E   |     |  

2026 සැප්තැම්බර් මස 10 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : “ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
2 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සහ තේරීම් කාරක සභාවේ රැස්වීම්


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2025 වර්ෂය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(ii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(iii)    2024 වර්ෂය සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
(iv)    2024 වර්ෂය සඳහා ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව.
(v)    2025 වර්ෂය සඳහා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.


කාරක සභා වාර්තා පිළිගැන්වීම

පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු කින්ස් නෙල්සන් මහතා විසින් පිළිගන්වන ලදී.

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා - පෙත්සම් දෙකයි 
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා                    
(iii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා - පෙත්සම් දෙකයි 
(iv)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර සුබසිංහ මහතා      
          
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
රට තුළ වර්ධනය වන එල් නිනෝ දේශගුණික තත්ත්වය අවම කිරීම සඳහා ගෙන ඇති පියවර

(ii)    ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා
පුත්තලම දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව මුහුණ දෙන මුහුදු ඛාදනය වැළැක්වීමට ගෙන ඇති පියවර 

ගරු පරිසර අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. 

අමාත්‍යාංශ නිවේදන

(i)    රට තුළ වර්ධනය වන එල් නිනෝ දේශගුණික තත්ත්වය අවම කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව පරිසර අමාත්‍ය, ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

(ii)    එල් නිනෝ තත්ත්වය යටතේ ජල සැපයුම පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය, ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.


ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවට සභාව එකඟ විය -

දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු, 2026 ජනවාරි 21 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මඟින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව එකී කාරක සභාවට ලබා දී ඇති කාලසීමාව,  2026 දෙසැම්බර් 19 දින දක්වා දීර්ඝ කළ යුතු ය.

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත යටතේ තීරණය (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

සභාව විසින් අනුමත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ශ්‍රී ලංකාව පුරා විශේෂිත රැකවරණ ගම්මාන පිහිටුවීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා විසින් යෝජනා කරන ලදී. 


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1749 ට 2026 සැප්තැම්බර් මස 11 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.



මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks