පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ (අවලංගු කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
2 : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2024 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්.
(ii) 2025 වර්ෂය සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(iii) 2025 වර්ෂය සඳහා උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ කාර්ය සාධන වාර්තාව.
(iv) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මැතිවරණ කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(v) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ විගණන සේවා කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(vi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව.
(vii) 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1), 6 සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 ජුනි 15 දිනැති අංක 2493/03 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි.
(viii) 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2026 ජුනි 18 දිනැති අංක 2493/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි.
(ix) 2025 වර්ෂය සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජනමාධ්‍ය අංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(x) 2025 වර්ෂය සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xi) 2025 වර්ෂය සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xii) 2020 වර්ෂය සඳහා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව.
(xiii) 2025 වර්ෂය සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ධීවර ත්‍යාග අරමුදලේ කාර්ය සාධන වාර්තාව.
(xiv) 2025 වර්ෂය සඳහා බලශක්ති අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xv) 2025 වර්ෂය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(xvi) 2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පොලිසියේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව.
(xvii) 2025 වර්ෂය සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.
(xviii) 2024 වර්ෂය සඳහා ටවර් හෝල් රඟහල පදනමේ වාර්ෂික වාර්තාව.
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා
(ii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා - පෙත්සම් දෙකයි
(iii) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා - පෙත්සම් දෙකයි
(iv) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) එල්. එම්. අබේවික්‍රම මහතා
(v) ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා
මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ධීවරයින් මුහුදේදී මුහුණ දෙන සොරකම් සහ මුහුදු කොල්ලකෑම් සඳහා විසඳුමක්
(ii) ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා
වරාය නගරය පිළිබඳ ගැටළු
අමාත්‍යාංශ නිවේදන
(i) ‘දිට්වා’ සුළි කුණාටු සහනාධාර පිළිබඳ විස්තර සම්බන්ධයෙන් 2026.06.10 දින ගරු මුජිබුර් රහුමාන් මහතා විසින් අග්‍රාමාත්‍යතුමියගෙන් අසන ලද ප්‍රශ්නයට අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ගරු ආචාර්ය හරිනි අමරසූරිය පිළිතුරු ලබා දුන්නා ය.
(ii) NDB බැංකුවේ මූල්‍ය වංචාව සහ රෙගුලාසි සම්බන්ධයෙන් මහ බැංකුවේ වගවීම සම්බන්ධයෙන් 2026.05.05 දින ගරු රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන්, මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2, 3 සහ 5 සිට 7 දක්වා සඳහන් වන) සභාවට ඉදිරිපත් කර සම්මත කරන ලදී:-
• රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මඩුවන්වෙල වලව්ව ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ ඓතිහාසික වටිනාකමින් යුත් ස්ථාන ආරක්ෂා කිරීම
රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඓතිහාසික ස්ථානයක් වන මඩුවන්වෙල වලව්ව ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ ඓතිහාසික වටිනාකමින් යුත් ස්ථාන බොහෝ ප්‍රමාණයක් පවතින හෙයින් ද, එම ස්ථාන සංචාරක ආකර්ශණයට ලක් වී ඇති හෙයින් ද, වර්තමානය වනවිට එවැනි ස්ථාන දැඩි අනාරක්ෂිත තත්ත්වයට පත් වී ඇති හෙයින් ද, මෙම ස්ථානවල මුල් පෞරාණිකභාවයට හානියක් නොවන ලෙස සංරක්ෂණය කොට එම ස්ථාන සතු ඉඩම් කඩිනමින් මැන නිරවුල් කොට අනාගත පරපුර සඳහා ආරක්ෂා කර දෙමින් සංචාරක කර්මාන්තයට යොදා ගැනීම සඳහා ඒවා ආරක්ෂා කිරීමට වැඩපිළිවෙළක් රජය විසින් සකස් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
• පාසල් සිසුන්ගේ අධ්‍යාපන සංවර්ධනය, වෘත්තීය සංවර්ධනය සහ පුද්ගල සමාජ සංවර්ධනය සඳහා සෑම පාසලකටම පුහුණුවලත් මනෝ උපදේශකවරයෙකු (Student Counsellor) පත් කිරීම
වර්තමානයේ බොහෝ පාසල් සිසුන් අතර විවිධ මානසික පසුබෑම් දක්නට ලැබෙන හෙයින් ද, මෙම තත්ත්වයන් ඔවුන්ගේ ශාරීරික හා සමාජීය පැවැත්ම සඳහා වක්‍රාකාරව බලපාන හෙයින් ද, ඇතැම් අවස්ථාවලදී පාසල් සඳහා පාසල් මනෝ උපදේශකවරයන් පත් කර තිබුණ ද එම තනතුර සඳහා පාසල් ගුරුවරුන්ගේ භූමිකාව ද ඇතුළත්වීම හරහා ඉන් බලාපොරොත්තු වන සේවය ඵලදායීව සිදු වී නොමැති හෙයින් ද, සෑම පාසලකටම මනෝ උපදේශකවරයෙකුගේ අවශ්‍යතාවය මතු වී ඇති හෙයින් ද, පාසල් සිසුන්ගේ අධ්‍යාපන සංවර්ධනය, වෘත්තීය සංවර්ධනය හා පුද්ගල සමාජ සංවර්ධනය සඳහා සෑම පාසලකටම පුහුණුවලත් මනෝ උපදේශකවරයෙකු පත් කිරීමට අවශ්‍ය පියවර රජය විසින් ගනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
• විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වන “රටවිරුවන්” වෙනුවෙන් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් සකස් කිරීම
ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය පණ ගැන්වීම සඳහා විදෙස්ගත ශ්‍රමික ප්‍රජාවගෙන් ලැබෙන දායකත්වය ඉතා සුවිශේෂ වන හෙයින් ද, ආර්ථික අර්බුදය හමුවේ විදෙස් රටවල වසර ගණනාවක් රැකියා කිරීමෙන් අනතුරුව නැවත ශ්‍රී ලංකාවට පැමිණ තම දූ දරුවන්ද සමඟින් ජීවිකාව ගෙන යන ඔවුන්ට ඇතැම් අවස්ථාවලදී නැවත රැකියාවක් කිරීමට තරම් හැකියාවක් නොමැතිවීම හේතුවෙන් විවිධ ගැටලුවලට මුහුණපෑමට සිදුවන හෙයින් ද, ඔවුන්ගෙන් විදේශ විනිමය වශයෙන් ලැබෙන මුදලින් යම් ප්‍රතිශතයක් යොදාගෙන විශ්‍රාම අරමුදලක් පිහිටුවා විශ්‍රාම යෝජනා ක්‍රමයක් රජය විසින් සකස් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
• ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ පිහිටි ආපනශාලාවන්හි ළමුන්ට අහිතකර ආහාර අලෙවි කිරීම නතර කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම
ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් අතර දියවැඩියාව රෝගය බහුල වශයෙන් හඳුනාගෙන ඇති බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දී තිබෙන හෙයින් ද, දියවැඩියාව රෝගය සඳහා ආහාර වර්ග මෙන්ම ආහාර පුරුදු සහ ආහාර රටාව හේතු වන හෙයින් ද, ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ පිහිටි පාසල් ආපනශාලාවන්හි දියවැඩියාව සඳහා හේතු වන්නා වූ සීනි සහ පිටි සහිත ආහාර මෙන්ම ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, ක්ෂණික නුඩ්ල්ස් වැනි ආහාර වර්ග ඉතා විශාල වශයෙන් පාසල් ළමුන්ට අළෙවි කරන හෙයින්ද, අප රටේ පාසල් දරුවන් අතර දියවැඩියා රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා පාසල් ආපනශාලාවල අළෙවි කළ යුතු ආහාරපාන වර්ග පිළිබඳව රජය විසින් යම් සීමාවන් පැනවිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
• යාපනයේ සංචාරක සේවා ප්‍රවර්ධනය කිරීම හා ආර්ථිකය සංවර්ධනය කිරීම
ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රදේශයේ සංචාරක සේවා ප්‍රවර්ධනය කිරීම සහ ආර්ථිකය සංවර්ධනය කිරීම මඟින් මෙරට සංචාරක ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, රැකියා නිර්මාණය කිරීමටත්, යාපනය සජීවී සංස්කෘතික ගමනාන්තයක් ලෙස පිළිබිඹු කිරීමටත් හැකි වන බැවින්, යාපනය සහ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය ප්‍රධාන සංචාරක කේන්ද්‍ර ලෙස පිළිගැනීමට සහ දේශීය හා විදේශීය සංචාරකයින් ප්‍රදේශයේ හෝටල්, අවන්හල් සහ සේවා සපයන්නන් සමඟ සම්බන්ධ කිරීම, සැබෑ සංචාරක අත්දැකීම් ප්‍රවර්ධනය කිරීම, ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට සංචාරකයින් පැමිණීම සහ ඔවුන්ගේ තෘප්තිමත්භාවය ඉහළ නැංවීම සඳහා යටිතල පහසුකම්, ඩිජිටල් සම්බන්ධතාවය සහ අළෙවිකරණය වැඩි දියුණු කරන ප්‍රතිපත්ති සහ ආයෝජන සඳහා සහාය වන, ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ නියුතු වූවන් සවිබල ගන්වන සහ සංස්කෘතික උරුමය ප්‍රවර්ධනය කරන සංචාරක සේවා ව්‍යාපාර දිරිමත් කිරීම සහ ඒවාට පහසුකම් සැලසීම මඟින් යාපනය ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ තිරසර සංවර්ධනය සහ ආර්ථික වර්ධනය වැඩිදියුණු කරන රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයන් ප්‍රවර්ධනය කිරීම මඟින් සහ මාස 12 සිට 18 දක්වා වූ කාලයක් තුළ තිරසර ආර්ථික ප්‍රතිලාභ ඉලක්ක කර ගනිමින් ප්‍රදේශයේ රැකියා සහ ව්‍යාපාරික අවස්ථා කෙරෙහි එවැනි වැඩසටහන් මඟින් ඇති කරන බලපෑම නිරීක්ෂණය කිරීම මඟින් යාපනය කේන්ද්‍ර කරගත් සංචාරක වේදිකාවක් නිර්මාණය කිරීම සඳහා සහාය දීමට පියවර ගත යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“සංචාරක කර්මාන්තය සඳහා විශේෂිත වෙළඳපොළ උපාය මාර්ගයක්” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1627 ට 2026 ජූලි මස 21 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks