02

E   |   த   |  

2026 ඔක්තෝබර් මස 6 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

1 : (40 වැනි අධිකාරිය වූ) මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව 


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : ගරු පා.ම. අජිත් පී. පෙරේරා මහතා විසින් මට එරෙහිව ඉදිරිපත් කරන ලද වරප්‍රසාද කඩකිරීමේ පැමිණිල්ල සම්බන්ධ තීරණය
2 : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
3 : රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
4 : පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම


කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ I (1) හා II (2) කොටස් සහ පස්වැනි කාණ්ඩයේ I (1) හා II (2) කොටස්.

(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
•    2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ LXVI (66) කොටස; සහ
•    2025 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ IV (4) හා V (5) කොටස් සහ ත‍ෙවැනි කාණ්ඩයේ IV (4) හා V (5) කොටස්


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්.
(ii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අධිකරණ සේවා කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(iii)    2025 අංක 23 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය ප්‍රකාරව 2026.08.03 සිට 2026.08.31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වැය ශීර්ෂ අංක 240 යටතේ සංවර්ධන කටයුතු වැඩසටහනෙන් වෙන්කර ඇති ප්‍රතිපාදන මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන.
(iv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මධ්‍යම පළාත් සභාව යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(v)    2024 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදලේ වාර්ෂික වාර්තාව.
(vi)    2025 වර්ෂය සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.


කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතා විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. වී. සමන්ත විද්‍යාරත්න මහතා
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා                    
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා                    
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා                    
(v)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා             
      
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
ශ්‍රී ලංකා මහ බැංකුවේ "ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංඛ්‍යාලේඛන - 2026" වාර්තාව සකස් කිරීමේදී යල් පැන ගිය සංඛ්‍යාලේඛන භාවිත කිරීම  

ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. 


අමාත්‍යාංශ නිවේදන

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් යුක්තිය පසිඳලීමට සිදුකරන අනවශ්‍ය මැදිහත්වීම් සම්බන්ධයෙන් 2026.06.12 දින ගරු ජී. ජී. පොන්නම්බලම් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර  මහතා පිළිතුරු ලබා දුන්නේ ය.



පනත් කෙටුම්පත් පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලනකරණය, පාලනය කිරීම, නියාමනය කිරීම, ප්‍රවර්ධනය කිරීම, සංවර්ධනය කිරීම සහ පරිපාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිහිටුවීම සඳහා ද; යහපාලනය, සුපිළිපන්නභාවය, විනිවිදභාවය, වගකිවයුතුභාවය, ඇතුළත්භාවය සහ සමාන අවස්ථා සැලසීම යන මූලධර්ම හරහා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය අභිවර්ධනය කිරීම සඳහා ද; සියලු සහභාගීවන්නන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීම සහ දූෂණයෙන් සහ වෙනත් අනිසි ක්‍රියාකාරකම්වලින් ක්‍රිකට් ආරක්ෂා කිරීම සඳහා ද; ශ්‍රී ලංකා ක්‍රිකට් සංස්ථාපනය කිරීම, බලතල සහ කර්තව්‍ය සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද; ඒ හා සම්බන්ධ වූ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ

“ශ්‍රී ලංකා ක්‍රිකට්”

නමැති පනත් කෙටුම්පත ගරු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.


(ii)    ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත දී සිදු කරනු ලබන ත්‍රස්තවාදී ක්‍රියාවලින්, ත්‍රස්තවාදය ආශ්‍රිත වෙනත් වැරදිවලින් සහ ත්‍රස්තවාදය පිළිබඳ වරද සංස්ථාපනය වන ඇතැම් නිශ්චිතව දක්වනු ලබන ක්‍රියාවලින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ ශ්‍රී ලංකාවේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා ද; ශ්‍රී ලංකාවෙන් පිටත ත්‍රස්තවාදය සඳහා සූදානම් වීමට ශ්‍රී ලංකා ජනරජයට අයත් දේශය සහ එහි ජනතාව භාවිත කිරීම වැළැක්වීම සඳහා ද; යම් ත්‍රස්තවාදී ක්‍රියාවක් හෝ ත්‍රස්තවාදය ආශ්‍රිත වෙනත් යම් වරදක් සිදුකර ඇත්තා වූ යම් තැනැත්තකු අනාවරණය කරගැනීම, හඳුනාගැනීම, ග්‍රහණය කර ගැනීම, සිරභාරයට ගැනීම, රඳවා තැබීම, පරීක්ෂණ පැවැත්වීම, නඩු පැවරීම සහ දඬුවම් ලබාදීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ඉවත් කිරීම සඳහා ද; ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ

“ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ”

නමැති පනත් කෙටුම්පත ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පිළිගන්වන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී: -

(i)    විදේශ විනිමය පනත යටතේ රෙගුලාසි දෙකක් 
(ii)    විදේශ විනිමය පනත යටතේ නියෝගය 
(iii)    රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනාව



සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“නයිදෙනිය ඉඩම වෘත්තීය පුහුණු අධිකාරිය වෙත පැවරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඔෂානි උමංගා මහත්මිය විසින් යෝජනා කරන ලදී. 


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1735 ට 2026 ඔක්තෝබර් මස 7 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.



මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks