිවෙලක්.
ඒ සැලැස්මට අනුව ජනතාවට බරක් වී තිබූ බදු බර ලිහිල් කිරීම, විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමතාවයෙන් ඉහළ පරිපාලන ක‍්‍රමවේදයකට මුලපිරීම, අනවශ්‍ය රාජ්‍ය වියදම් කපාහැරීම වැනි පියවර රැසක් අපි මේ වනවිටත් ගෙන තිබෙනවා. අපේ ප‍්‍රතිපත්තීන් අතර ජාතික ආරක්ෂාවට ඉහළම ප‍්‍රමුඛත්වයක් හිමිවෙනවා.
ජාතික ආරක්ෂක යාන්ත‍්‍රණය නැවතත් ශක්තිමත් කරන්නට අවශ්‍ය පියවර අපි දැනටමත්
ගෙන තිබෙනවා. දක්ෂ නිලධාරීන්ට නැවතත් වගකීම් භාර දී තිබෙනවා. ජාතික ආරක්ෂාවට වගකියන ත‍්‍රිවිධ හමුදාව හා පොලීසිය අතර මනා සම්බන්ධීකරණයක් ඇති කරන්නට අප පියවර ගෙන තිබෙනවා. ජාතික බුද්ධි අංශ ජාලය ප‍්‍රතිසංවිධානය කොට ශක්තිමත් කොට තිබෙනවා.
අපේ මව්බිම ත‍්‍රස්තවාදයෙන්, අන්තවාදයෙන්, පාතාල ක‍්‍රියාකාරකම්වලින්, සොර බියෙන්, කප්පම්කරුවන්ගෙන්, මත්ද්‍රව්‍ය උවදුරින්, සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කරන්නන්ගෙන්, කාන්තා හා ළමා හිංසනයෙන් තොර සුරක්ෂිත රටක් කරන්නට අවශ්‍ය සියලූ පියවර ගන්නට කටයුතු කරනවා.
අපේ මූලික අරමුණ ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, විනයගරුක සමාජයක් හා සෞභාග්‍යමත් දේශයක් ඇති කරලීමයි.
මේ රටේ ජීවත්වන, වැඩ කළහැකි වයසේ සිටින, සෑම නිරෝගී පුරවැසියෙකුම සමාජයට වැඩදායී, ඵලදායී පුරවැසියෙක් කිරීමට රජය මූලිකත්වය ගත යුතුයි. අපට අවශ්‍ය ඔවුන් සියලූදෙනාගේම දායකත්වය මේ රටේ ආර්ථිකයට ලබා ගැනීමටයි.
සංවර්ධන ක‍්‍රියාවල ප‍්‍රතිලාභ රටේ ජනතාවගේ සෑම කොටසකටම බෙදී යන බවට අපි වගබලා ගත යුතුයි. එමෙන්ම රටේ ජනතාවගේ අවශ්‍යතාවන් සැබවින්ම ඉටුවෙනවාද, ඔවුන් සතුටින් සිටිනවාද යන්න සොයා බැලීමට නවීන ක‍්‍රමවේදයක් හා දර්ශක භාවිත කළ යුතුයි. ආණ්ඩුවේ වැඩපිළිවෙල ගැන ජනතාවගේ ප‍්‍රතිචාරය සොයා බැලීමට ඡන්දයක් එනතුරු බලා සිටින්නට අවශ්‍ය නැහැ.
ජනතාවගේ ජීවන බර අඩු කිරීමට අප ගන්නා උත්සාහයට සියලූදෙනාගේම සහාය අපට අවශ්‍යයි. පසුගිය දිනවල අපි ව්‍යාපාරික ක්ෂේත‍්‍රයට ලබා දුන් බදු සහනවලින් යම් ප‍්‍රතිශතයක් ඔවුන් විසින් ජනතාවට ලබා දිය යුතුයි. ඒ අනුව බදු අඩු කළ සෑම භාණ්ඩයකම හා සේවාවකම යම් මිල අඩුවීමක් අපි බලාපොරොත්තු වෙනවා.
දුප්පත්කම නැති කිරීම අපේ රජයේ ප‍්‍රමුඛතාවක් ලෙස සලසනවා. ඒ සඳහා අපි ජනතාව දුප්පත් වීමට හේතු වටහාගෙන ඒවාට විසඳුම් සැපයිය යුතුයි. නිසි අධ්‍යාපනයක් හෝ නිපුණත්වයක් නැතිකම, වගා කිරීමට ඉඩමක් නැතිකම, ස්වයංරැකියාවක් ආරම්භ කරන්නට ප‍්‍රාග්ධනයක් නැතිකම වැනි ගැටලුවලට විසඳුම් ලබාදීමෙන් දුප්පත්කම නැති කිරීමට ප‍්‍රායෝගික ප‍්‍රවේශයක් ලබා ගත හැකියි.
ඉදිරි මාසය තුළ මේ රටේ ආදායම් අඩු පවුල්වල තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා
ලබාදීමට අපි සැලසුම් සකස් කොට තිබෙනවා. රාජ්‍ය අංශයත්, පෞද්ගලික අංශයත් එක් කරගෙන රැකියා වියුක්තියට ප‍්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කිරීමට මගේ රජය සූදානම්.
ගුණගරුක, නීතිගරුක, විනයගරුක සමාජයක් ගොඩ නගමු යන්න පසුගිය මැතිවරණයේදී අපේ තේමාවක් වුණා. ජනතාව ඒ සඳහා අපට වරමක් ලබා දී තිබෙනවා.
අප ඉතා පැරණි ඉතිහාසයක් ඇති, බෞද්ධ දර්ශනය මෙන්ම තවත් ලොව පිළිගත් ආගම් කීපයකම ඉගැන්වීම්වලින් පෝෂණය වූ සමාජයක් සිටින රටක්. අපේ සාරධර්ම හා සංස්කෘතීන් අප හැමවිටම ආරක්ෂා කළ යුතුයි.
අපේ ඉලක්කය ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමයි. එය ස්වෛරී, නිදහස් රටක් විය යුතුයි. එමෙන්ම එය සුරක්ෂිත සාමකාමී රටක් විය යුතුයි. ලංකාව සැබවින්ම සෞභාග්‍යමත් දේශයක් වන්නේ මේ සියලූ අංග සම්පූර්ණ වූ විටයි.
“සෞභාග්‍යයේ දැක්ම” තුළින් අප හඳුන්වා දෙන්නේ ජනතා කේන්ද්‍රීය ආර්ථික ප‍්‍රතිපත්තියක්.
සෑම පුරවැසියෙකුටම පිළිගතහැකි මට්ටමේ ආර්ථික ස්ථාවරත්වයක් සහතික කිරීම, දියුණු වීමට උත්සාහ ගන්නා සෑම අයෙකුටම සම අවස්ථා ලබාදීම, ජනතා සේවය වෙනුවෙන් කැපවූ පිරිසිදු, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තහවුරු කිරීම හා දේශීය ව්‍යවසායකයන් ආරක්ෂා කොට ඔවුන් සවිබල ගැන්වීම එහි ප‍්‍රධාන අරමුණුයි.
ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් සාර්ථකව ස්ථාපිත කිරීමට නම් රජයේ ඉහළම නිලධාරියා සිට පහළම නිලධාරියා දක්වා රට සංවර්ධනය පිළිබඳව අපේ දැක්ම හා අරමුණු ගැන දැනුවත් විය යුතුයි. එවිට ඔවුන්ගේ රාජකාරී වඩාත් ඵලදායී ලෙස ඉටුකරන්නට පුළුවන්.
දූෂණය හා වංචාව පිටු දැකීමට විශේෂ වැඩපිළිවෙලකුත් අපට ක‍්‍රියාත්මක කරන්නට සිදුවෙනවා. දූෂණ ක‍්‍රියාවල යෙදෙන්නන්ට එරෙහිව තරාතිරම නොතකා අප නීතිය කඩිනමින් ක‍්‍රියාත්මක කරනවා.
අද බොහෝ රටවල් රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාවය ඉහළ දැමීමට තාක්ෂණය විසඳුමක් ලෙස යොදාගෙන තිබෙනවා. ඒ හරහා සැමට සමාන අවස්ථා ලබා දෙන්නටත් පුළුවන්. ඒ නිසා රාජ්‍ය ආයතන තුළ තාක්ෂණය භාවිතය ප‍්‍රචලිත කිරීමට විශේෂ අවධානයක් යොමු කරනවා.
අප අනාගතය සැලසුම් කළයුත්තේ අපේ රටේ භූගෝලීය පිහිටීම, භෞතික සම්පත් හා මානව සම්පත පාදක කරගෙනයි.
මීට වසර දහස් ගණනකට පෙර ලංකාව ග‍්‍රීක, රෝම, අරාබි, චීන ඇතුළු විවිධ ජාතික වෙළෙන්දන් පැමිණෙන ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයක්ව තිබුණා. ලංකාව එසේ ලොව සුපතල වන්නට ප‍්‍රධාන හේතුව වූයේ පෙර අපරදිග යා කරන මුහුදු මාර්ගයේ ඉතා සුවිශේෂී තැනක අපේ රට පිහිටා තිබීමයි. අදත් අපට ඒ වාසිය ඒ ආකාරයෙන්ම
ලබාගත හැකියි.
2005 – 2014 කාලයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය, ලංකාව දකුණු ආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානය ලෙස දියුණු කරන්නට සැලසුම් කළා.
මත්තල ගුවන් තොටුපල හා හම්බන්තොට වරාය තෝරා ගනු ලැබුවේ දකුණේ විශාල කාර්මික නගරයක් ගොඩනැගීමේ අරමුණ ඇතිවයි.
කොළඹ වරාය නගරය ගොඩනගන්නට තීරණය කලේ ලංකාව ආසියාව තුළ මුල්‍ය හා වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහායි. දීර්ඝකාලීන අරමුණු ඇතුව සැලසුම් කළ ඒ ව්‍යාපෘති අපි ඉදිරියට ගෙන යා යුතුයි.
අප නිවැරදි සැලැස්මකට අනුව කටයුතු කළහොත්, කලාපීය අසල්වැසි රටවලට භාණ්ඩ හා සේවා සපයන විවිධ ජාත්‍යන්තර ව්‍යාපාර ලංකාවේ ස්ථානගත කරවා ගන්නට පුළුවන්. ඒ සඳහා ආයෝජකයන් දිරිගැන්වීම සඳහාත්, එම ආයෝජකයන්ට ලංකාව
තුළ අවශ්‍ය පහසුකම් සියල්ල කඩිනමින් සැපයීම සඳහාත් අප සූදානම්ව සිටිය යුතුයි.
අධිවේගී මාර්ග පද්ධතිය මෙන්ම මහාමාර්ග පද්ධතිය දියුණු කිරීමේ වැඩකටයුතු වේගවත් කොට රටේ ඕනැම තැනක සිට තවත් තැනකට පැය කිහිපයක් ඇතුලත ගමන් කළහැකි වාතාවරණයක් ඇති කිරීම ආර්ථික සංවර්ධනයට ඉතා වැදගත් වෙනවා. දුම්රිය සේවාව වැඩිදියුණු කිරීමත් මේ වැඩපිළිවෙලේ අවශ්‍යතම අංගයක්. කාර්යක්ෂම හා සුවපහසු දුම්රිය සේවාවක් මගින් අද බරපතල ගැටළුවක්ව පවතින මාර්ග තදබදයටත් විසඳුම් සොයන්නට පුළුවන්.
නාගරීකරණය රටකට යහපත් මෙන්ම අයහපත් ප‍්‍රතිඵල ගෙන දෙනවා. සංවර්ධනය රටේ සෑම ප‍්‍රදේශයකටම බෙදීයාම සහතික කිරීම සඳහා අපට ප‍්‍රතිනාගරීකරණ වැඩපිළවෙලක් අවශ්‍ය වෙනවා. නාගරික තදබදය අඩු කිරීමට, පරිසර දූෂණය අඩු කිරීමට මෙන්ම ජීවන වියදම අඩු කිරීමට මේ හරහා අපට පහසු වෙනවා. ලංකාව පුරා විසිරී සිටින ජනතාවට තම අධ්‍යාපන කටයුතු, සෞඛ්‍ය සේවා හා රැකියා සඳහා තම ප‍්‍රදේශය තුළම අවශ්‍ය පහසුකම් තිබිය යුතුයි. මාර්ග හා දුම්රිය මාර්ග පද්ධතියේ
දියුණුව මෙන්ම රට පුරා අධිවේගී අන්තර්ජාල පහසුකම් හා සන්නිවේදන පහසුකම්
ලබාදීමත් මේ සඳහා වැදගත් වෙනවා.
ආර්ථික සංවර්ධන ක‍්‍රියාවලියේදී විදුලි මිල වැදගත් සාධකයක්. විශේෂයෙන්ම කාර්මික ක්ෂේත‍්‍ර සඳහා ආයෝජකයන් ගෙන්වා ගැනීමේදී මෙය බලපානවා. සාධාරණ මිලකට බලශක්තිය නිෂ්පාදනය කිරීම සඳහා අපට කෙටිකාලීන මෙන්ම දීර්ඝකාලීන විසඳුම් අවශ්‍යයි. දීර්ඝකාලීන විසඳුම් සෙවීමේදී සූර්ය බලය, සුලං බලය, ජල විදුලිය වැනි පරිසර හිතකාමී පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් ගැන විශේෂ අවධානය යොමු කිරීම අපේ ප‍්‍රතිපත්තිය වෙනවා.
අපේ රට මැණික් හා ඛනිජ සම්පත්වලින් පොහොසත් රටක් වූවාට අගය වැඩිකිරීමේ කර්මාන්ත තවමත් ජාත්‍යන්තර මට්ටමට දියුණු වී නැහැ. අගය වැඩි කිරීමෙන් තොරව මේ ස්වාභාවික සම්පත් අපනයනය කිරීමෙන් රටට ලබා ගතහැකි විශාල විදේශ විනිමයක් වාර්ෂිකව අහිමි වෙනවා. ලංකාවේ පමණක් නොව අප‍්‍රිකානු කලාපීය රටවලින් පවා ගෙනෙනා මැණික් අගය වැඩිකොට අලෙවි කළ හැකි ජාත්‍යන්තර මට්ටමේ මැණික් වෙළෙඳ සංකීර්ණයක් ලංකාවේ පිහිටුවීමට අපි කටයුතු කළ යුතුයි.
සාගර හා භූ විද්‍යා සමීක්ෂණ සඳහා නවීන තාක්ෂණ පහසුකම් ලබා දිය යුතු අතර
ලංකාවේ ඛනිජ සම්පත්වලට අගය එකතු කිරීමේ කර්මාන්ත සඳහා වූ ආයෝජන වලට විශේෂ සහන සලසා ඒවා දිරිමත් කළ යුතුයි.
විවිධ නීතිරීති, බලපත‍්‍ර, තහංචි මගින් ශ‍්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායික ජීවනෝපායන් වූ මැණික් කර්මාන්තය, උළු කර්මාන්තය, ගඩොල් කර්මාන්තය, වඩු කර්මාන්තය, හස්ත කර්මාන්ත වැනි ක්ෂේත‍්‍ර සඳහා අනවශ්‍ය හා අසාධාරණ සීමාවන් පනවමින් රටේ සංවර්ධනයට බාධා කිරීමට අපි ඉඩ දෙන්නේ නැහැ.
අනාගතය සැලසුම් කරන විට කෘෂිකර්මාන්තය, වැවිලි කර්මාන්තය හා ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් දැනට තිබෙනවාට වඩා විශේෂ අවධානයක් යොමු විය යුතුයි. හොඳ දේශගුණයක් තිබෙන විශාල මුහුදු ආර්ථික කලාපයකට හිමිකම් තිබෙන රටක් වශයෙන් අපට මේ කර්මාන්ත මීට වඩා බොහෝ දියුණු කරන්නට පුළුවන්.
කුළුබඩු, පළතුරු, එළවළු, ධාන්‍ය, මස් සහ මාළු වැනි අපනයනය කළ හැකි කෘෂි නිෂ්පාදන රැසක් තිබියදී, මෙයට වඩා අපනයන ආදායමක් අප ලබා ගතයුතුයි.
රටේ ජනතාවගෙන් 1/3 ක් ජීවත් වන්නේ කෘෂිකර්මාන්තය හා වැවිලි කර්මාන්තය හා ධීවර කර්මාන්තය මතයි. අපි මේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවිය යුතුයි.
මෙම කර්මාන්ත දියුණු කිරීම සඳහා සාම්ප‍්‍රදායික වගා ක‍්‍රමවලින් ඔබ්බට ගිය තාක්ෂණය මුල් කරගත් නව ප‍්‍රවේශයක් අවශ්‍යව තිබෙනවා.
එමෙන්ම වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය අරමුණු කොට කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර භාවිතය ප‍්‍රචලිත කිරීමත්, අපේ ප‍්‍රතිපත්තියේ කොටසක්. ඉදිරි දශකය තුළ ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කිරීම සඳහා අවශ්‍ය කරන සැලසුම් අපි සකස් කළ යුතුයි. දේශීයව කාබනික පොහොර නිෂ්පාදනය වර්ධනය කිරීමේ වැඩපිළිවෙලකුත් මෙයට අයත් වෙනවා.
කෘෂි නිෂ්පාදන සීමාවකින් තොරව ප‍්‍රතිඅපනයනයට ඉඩදී තිබීම නිසා සුළු අපනයන භෝග වගාකරුවන්ට ඇති වී තිබුණු ගැටලූ විසඳන්නට අපි නව රජය පත්වූ වහාම ක‍්‍රියා කළා. කෘෂි නිෂ්පාදන ප‍්‍රතිඅපනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට මේ වනවිට නියෝග දී තිබෙනවා.
සාගර ආර්ථිකය සම්බන්ධයෙනුත් මීට වඩා අවධානයක් යොමු විය යුතුයි. ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා අවශ්‍ය කරන නව තාක්ෂණය හා යන්ත්‍රෝපකරණ ලබාදීම සඳහා ක‍්‍රමවත් වැඩපිළිවෙලක් අපි හඳුන්වා දෙනවා. ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන බහුදින යාත‍්‍රාවලට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා සියලූම ධීවර වරායන් නවීකරණය කරන අතර, අවශ්‍යතාවයන්ට අනුව අලූතින් වරායවල් ඉදිකිරීමටත් කටයුතු කරනවා.
මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කිරීම සඳහා නව තාක්ෂණය හඳුන්වාදීමත් අපේ සැලැස්මේ කොටසක්. අනාගත පරපුර වෙනුවෙන් පරිසරය සුරැකීම අපේ මූලික වගකීමක්. රාජ්‍ය ප‍්‍රතිපත්ති සකස් කිරීමේදී හා ක‍්‍රියාත්මක කිරීමේදී පරිසර ආරක්ෂණය
ගැන අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා.
එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු ඉටුකිරීමේ දී ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් බවට ලංකාව පත්කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
රටක් වශයෙන් අපට ඇති වටිනාම සම්පත අපේ අනාගත පරපුරයි. ඒ නිසා මානව සම්පත් සංවර්ධනය, අපේ රජයේ මූලික වගකීමක් ලෙස අපි හඳුනාගෙන තිබෙනවා.
රටේ අනාගත පරපුර ඵලදායී පුරවැසියන් කරන්නට අවශ්‍ය දැනුමින් ඔවුන් පෝෂණය කරන්නට, ඔවුන්ගේ කුසලතා හා නිපුණතා වර්ධනයට විශේෂ අවධානයක් යොමු කරන්නට අපට සිදුවෙනවා. තරුණ තරුණියන්ට අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ අතරමං වීමට ඉඩ නොදී ඔවුන්ට උසස් අධ්‍යාපනයට හා තාක්ෂණික අධ්‍යාපනයට ඇති අවස්ථා පුළුල් කළ යුතුයි. මේ සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් ඉතා කෙටි කාලයක් තුළ ගොඩනැගිය යුතුයි. රජයේ විශ්වවිද්‍යාලවල හා රජයේ විවිධ උසස් අධ්‍යාපන ආයතනවල ඇති ධාරිතාවන් කාර්යක්ෂමව ප‍්‍රයෝජනයට ගැනීම තුළින්, විශ්ව විද්‍යාලවලට ඇතුලත් කර ගන්නා ශිෂ්‍යයන් සංඛ්‍යාව වැඩි කළ යුතුයි.
අද විශ්වවිද්‍යාලවල උගන්වන සමහර පාඨමාලා රැකියා වෙළෙඳපොලට ගැලපෙන්නේ නැහැ. වර්තමාන රැකියා වෙළෙඳපොල අවශ්‍යතාවන් සඳහා අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පුහුණු කිරීම සඳහා දැනට හදාරන පාඨමාලාවලට අමතරව ඔවුන්ට ස්වේච්ඡාවෙන් සහභාගි විය හැකි කෙටිකාලීන අමතර පාඨමාලා හඳුන්වාදීමට අපි බලාපොරොත්තු වෙනවා. සිසුන් ඇතුලත් කිරීමේදී මෙන්ම වෙළෙඳපොල අවශ්‍යතා ඉලක්ක කරගෙන පාඨමාලා ප‍්‍රතිසංස්කරණය කිරීමේදී විශ්වවිද්‍යාල හා අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවලට වැඩි නිදහසක් ලබා දිය යුතුය
2026-08-28
ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයම නියෝජනය කරමින් පාර්ලිමේන්තු නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් නවදිල්ලි නුවර ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන ධාරිතා වර්ධන වැඩසටහනකට සහභාගී වෙමින් සිටිති.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ ඉල්ලීම මත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා මෙම ධාරිතා වර්ධන වැඩසටහන ආරම්භ කෙරිණි. අනතුරුව, ලෝක් සභාවේ කථානායක ශ්‍රී ඕම් බිර්ලා මහතාගේ මඟපෙන්වීම යටතේ, ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ මහ ලේකම් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කර පහසුකම් සලසා දෙන ලදී. මෙම සහයෝගීතාවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිලධාරීන් 50 දෙනෙකුට මෙම වැඩසටහන සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වුණි.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායම පසුගිය මාසයේදී ඉන්දියාවේදී මෙම වැඩසටහනට සහභාගී වූ අතර, එම නියෝජිත පිරිස සමඟ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතා ද සහභාගී විය. එහි දෙවන අදියර ලෙස, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ නායකත්වයෙන් යුත් තවත් නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වන විට නවදිල්ලි නුවරදී වැඩසටහනට සහභාගී වෙමින් සිටීයි.මෙම වැඩසටහන් ද්විත්වයම ලෝක් සභා මහ ලේකම් කාර්යාලයට අනුබද්ධ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන පාර්ලිමේන්තු පර්යේෂණ හා පුහුණු ආයතනය (PRIDE) විසින් පවත්වනු ලබන අතර, පාර්ලිමේන්තු නිලධාරීන්ගේ වෘත්තීය දැනුම, කුසලතා සහ ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීන් නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයට පැමිණි අවස්ථාවේදී ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඔවුන්ව උණුසුම් ලෙස පිළිගන්නා ලදී.සිය සංචාරයේ කොටසක් ලෙස, වැඩසටහන ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නිලධාරීහු පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රේරණා ස්ථල්හිදී මහත්මා ගාන්ධිතුමාගේ ප්‍රතිමාව වෙත පුෂ්පෝපහාර දැක්වුහ.මෙම ධාරිතා වර්ධන වැඩසටහනේදී පාර්ලිමේන්තු පරිපාලනය හා ක්‍රියාකාරිත්වයට අදාළ පුළුල් පරාසයක විෂයයන් පිළිබඳ දැනුම ලබාදීම සිදු කෙරේ. ජාත්‍යන්තර පාර්ලිමේන්තු සබඳතා සහ ප්‍රොටෝකෝලය, පාර්ලිමේන්තුව වෙත විධායකයේ වගවීම, පාර්ලිමේන්තු කාරක සභාවල කාර්යභාරය හා ක්‍රියාකාරිත්වය, ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ සංවිධාන ව්‍යුහය සහ එහි පරිපාලන අංශයේ ක්‍රියාකාරිත්වය ඒ අතර වේ.එමෙන්ම, කාරක සභා ලේකම් කාර්යාල සහ විවිධ අංශවල ක්‍රියාකාරිත්වය හා කළමනාකරණය, පාර්ලිමේන්තු වරප්‍රසාද හා ආචාරධර්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සපයනු ලබන සේවා, මන්ත්‍රීවරුන්ගේ සේවා, දීමනා සහ සුබසාධන පහසුකම් පිළිබඳව ද නිලධාරීන්ට අවබෝධයක් ලබා දීමට වැඩසටහන මඟින් අවස්ථාව සලසා ඇත.මීට අමතරව, මහ ලේකම් කාර්යාලයේ අයවැය සකස් කිරීම, ඒකාබද්ධ මූල්‍ය ඒකකයේ (IFU) කාර්යයන්, අයවැය හා අයවැය සම්බන්ධ අංශවල කාර්යභාරය මෙන්ම ව්‍යවස්ථාදායක ආයතනවල මුලසුන හොබවන නිලධාරීන්ගේ කාර්යභාරය හා බලතල පිළිබඳව ද මෙම වැඩසටහනේදී අවධානය යොමු කෙරේ.නියෝජිත පිරිස ඉන්දීය පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගොස් ලෝක් සභා සහ රාජ්‍ය සභා මන්ත්‍රී මණ්ඩල ශාලා මෙන්ම සංවිධාන සභා ගොඩනැගිල්ලේ (Samvidhan Sadan) මධ්‍යම ශාලාව ද නිරීක්ෂණය කළහ. එමෙන්ම, පාර්ලිමේන්තු පුස්තකාල ගොඩනැගිල්ල වෙත ද සංචාරය කළ අතර, එමඟින් ඉන්දීය පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ පාර්ලිමේන්තු සහාය සේවා පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට නිලධාරීන්ට අවස්ථාව සැලසුණි.අධ්‍යයන හා ආයතනික සැසිවලට අමතරව, මෙම වැඩසටහනට ආග්‍රා නගරයේ සංස්කෘතික සංචාරයක් ද ඇතුළත් විය. මෙම වැඩසටහන, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අඛණ්ඩව සිදුවන පාර්ලිමේන්තු සහයෝගීතා හා ධාරිතා වර්ධන වැඩසටහන්වල කොටසක් වන අතර, දෙරටේ පාර්ලිමේන්තු ආයතන අතර අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි, පරිපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමටත් මෙය වැදගත් අවස්ථාවක් සලසා දෙයි.මේ අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මියගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක් නවදිල්ලි නුවරදී ලෝක් සභා මහ ලේකම් කාර්යාලයේ මහ ලේකම් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා හමුවී සුහද හා ඵලදායී සාකච්ඡාවක නිරත වූහ.මෙහිදී මෙම ධාරිතා වර්ධන වැඩසටහන සංවිධානය කර පහසුකම් සලසා දීම සම්බන්ධයෙන් ශ්‍රී උත්පල් කුමාර් සිං මහතා වෙත සිය අවංක ස්තූතිය පළ කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි අනූෂා රෝහණදීර මහත්මිය, වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දුන් සහයෝගය ද අගය කළාය.එසේම මහ ලේකම්තුමිය ප්‍රමුඛ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් අංශ නියෝජනය කරන නිලධාරීහු පිරිසක් ඉන්දීය ව්‍යවස්ථාදායකයේ නිල රූපවාහිනි නාලිකාව වන “Sansad TV” හි කටයුතු සිදුවන ආකාරය ද නිරීක්ෂණය කළහ. මෙම වැඩසටහන සාර්ථක කණ්ඩායම් හරහා අඛණ්ඩව පවත්වාගෙන යාම මඟින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ලෝක් සභා මහ ලේකම් කාර්යාලය අතර වර්ධනය වෙමින් පවතින ආයතනික සබඳතා තවදුරටත් ශක්තිමත් වන අතර, දෙරට අතර පාර්ලිමේන්තු විශේෂඥ දැනුම සහ යහපත් භාවිතයන් හුවමාරු කර ගැනීමට ද එය වැදගත් දායකත්වයක් සපයයි.
2026-08-21
රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව අද (අගෝ. 21) පාර්ලිමේන්තුවේදී අනුමත විය. එයට අදාළ විවාදය අද පෙරවරු 11.30 සිට ප.ව 12.30 දක්වා පැවැත්විණි.කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබිණි.
2026-08-21
• ශෝකය පළ කිරීම සඳහා සභා ගර්භයේ විනාඩියක නිශ්ශබ්දතාවක්දැයෙන් සමුගත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී අද (අගෝ. 21) ශෝකය පළ කෙරිණි. ඒ අනුව ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ යෝජනාවකට අනුව සභාගර්භය තුළ විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කෙරිණි. ඉන් අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය හඬ ලෙස සම්භාවනාවට පාත්‍ර වූ දශක අටකට වැඩි කාලයක් සිය ගායන පෞරුෂයෙන් මෙරට සංගීතය හා සංස්කෘතිය පෝෂණය කළ අචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය පිළිබඳ පුවත ඇසීමේ තමා ඉමහත් සංවේගයට පත්වූ බවයි. නන්දා මාලිනී මහත්මියගේ විවිධ ගීත ඇසෙමින් ඒ ගීත සමග ජීවිතයේ විවිධ අවස්ථා ගෙවී ගිය රසිකාවියක ලෙස එතුමියගේ අභාවය හුදෙක් ලාංකීය සංගීතයට අසමසම කලා පෞරුෂයක් අහිමි වීමක් ලෙස පමණක් නොව අපේ ජීවිතවලට සමීපව අපේ මතකයන් සමග බැඳී සතුටේදීත් වේදනාවේදීත් අප සමග හිටි හුරු පුරුදු හඬක් අපෙන් වෙන් වීමක් බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.එතුමියගේ ගීත සිය පරම්පරාවේ අත්දැකීම් සමග බැඳී තිබුණු අතර ඇගේ මනරම් හඬ සමග රැඳී තිබූ මතකයන් ඇගේ වියෝවත් සමග වඩාත් තදින් දැනෙන බව ද සඳහන් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ ගායන දිවිය ශ්‍රී ලාංකේය ගීත කලාවේ එක් යුගයක් පමණක් නොව, මෙරට ජන ජීවිතයේත්, සමාජ චලනයන්ගේත්, මිනිස් හැඟීම්වලත් සජීවී ප්‍රකාශනයක් වූ බව ප්‍රකාශ කළාය. ප්‍රේමය හා විරහව වැනි මානව හැඟීම් ගැයීමෙන් ඔබ්බට ගිය නන්දා මාලිනිය, පොදු ජනතාවගේ දුක, බිය, බලාපොරොත්තු සහ අරගලය සිය ගීත තුළින් හඬක් බවට පත් කළ බවත් ඒ නිසාම ඇගේ ගීත ඇසෙන විට අපට දැනුණේ ගායිකාවකගේ හඬක් පමණක් නොව, අපේම සමාජයේ හඬ බවත් සිහිපත් කළාය. අද නන්දා මාලිනියගේ වියෝව පිළිබඳ ශෝක වන මොහොතේ, ශ්‍රී ලාංකේය සංගීතයට අහිමි වූ අසමසම කලාකාරිනිය ගැන පමණක් නොව, අපේ ජීවිතයේ බොහෝ මතකයන් සමඟ බැඳුණු ආදරණීය හඬක් ගැන ද තමා සිහිපත් කරන බව අගමැතිවරිය ප්‍රකාශ කළාය. එසේම දශක ගණනාවක් පුරා අප සමඟ ගමන් කළ ඒ හඬ අද නිහඬ වුව ද, එතුමිය ගැයූ ගීත අපේ මතකයන් තුළත්, අපේ හදවත් තුළත් දිගටම ජීවත් වනු ඇති බව ද සිහිපත් කළ අගමැතිවරිය නන්දා මාලිනියගේ දියණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, එතුමියගේ ගී හඬට ආදරය කළ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවටත් තම බලවත් සංවේගය පළ කරන බවද ප්‍රකාශ කළාය.මෙම අවස්ථාවේදී ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම අදහස් පළ කරමින් සඳහන් කළේ නන්දා මාලිනී මහත්මිය තමා පෞද්ගලිකවම හඳුනන බවත් ඇය කිසිවකට නොනැමුණු හැමවිටම ජනතාව වෙනුවෙන් හිටගත් කලාකාරිණියක් ලෙස මානව දයාව, කරුණාව, අනුකම්පාව ඉතාමත්ම ඉහළින්ම තිබුණු අපේ රටේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම ගායනවේදිනියක් බවයි. මෙහිදී අදහස් දැක්වූ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, අභාවයට පත් ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් සභාගර්භය තුළ පළ කළ අදහස් සමග තමාද එක්වන බවත් එතුමියට නිවන්සුව අත්වේවායි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් ප්‍රාර්ථනා කරන බවත් ප්‍රකාශ කළේය.
2026-08-20
රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500 ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව හෙට පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 දක්වා අනුමතිය සඳහා විවාදයට ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් අද (අගෝ. 20) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේම ව්‍යාපෘති/වැඩසටහන් සඳහා 2026 වර්ෂයට වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් මෙම වර්ෂය තුළදී උපයෝජනය නොවන බවට අපේක්ෂිත ප්‍රතිපාදන රුපියල් මිලියන 7500 ක් ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කොට තිබේ. අනතුරුව රජය විසින් ගෙනෙනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව පෙ.ව. 1.00 සිට ප.ව. 5.30 දක්වා විවාදයට ගැනීමට නියමිතව තිබේ.