logo

02

E   |     |  

2026 අගෝස්තු මස 7 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

1 : “ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව 
2 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 14 වගන්තිය සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 ජූලි 10 දිනැති අංක‍ 2496/38 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි.
(ii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(iii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව. 
(iv)    2023 වර්ෂය සඳහා ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ වාර්ෂික වාර්තාව.
(v)    2023 වර්ෂය සඳහා තල් සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
(vi)    2024 වර්ෂය සඳහා පොල් වගාකිරීමේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
(vii)    2025 වර්ෂය සඳහා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව.



කාරක සභා වාර්තා පිළිගැන්වීම

සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතා විසින් පිළීගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා        
        
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
ශ්‍රී ලංකාවේ ජීවන වියදම ඉහළ යාම, උද්ධමනය සහ දරිද්‍රතාවය  

ගරු කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. 

(ii)    ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා
මඩකලපුවේ සතුරුකොන්ඩන් ඝාතනය සහ අතුරුදහන් වීම පිළිබඳ විමර්ශනයේ විස්තර 

ගරු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය. 


අමාත්‍යාංශ නිවේදන

වරාය නගරය පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් 2026.07.10 දින ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

1992 අංක 46 දරන අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීම සඳහා වූ

“අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකවරයා විසින් පිළිගන්වන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 7 දක්වා සඳහන් වන) සභාවට ඉදිරිපත් කර සම්මත කරන ලදී:- 

•    කිරි නිෂ්පාදන අංශයෙන් ස්වයංපෝෂීත්වය ප්‍රවර්ධනය කිරීම

    වර්තමා‍නයේ මෙරට සැලකිය යුතු විදේශ විනිමය අහිමි වීමකට මගපාදමින් ආනයනික කිරි නිෂ්පාදන මත යැපෙන හෙයින් ද, උසස් ගව වර්ග, පශු වෛද්‍ය උපස්ථානය, සත්ව ආහාර හා යටිතල පහසුකම් සඳහා සීමිත ප්‍රවේශයක් තිබීම වැනි ගැටළුවලට ගොවීන් මුහුණපාන හෙයින් ද, මෙම අභියෝග ආමන්ත්‍රණය කිරීම මඟින් ආහාර සුරක්ෂිතතාව වර්ධනය කොට, ග්‍රාමීය රැකියා ජනනය කරමින්, ආනයන මත යැපීම අඩු කර ගත හැකි හෙයින් ද, අභිජනනය සහ පශු වෛද්‍ය සේවා වෙත ප්‍රවිශ්ටය දියුණු කිරීමෙන්, සත්ව ආහාර වගාව ව්‍යාප්ත කිරීමෙන්, ගොවි පුහුණුව හා යටිතල පහසුකම් ශක්තිමත් කිරීමෙන්, කිරි ගොවීන්ට දිරිගැන්වීම් ලබා දීමෙන්, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් ප්‍රවර්ධනය කිරීමෙන් සහ කිරිපට්ටි සංවර්ධනය පිළිබඳ පර්යේෂණ දිරිගැන්වීමෙන්, කිරිවලින් ස්වයංපෝෂිතභාවය සාක්ෂාත් කර ගනු පිණිස රජය විසින් ජාතික කිරිපට්ටි සංවර්ධන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනු ලැබිය යුතු බවට ද, අදාළ අමාත්‍යාංශ විසින් පළාත් සභා හා ගොවි කණ්ඩායම් සමඟ සම්බන්ධීකරණය වීම සඳහා යාන්ත්‍රණයක් ඇති කරනු ලැබිය යුතු බවට ද, අදාළ පාර්ලිමේන්තු කාරක සභාව විසින් වැඩිදුර ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සහ නිර්දේශ කිරීම නිරීක්ෂණය කරනු ලැබිය යුතු බවට ද මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

•    කඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට වැඩසටහනක් සකස් කිරීම

    පරිසර සමතුලිතතාවයට හා ධීවර කර්මාන්තයට අතිශය වැදගත් වන කඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා වැඩසටහනක් සකස් කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

•    රසායන ද්‍රව්‍ය යොදා පලතුරු ඉදවීම නතර කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම

    ශ්‍රී ලංකාවේ පලතුරු වෙළඳපොළ තුළ ස්වාභාවිකව පැසී ඉදුණු පලතුරු වෙනුවට, නොපැසුණු පලතුරු රසායන ද්‍රව්‍ය යොදා කෘත්‍රිමව ඉදීමට සලස්වා අලෙවි කරනු ලබන හෙයින් ද, ආනයනික පලතුරු ද රසායන ද්‍රව්‍ය යොදා කෘත්‍රිමව ඉදීමට සලස්වා අලෙවි කරනු ලබන හෙයින් ද, මෙම පලතුරු වැඩි වශයෙන් දරුවන් විසින් ආහාරය‍ට ගනු ලබන හෙයින් ද, කූට ව්‍යාපාරිකයින් රටේ අනාගතය විනාශ කරමින් ලාභ ලැබීමේ පරමාර්ථයෙන් සිදු කරන මෙම ක්‍රියාව නතර කිරීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

•    ශ්‍රී ලංකාවේ වන සතුන් කළමනාකරණය කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සහ ක්‍රමවේදයක් සකස් කිරීම

    ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් ජෛව විවිධත්වයෙන් ඉහළ රටක් ලෙස සැලකෙන හෙයින් ද, වනාන්තර විනාශය, මිනිසුන්ගේ ආක්‍රමණය හේතුවෙන්, නීති විරෝධී වන සතුන් වෙළඳාම, මිනිසා සහ වන සතුන් අතර ගැටුම් වර්ධනය වීම නිසා වාර්ෂිකව මෙම සතුන් මෙන්ම මිනිස් ජීවිත ද විශාල වශයෙන් අහිමි වන හෙයින් ද, නව ප්‍රතිපත්ති සහ සැලසුම් මඟින් ජාතික වන සතුන් කළමනාකරණ ප්‍රතිපත්තියක් සකස් කිරීම තිරසර සංවර්ධන අරමුණක් වන හෙයින් ද, එමඟින් සතුන්ගේ වාසස්ථාන ආරක්ෂා වීම, මිනිසා සහ වන සතුන් අතර ගැටුම් අවම වීම, ගොවි ජනතාවගේ ආර්ථික මට්ටම සහ සමාජ ජීවිතය උසස් වීම සිදුවන හෙයින් ද, ඒ සඳහා ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික හා නවීන ප්‍රතිපත්තියක් සහ ක්‍රමවේදයක් සකස් කර ක්‍රියාත්මක කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

•    මඩකලපුව සිට පොතුවිල් දක්වා දුම්රිය මාර්ගය පුළුල් කිරීම හෝ මාතර සිට කල්මුණේ දක්වා දුම්රිය මාර්ගය පුළුල් කිරීම

    මඩකලපුව සිට පොතුවිල් දක්වා දුම්රිය මාර්ගය සහ මාතර සිට කල්මුණේ දක්වා දුම්රිය මාර්ගය පුළුල් කිරීම මඟින් මඩකලපුව, අම්පාර සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල විශාල ජනතාවකට ප්‍රතිලාභ ලැබෙන හෙයින්, මඩකලපුව සිට පොතුවිල් දක්වා හෝ මාතර සිට කල්මුණේ දක්වා දුම්රිය මාර්ගය පුළුල් කිරීමට අවශ්‍ය පියවර ගත යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

•    කොරෝනා වසංගතය පැවති කාලය තුළ, ඒකපාර්ශ්විකව සහ බලහත්කාරයෙන් මුස්ලිම් ජනතාවගේ මෘතදේහ ආදාහනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කොමිෂන් සභාවක් පිහිටුවීම

    කොරෝනා වසංගතය පැවති කාලය තුළ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයන්ට පටහැනිව ඒකපාර්ශ්විකව සහ බලහත්කාරයෙන් ආදාහනය කරන ලද මුස්ලිම් ජනතාවගේ මෘතදේහ සංඛ්‍යාව, එලෙස ආදාහනය කරන ලද පුද්ගලයින්ගේ නම් හා ලිපිනයන් යනාදී තොරතුරු විමර්ශනය කිරීම සඳහාත්, මෙසේ මෘතදේහ බලහත්කාරයෙන් ආදාහනය කිරීමට හේතු වූ පසුබිම මෙන්ම බලහත්කාරයෙන් ආදාහනය කරන ලද පුද්ගලයින්ගේ ඥාතීන්ගේ මානසික තත්ත්වය පිළිබඳව විමර්ශනය කිරීම සඳහාත්, මෙයට අනුබල දෙමින් මාර්ගෝපදේශයන්ට පටහැනිව කටයුතු කළ දේශපාලනඥයන් ඇතුළු රජයේ නිලධාරින් සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව විමර්ශනය කිරීම සඳහාත්, කොමිෂන් සභාවක් පිහිටුවිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

•    සංවර්ධනයේ කලාපීය විෂමතා අවම කිරීම සඳහා වෙන් වූ විශේෂ සංවර්ධන අරමුදලක් පිහිටුවීම

    පසුගිය දශක කිහිපය තුළ දිග්ගැස්සුනු සිවිල් අරගල සහ ඓතිහාසිකව සිදුවුණු නොසලකා හැරීමෙන් ඇති වූ  බලපෑම් හේතුවෙන් උතුරු පළාත, නැගෙනහිර පළාත, මොනරාගල දිස්ත්‍රික්කය සහ නුවරඑළිය දිස්ත්‍රික්කය වැනි පසුගාමී කලාප දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටින හෙයින් ද; වර්තමාන ආර්ථික අර්බුදය තුළින් මෙම පසුගාමී කලාපවල ජනතාවගේ ජීවනෝපායන් මත අසමානුපාතික බරක් පටවමින් මෙම විෂමතා තවදුරටත් උග්‍ර කර ඇති හෙයින් ද; ආර්ථික වශයෙන් අසාධාරණයට ලක් වූ ප්‍රදේශවල සාධාරණ වර්ධනය, තිරසර සංවර්ධනය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය බලගැන්වීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම ගැටලු විසඳීම සඳහා වෙන් වූ ජාතික වැඩසටහනක් ස්ථාපිත කිරීම අවශ්‍ය වන හෙයින් ද; වසර 10+2 වැඩසටහන් කාලපරිච්ඡේදයක් තුළ ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ඉලක්කගත ප්‍රමාණයකින් රජයේ, ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික හවුල්කරුවන්, පෞද්ගලික ආයෝජකයින් සහ පරිත්‍යාගශීලී දානපතියන්ගෙන් දායක මුදල් රැස් කිරීම වෙනුවෙන් එම පසුගාමී කලාප සඳහා ජාතික සංවර්ධන අරමුදලක් ස්ථාපිත කිරීමටත්; කෘෂිකර්මාන්තය, ධීවර හා ගෘහ කර්මාන්ත හරහා ග්‍රාමීය ජීවනෝපායන් නඟාසිටුවීම, සේවා නියුක්තිය සහ කාන්තාවන් සමාජීය හා ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම ප්‍රවර්ධනය කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, අක්‍රිය වත්කම් සක්‍රිය කිරීම සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ සමුපකාර සඳහා සහාය වීම, පුනර්ජනනීය බලශක්තිය සහ අනෙකුත් වාණිජමය වශයෙන් ශක්‍ය ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීම, ධාරිතා වර්ධනය සහ කාන්තාවන් සහ තරුණයින් දැනුවත් කිරීම ආරම්භ කිරීම සඳහා අරමුදල් උපායමාර්ගිකව යෙදවීමටත්; දේශීය ධාරිතාව ගොඩනැගීම සඳහා ආයෝජනවල ශක්‍යතාවන්හි අඩුපාඩු නැවැත්වීම සහ අරමුදල් ඵලදායි හා විනිවිදභාවයෙන් යුක්තව භාවිතා කිරීම සහතික කිරීම සඳහා තාක්ෂණික සහාය පහසුකමක් (TAF) ස්ථාපිත කිරීමට පහසුකම් සැලසීමටත්; ආර්ථික ක්‍රියාකාරකම් සහ තීරණ ගැනීමේ දී කාන්තා සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා මැනිය හැකි ඉලක්ක සහිතව, සියලුම ආයෝජන ක්ෂේත්‍ර හරහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඇතුළත් කිරීම සහතික කිරීමටත්; ශ්‍රී ලංකාවේ සියල්ල ඇතුළත් වන වර්ධනය, සංහිඳියාව සහ තිරසර සංවර්ධනය සඳහා හදිසි ජාතික පියවරක් ලෙස අරමුදල පිහිටුවීම සලකා බැලීමෙන්, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී සාධාරණ කලාපීය ආවරණය, වගවීම සහ තිරසාරභාවය සහතික කිරීම සඳහා අරමුදල සමඟ සම්බන්ධීකරණය කිරීමට අදාළ අමාත්‍යාංශ, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට බලය පැවරීමටත් ශ්‍රී ලංකා රජය පියවර ගත යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.


සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එස්. උදුමාලෙබ්බේ මහතා
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා 

     
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1752 ට 2026 අගෝස්තු මස 18 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks