01

E   |   த   |  

2026 නොවැම්බර් මස 6 වැනි දින සභාවේ කටයුතු


නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : 2026 නොවැම්බර් 3 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකු විසින් වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න මතු කිරීම සඳහා කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන්
2 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
3 : 2026 නොවැම්බර් 12 වැනි බ්‍රහස්පතින්දා සඳහා වන ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන්


කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

A    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
•    2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XLVI (46) කොටස; 
•    2022 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ L (50) කොටස; 
•    2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LXIX (69) කොටස; සහ
•    2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XX (20) හා XXI (21) කොටස් සහ නවවැනි කාණ්ඩයේ XIV (14), XV (15) හා XVI (16) කොටස් 

B    
(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
•    2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ හයවැනි කාණ්ඩයේ XXXI (31) කොටස; 
•    2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ හයවැනි කාණ්ඩයේ XXVII (27) කොටස; සහ
•    2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XV (15), XVI (16) හා XVII (17) කොටස්, සිව්වැනි කාණ්ඩයේ IX (9), X (10) හා XI (11) කොටස්, පස්වැනි කාණ්ඩයේ IX (9) කොටස සහ හයවැනි කාණ්ඩයේ IV (4), V (5), VI (6) හා   VII (7) කොටස් 

(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2025 වර්ෂය සඳහා විගණකාධිපති වාර්ෂික වාර්තාව


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2024 වර්ෂය සඳහා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව 
(ii)   2025 වර්ෂය සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii)  2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලයේ (ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය) වාර්ෂික වාර්තාව


මහජන පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රත්න ගම‍ගේ මහතා                       
(ii)   ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා - පෙත්සම් තුනයි
(iii)  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා                      
(iv)  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය - පෙත්සම් තුනයි
(v)   ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යූ. ගමගේ මහතා      
(vi)  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී. ඩී. සූරියබණ්ඩාර මහතා   
               
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
ශ්‍රී ලංකාවේ විරැකියාවට විසඳුම් සෙවීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම

ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

(ii)   ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා
ඉන්ධන සහනාධාරයට අදාළ ගැටළු

ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.


අමාත්‍යාංශ නිවේදන

(i)    2026 මහ කන්නයේ දී ගොවීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් 2026.11.03 දින ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය, ගරු කේ. ඩී. ලාල් කාන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.

(ii)    ජපානයේ පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලෙන් ෆාතිමා ශෆියා මිය ඉවත් කිරීම සම්බන්ධයෙන් 2026.10.23 ගරු කේ. කාදර් මස්තාන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය, ගරු සුනිල් කුමාර ගමගේ මහතා පිළිතුරු ලබා දුන්නේ ය.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2, 3, 4, 6 සහ 7 දක්වා සඳහන් වන) සභාවට ඉදිරිපත් කර සම්මත කරන ලදී:-

•    පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඉහළ නැංවීම සඳහා වැඩසටහනක් සකස් කිරීම

මැදපෙරදිග කලාපයේ මේ වනවිට උද්ගත වී ඇති වාතාවරණය මත ඉන්ධන මිල ඉහළ යෑමේ තත්ත්වය හමුවේ මහජනයා විශාල වශයෙන් පොදු ප්‍රවාහන සේවා වෙත නැඹුරු වීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙන හෙයින් ද, දිනපතා විශාල පිරිසක් රාජකාරි හෝ ව්‍යාපාරික අවශ්‍යතාවයන් සඳහා පුත්තලම මාර්ගයේ ගමන් ගන්නා හෙයින් ද, එම මගී ජනතාවට ප්‍රමාණවත් සේවාවක් ලබා දීම සඳහා පුත්තලම-කොළඹ අතර දුම්රිය ධාවනය ඉහළ දැමීමට වැඩසටහනක් සකස් කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

•    මාර්ග රක්ෂිතයන්හි ගස් සිටුවීම, විද්‍යාත්මකව කළමනාකරණය කිරීම සහ නඩත්තු කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම

පදිකයන්ට සෙවණ සැපයීම, පරිසරයේ සුන්දරත්වය සහ හරිත ආවරණය වැඩිදියුණු කිරීම, වාහනවලින් නිකුත් වන දූෂක වායු අවශෝෂණය කිරීම මෙන්ම නාගරික ප්‍රදේශවල ජෛව කොරිඩෝ (bio corridors) ලෙස ක්‍රියා කිරීම උදෙසා මාර්ග රක්ෂිතයන්හි ඇති ගස් මඟින් සුවිශාල මෙහෙවරක් ඉටු කෙරෙන හෙයින් ද, ශ්‍රී ලංකාවේ මාර්ග රක්ෂිතයන්හි ගස් වෘත්තීයමය ආකාරයෙන් (arborists මඟින්) කළමනාකරණය නොකෙරෙන හෙයින් ද, විදුලිබලය සපයන ආයතන, මාර්ග සංවර්ධන අධිකාරිය (RDA), පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය (PRDA), පළාත් පාලන ආයතන සහ ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ආයතනවල සේවකයන් මඟින් විදුලි රැහැන් හා මාර්ග සංඥා ආවරණය වන අතු පමණක් කපා ඉවත් කිරීමේ අක්‍රමවත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන හෙයින් ද, පරිසර සුන්දරත්වය රැකෙන පරිදි මාර්ග රක්ෂිත ප්‍රමාණයන් නිසි ලෙස නිර්ණය කිරීම, අදාළ ආයතනවල සේවකයන් පුහුණු කරමින් ශාක වියන් නඩත්තු කිරීම සහ මාර්ග රක්ෂිතවල ගස් නිසි ලෙස කළමනාකරණය කිරීම තුළින් සිදුවන අනතුරු හා ව්‍යසන වළක්වා ගත හැකි විධිමත් ක්‍රමවේදයක් සකස් කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

•    ශ්‍රී ලංකාවේ සියලුම අධ්‍යාපන විද්‍යා පීඨ විශ්වවිද්‍යාල පීඨ බවට පත් කිරීම

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන මට්ටම දියුණු ජාත්‍යන්තර තලයට ගෙන යාම උදෙසා පාසැල් පද්ධතියේ සියලුම ගුරුවරුන් පුහුණු උපාධිධාරී ගුරුවරුන් බවට පත් කිරීමට අවශ්‍ය වන හෙයින් ද, වර්තමානයේ බහුතරයක් ගුරුවරුන් හට තෙවසරක න්‍යායාත්මක හා ප්‍රායෝගික පාඨමාලාවක් අවසානයේ උසස් ඩිප්ලෝමාවක් හිමිවන හෙයින් ද, වසර තුනක න්‍යායාත්මක පාඨමාලාවක් සහ එක් වසරක පාසැල් කේන්ද්‍රීය පුහුණුවක් සහිත සිව් වසරක උපාධි පාඨමාලාවක් ප්‍රදානය කිරීම සඳහා උචිත වන සේ දැනට ක්‍රියාත්මක අධ්‍යාපන විද්‍යා පීඨ දහනවය විශ්වවිද්‍යාල පීඨ බවට පත් කිරීමට එවකට අධ්‍යාපන අමාත්‍යවරයා විසින් 2020 පෙබරවාරි 13 දින ඉදිරිපත් කොට අනුමතිය ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය බලාත්මක කිරීම සඳහා රජය විසින් අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.   

•    උඩවලව ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස නම් කිරීම

උඩවලව ජාතික වනෝද්‍යානය, උඩවලව ඇත් අතුරු සෙවණ, සංඛපාල රජමහා විහාරය, උඩවලව ජලාශය, සෙවනගල සීනි කර්මාන්තශාලාව, සෙවනගල උක් පර්යේෂණ ආයතනය, උඩවලව මිරිදිය ධීවර මධ්‍යස්ථානය සහ වවුල්පන හුණුගල් ගුහාව ආදී වූ සංචාරක ආකර්ශණය ලබාගත හැකි ස්ථාන තිබුණද විධිමත් වැඩපිළිවෙළක් නොමැතිවීම හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයන්ට එහි වටිනාකම් ලබාගැනීමට නොහැකි වී ඇති හෙයින් රත්නපුර දිස්ත්‍රික්කයේ උඩවලව ප්‍රදේශය සහ මොනරාගල දිස්ත්‍රික්කයේ සෙවනගල ‍ප්‍රදේශය ආවරණය වන පරිදි උඩවලව ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස නම් කිරීම සඳහා රජය විසින් සුදුසු පියවර ගනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

•    ජපන් ජබර ශාකයේ ව්‍යාප්තිය හිතකර ලෙස පාලනය සහ මර්දනය කිරීම

ජපන් ජබර නොහොත් Eichhornia crassipes (Mart.) Solms යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ආක්‍රමණශීලී ශාකය, වර්තමානයේ ගොවි බිම් සහ වගුරු බිම් වසා පැතිරී ගොස් ඇති හෙයින් ද, මෙහි ශීඝ්‍ර වර්ධන වේගය හේතුවෙන් දේශීය ශාක අභිබවා ජෛව පරිසර පද්ධතියට තර්ජනයක් වී ඇති හෙයින් ද, මෙම තත්ත්වය හේතුවෙන් රොන් මඩ තැන්පත් වී ජල ප‍්‍රවාහන මාර්ග සහ ජල බැස්ම අවහිර වීම මඟින් ජල ගැලීම් හා ගංවතුර තත්ත්ව ඇති වී ඇති හෙයින් ද, එදිනෙදා භාවිතයට අවශ්‍ය වන ජලයේ තත්ත්වයට හානිවීම සහ ජල විදුලි උත්පාදනයේ දී බාධා ඇති වී ඇති හෙයින් ද, රසායනික වල් නාශක භාවිතය මඟින් ඒවා මර්දනය එම ජලය පරිහරණය කරන පුද්ගලයින්ට සෞඛ්‍ය අවදානමක් ඇති කරන හෙයින් ද, මදුරු කීටයන් බෝවීම හා එමඟින් බරවා හා ඩෙංගු වැනි රෝග ව්‍යාප්තවීම සිදු වී ඇති හෙයින් ද, මෙම ශාකය හිතකර ලෙස පාලනය හා මර්දනය මඟින් තිරසර විසඳුමක් උදෙසා ර‍ජය විසින් අදාළ ව්‍යාපෘති යෝජනා සැකසීම කාලෝචිත බව මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සම්පූර්ණ කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් යෝජනා කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1652 ට 2026 නොවැම්බර් මස 12 වැනි බ්‍රහස්පතින්දා පැය 1330 දක්වා කල් තබන ලදී.



මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks