E   |     |  

2019-06-04

පුවත් කාණ්ඩ : පුවත් 

ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සහතික කිරීම පිණිස ඒ පිළිබඳව අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ පස්වැනි රැස්වීම

ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සහතික කිරීම පිණිස ඒ පිළිබඳව අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ පස්වැනි රැස්වීම අද දින කාරක සභා කාමර අංක 01 හිදී පැවැත්විණි. කථානායක ගරු කරු ජයසූරිය මහතා එහි මුලසුන හෙබවීය.

 

කාරක සභාව විසින් රටේ පවත්නා තත්වය සහ 2019.02.22 දිනැති විශේෂ කාරක සභාවේ අතුරු වාර්තාවේ සඳහන් නිර්දේශ හා සම්බන්ධ කරුණු පිළිබඳව වටමේස සාකච්ඡාවක් පවත්වන ලදී.

 

1

2

3

4

 



සම්බන්ධිත පුවත්

2026-05-13

ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී

ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පසුගියදා පැවැත්විණි. ඒ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙනි. ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයීය ශිෂ්‍යාවන් සඳහා පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාදීම අරමුණු කොටගෙන එම විද්‍යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මේ අවස්ථාව සඳහා, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, පිළියන්දල කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ ‍කුමුදු හේමමාලි යන මහත්ම මහත්මීන්ද සහභාගී වූහ.මෙහිදී අදහස් දක්වමින් ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය ශිෂ්‍ය පාර්ලිමේන්තු මගින් දරුවන්ගේ ජීවිතවලට ළඟා කරගත හැකි යහපත් පුරුදු සහ ඒ ඔස්සේ එම දරුවන්ගේ ජීවිත සාර්ථක කරගැනීමේ අවස්ථාව පිළිබඳව අදහස් පළ කළාය. තවද ශිෂ්‍ය පාර්ලිමේන්තු ක්‍රමවේදය මගින් අනාගත ක්‍රියාකාරී නායකයන් බිහිකරගැනීමට අවස්ථාව සැලසෙන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවාය. එසේම ශිෂ්‍ය අවධියේදීම නිපුණතා සහ දක්ෂතා වැඩිදියණු කරගැනීමේ වැදගත්කම පිළිබඳවද ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිවරිය අදහස් දැක්වූ අතර සාම්ප්‍රදායික රාමුවෙන් පිට සිතීමේ වැදගත්කම පෙන්වා දුන්නාය. තවද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) කේ. ආර්. හේරත් මහතා  විසින් පාර්ලිමේන්තුවේ කාර්යභාරය, එහි සංයුතිය සහ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් දරුවන් දැනුවත් කිරීම සිදු කරන ලදි.ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කරමින් කථානායකවරිය තෝරා පත්කර ගැනීම සිදුවීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දීම සිදුවිය. පසුව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ එක් එක් අමාත්‍යවරියන් විසින් තම අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත සැළසුම් පිළිබඳව සභාව දැනුවත් කරන ලදී.මෙහිදී ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සිසුවියන් සඳහා සහතික පත්‍ර ලබාදීම ද ආරාධිතයින්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.වැඩසටහන අවසන් කරමින් ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයේ විදුහල්පති එම්.කේ.කේ.එම්. ප්‍රනාන්දු මහත්මිය විසින් ස්තූති කථාව සිදු කරන ලද අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් දැයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සිදු කරන මෙම වැඩසටන් මාලාව සම්බන්ධයෙන් සිය පැසසුම එක් කළේය.මෙම වැඩසටහන සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල, හා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.


2026-05-12

චීනයේ ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිත පිරිසක් ගරු කථානායකතුමා හමුවෙති

නියෝජිත පිරිස ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සමඟ සාකච්ඡා පවත්වතිඅධිකරණ කටයුතුවලට අදාළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සහ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඒකාබද්ධ රැස්වීමකට චීන නියෝජිත පිරිස සහභාගී වෙතිමහජන චීන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ (NPC) ස්ථාවර කමිටු සාමාජික සහ මහජන චීන සමූහාණ්ඩුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ නීති කමිටුවේ සභාපතිනි ගරු (මහාචාර්ය) ෂින් චුන්යිං (Xin Chunying) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවූහ.          නියෝජිත පිරිසට මහජන චීන සමූහාණ්ඩුවේ ස්ථාවර කමිටු සාමාජික සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ නීති කමිටුවේ උප සභාපති ගරු කොන්ග් බින් (Cong Bin) , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ නීති කමිටුවේ සාමාජික ගාඕ සිචෙන්ග් (Gao Zicheng) ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙක් ද ඇතුළත් වූහ.පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූවාය.නියෝජිත පිරිස පිළිගනිමින්, ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා,  ශ්‍රී ලංකාව සහ චීනය අතර වසර දෙදහසකට අධික කාලයක් පුරා පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා  සිහිපත් කළේය. එසේම දෙරට අතර ආරම්භ වූ නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 70 වන සංවත්සරය 2027 වසරේදී සැමරීමට නියමිත බවත් ඔහු පැවසීය.දිගුකාලීන මිතුරෙකු ලෙස දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහයෝගයට ගරු කථානායකතුමා චීන රජයට සිය කෘතඥතාව පළ කළේය. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු අවස්ථාව, මෑත කාලීන ආර්ථික අර්බුදය සහ ජාත්‍යන්තර සහ බහුපාර්ශ්වික සංසදවලදී ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය ඇතුළු මෙරට දුෂ්කර කාලවලදී චීනය දැක්වූ සහාය ඔහු විශේෂයෙන් සිහිපත් කළේය.ගරු (මහාචාර්ය) ෂින් චුන්යිං මහත්මිය ශ්‍රී ලංකාව සහ චීනය අතර ශක්තිමත් සහ කල් පවතින සබඳතා නැවත අවධාරණය කළ අතර ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සංවර්ධන උත්සාහයන් පිළිබඳ ප්‍රශංසා කළාය. දෙරටේ ව්‍යවස්ථාදායක අතර පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද ඇය අවධාරණය කළ අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වැඩි කිරීම සඳහා චීනය අඛණ්ඩව සහය දක්වන බව පැවසුවාය.අනතුරුව, දූත පිරිස ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ  ගරු සභාපති, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය, පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා හමුවී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත වූහ. අභියෝගාත්මක කාලවලදී ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය පිළිබඳව ගරු අමාත්‍යවරයා චීනයට සිය කෘතඥතාව පළ කළේය. දෙරට අතර පාර්ලිමේන්තු හුවමාරු වැඩසටහන් වැඩි දියුණු කිරීම, ප්‍රතිපත්ති සම්පාදනයේ සහයෝගීතාව සහ ආයතනික සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ  සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන තනුර දිසානායක සහ නීතිඥ අනුෂ්කා තිලකරත්න යන මහත්ම මහත්මීහු ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.ඉන්පසුව, දූත පිරිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සහ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඒකාබද්ධ රැස්වීමකට සහභාගී වූහ.මෙම රැස්වීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ගරු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික යන මහත්වරුන් ඇතුළු මෙම කාරක සභා ද්විත්වය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සහභාගී වූහ.ශ්‍රී ලංකාවේ අධිකරණ සහ නීති අංශ සංවර්ධනය සඳහා චීනය අඛණ්ඩව දක්වන සහයෝගය පිළිබඳව සභාපතිවරු දෙදෙනාම කෘතඥතාව පළ කළහ. එසේම මෙහිදී දෙරටේ නීතිමය සහ අධිකරණ භාවිතයන්, පාලනය සහ ආයතනික සහයෝගීතාව පිළිබඳව අදහස් හා අත්දැකීම් ද හුවමාරු කර ගැනීම සිදු විය.අනතුරුව ගරු කථානායකතුමා විසින් දූත පිරිසට දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී.


2026-05-08

ශක්තිමත් ද්විපාර්ශ්වික සහ පාර්ලිමේන්තු සබඳතා නැවත තහවුරු කරමින් වියට්නාම ගරු ජනාධිපති ටෝ ලාම් මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතයි

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරමින් වියට්නාම ජනාධිපතිවරයා,  කථානායකවරයා සහ ශ්‍රී ලංකා - වියට්නාම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සමඟ සාකච්ඡා පවත්වයිවියට්නාම සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති ටෝ ලාම් (To Lam) මහතා අද (මැයි 08) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතමින් වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය සහ වර්ධනය වන පුළුල් හවුල්කාරිත්වය නැවත තහවුරු කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතමින් ජනාධිපති ටෝ ලාම් මහතා වියට්නාමයේ සංවර්ධන ගමන, පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ වැදගත්කම, සාමය, තිරසාර සංවර්ධනය, කලාපීය සහයෝගීතාවය සහ ජනතාව කේන්ද්‍ර කරගත් වර්ධනය සඳහා දෙරටේම පොදු කැපවීම සඳහන් කළේය.    වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතා පෙ.ව. 11.05 ට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි අතර ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් පිළිගනු ලැබීය. ඉන්පසු වේත්‍රධාරි කුෂාන් ජයරත්න, නියෝජ්‍ය වේත්‍රධාරි අචින්ත කුරේ සහ සහකාර වේත්‍රධාරි ලක්මාල් කඩිගමුව යන මහත්වරුන් විසින් වියට්නාම ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට උත්සවාකාරයෙන් කැඳවාගෙන යන ලදී.අනතුරුව දෙරට අතර දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා සහ පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කරමින් ජනාධිපති ටෝ ලාම් මහතා සහ  පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර ද්විපාර්ශ්වික හමුවක් පැවැත්විණි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, ශ්‍රී ලංකා - වියට්නාම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති, ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර සහ සහකාර මහලේකම් හංස අබේරත්න යන මහත්ම මහත්මීහු  ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ. මෙහිදී ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින ගැඹුරු මිත්‍රත්වය සහ දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා දෙපාර්ශ්වයම නැවතත් තහවුරු කළහ. විශේෂයෙන් ශ්‍රී ලංකා - වියට්නාම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය මගින්  පාර්ලිමේන්තු හුවමාරු වැඩසටහන් හරහා ද්විපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම මෙහිදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා  අවධාරණය කළේය.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට අවස්ථාව ලැබීම පිළිබඳව ජනාධිපති ටෝ ලාම් මහතා සිය කෘතඥතාව පළ කළ අතර, සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා වියට්නාමයට පැමිණෙන ලෙස ගරු කථානායකතුමාට සහ පාර්ලිමේන්තු දූත පිරිසකට ආරාධනාවක් ද කළේය. ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය සහ අඛණ්ඩ සංවර්ධන ප්‍රයත්නයන් ද ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්වූ අතර, වියට්නාමයේ සහයෝගය සහ දෙරට අතර පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය ශක්තිමත් කිරීමේ වැදගත්කම නැවත අවධාරණය කළේය.වියට්නාම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අමුත්තන් සඳහා වන විශේෂ පුස්තකයෙහි සිය අත්සන ද  තැබීය.අනතුරුව පෙ.ව 11.35 ට සභාගර්භයට පිවිසෙන වියට්නාම් ජනාධිපතිවරයා ගරු කථානායකවරයාගේ ආසනය සමීපයේ පනවා ඇති විශේෂ ආසනයේ අසුන් ගත් අතර, පෙරවරු 11.40 ට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් සිය විශේෂ කතාව සිදුකළේය. වියට්නාම ජනාධිපතිවරයාගේ කතාවෙන් පසුව, ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්ම මහත්මීන් විසින් සිය ප්‍රකාශ සිදුකරන ලදී. සභාව තාවකාලිකව අත්හිටුවීමෙන් පසු, ජනාධිපති ටෝ ලාම් මහතා ප.ව. 12.30 ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටව ගියේය. 


2026-05-08

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ දරුවන් වෙනුවෙන් “ලිට්ල් රූට්ස්” නමින් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් සහ පෙර පාසලක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ  සේවයේ නියුතු කාර්ය මණ්ඩලයේ දරුවන්ට  සහාය වීම පිණිස,  “ලිට්ල් රූට්ස්” දිවා සුරැකුම් මධ්‍යස්ථානය සහ පෙර පාසල පසුගියදා (මැයි 06) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ “ගොවිජන මන්දිර” පරිශ්‍රයේ දී නිල වශයෙන් විවෘත කෙරිණි.පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ඉල්ලීමක් මත සමස්ත චීන කාන්තා සම්මේලනය (ACWF) විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත ප්‍රදානය කරන ලද චීන යුවාන් 1,000,000 ක  පරිත්‍යාගය යොදාගනිමින් මෙම  “ලිට්ල් රූට්ස්” නව දිවා සුරැකුම් මධ්‍යස්ථානය සහ පෙර පාසල ඉදිකොට තිබේ. දෙමාපියන් තම වෘත්තීය වගකීම් ඉටු කරන අතරතුර දරුවන්ගේ අධ්‍යාපනයට සහ මුල් ළමාවිය සංවර්ධනය කිරීමට අවශ්‍ය ආරක්ෂිත සහ උත්තේජක පරිසරයක් සැපයීම මෙම නව දිවා සුරැකුම් මධ්‍යස්ථානය  සහ පෙර පාසල  පිහිටු වීමේ අරමුණයි.“ලිට්ල් රූට්ස්” දිවා සුරැකුම් මධ්‍යස්ථානය සහ පෙර පාසල ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යන ආයතනයන්හි සමූහ ව්‍යාපෘතියක් ලෙස ඉදි කෙරිණි. මෙහි මුල් අදියරේ දී පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය සඳහා විවෘත වන අතර ඉදිරියේදී එය අනෙකුත් ආයතන දක්වා වඩාත් පුළුල් කිරීමට අපේක්ෂිතය. මෙම අවස්ථාවට  කෘෂිකර්ම, පශු සම්පත් සහ ඉඩම් ගරු අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍ය සහ පාර්ලිමේන්තු  මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, කාන්තා සහ ළමා කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන, කෘෂිකර්ම ගරු නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ, ජනමාධ්‍ය ගරු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, පාර්ලිමේන්තුවේ නියොජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, පාර්ලිමේන්තු  මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සම උප සභාපතිනි සමන්මලී ගුණසිංහ, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නියෝජනය කරමින් සංස්කෘතික කටයුතු භාර උපදේශක ජි ලිලී (Ji Lili) තෙවන ලේකම් ජියැං චැං (Jiang Chang) පාර්ලිමේන්තුවේ මහලේකම් සහ පාර්ලිමේන්තු  මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් සහභාගී වුහ. මෙයට අමතරව  පාර්ලිමේන්තු නිලධාරීන්, අමාත්‍යාංශ නිලධාරීන්, දෙමව්පියන් සහ දරු දැරියන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks