E   |     |  

සභාවේ කටයුතු


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම

රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා වැඩි කළ යුතු යැයිද, ව්‍යවස්ථාදායකය විසින් නිර්දේශ කරනු ලැබුවහොත් විශේෂ කුසලතා ඇති නිලධාරීන් සඳහා එය අවුරුදු 70 දක්වා දීර්ඝ කළ හැකි යැයි ද මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

දිස්ත්‍රික් මට්ටමින් තොරතුරු මධ්‍යස්ථාන ඇති කිරීම

භූගෝලීය පිහිටීම, ඓතිහාසික පසුබිම, වගාකරන භෝග වර්ග, මාර්ග පද්ධතිය, රජයේ කාර්යාල, පාසල්, විශ්වවිද්‍යාල, දුම්රිය ස්ථාන සහ බස් නැවතුම් පොළවල් ආදි සියලුම තොරතුරු පරිගණක ගත කරන ලද හා ලේඛන ගත කරන ලද තොරතුරු මධ්‍යස්ථාන ඇති කිරීමටත්, එහි පළමු පියවරේදී පළාත් මට්ටමින්, දෙවැනි පියවර ලෙස දිස්ත්‍රික් මට්ටමින් සහ තෙවැනි පියවර ලෙස ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ මට්ටමින් මෙම මධ්‍යස්ථාන ඇති කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

ශ්‍රී ලංකාව වටා දූෂණයෙන් තොර සමුද්‍රික පරිසරයක් සුරක්ෂිත කිරීම

තිරසාර ජාතික සංවර්ධනයක් සහ ස්වකීය ජනතාවගේ සහ ආර්ථිකයේ යහ පැවැත්ම උදෙසා, වසර 2020 වන විට ශ්‍රී ලංකාව වටා දූෂණයෙන් තොර සමුද්‍රික පරිසරයක් තහවුරු කිරීම පිණිස පියවර ගත යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

විනිශ්චයකාරවරුන්ගේ වෘත්තිය පුහුණු ආයතනයක් පිහිටුවීම

ශ්‍රී ලංකාවේ අධිකරණයන්හි යුක්තිය පසිඳලීම සඳහා ප්‍රමුඛතම අවශ්‍යතාවයක් වන්නේ ගුණාත්මකභාවයෙන් ඉහළ විනිශ්චයකාර වෘත්තියක් ස්ථාපිත කිරීම බැවින්, ඒ සඳහා අත්‍යවශ්‍ය “ගුණාත්මකභාවයෙන් ඉතා ඉහළ” පුහුණුවක් ලබා දීම සඳහා දැනට පිහිටුවා ඇති       “ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනය” කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින්, විනිශ්චයකාරවරුන් පුහුණු කිරීමට විශ්වවිද්‍යාලයක ප්‍රමිතියට අනුකූලවූ විනිශ්චයකාරවරුන්ගේ වෘත්තිය පුහුණු ආයතනයක් පිහිටුවිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1820 ට 2014 මැයි මස 20 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks