අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 දක්වා සඳහන් වන) සභාවට ඉදිරිපත් කරන ලද අතර, ඒ සඳහා එකඟත්වය ප්‍රකාශ විය:-
1. කෘෂිකාර්මික ස්වයං රැකියාවල නියුතු ගොවීන්ට කෘෂිකාර්මික ණය ලබා දීම
කෘෂිකාර්මික ස්වයං රැකියාවල නියුතු ගොවීන්ට 5% ක අඩු පොළී අනුපාතයක් මත රු. 250,000 උපරිමයකට යටත්ව කෘෂිකාර්මික ණය ලබා දිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
2. කල්මුනේ නගරය තුළ පිහිටි සන්දන්කර්නි මහජන ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීම
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ගේ විවිධ වූ ක්‍රීඩා කුසලතාවයන් හා හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා උසස් තත්වයේ පහසුකම් සපයාදීමේ අදහසින් කල්මුනේ නගරය තුළ පිහිටි සන්දන්කර්නි මහජන ක්‍රීඩාංගනය සියලු පහසුකම් සහිත ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක් ලෙස සංවර්ධනය කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
3. අධිකරණය, පොලීසිය, බන්ධනාගාරය ඒකාබද්ධ වන අයුරින් ජනාධිපති කොමිසමක් පත් කිරීම
සමාජයෙහි ව්‍යාප්තව යමින් පවතින අපරාධ අඩු කිරීමත්, අපරාධ නීති පද්ධතියේ පවතින අඩුපාඩු අඩුකර අපරාධ නීතිය සංශෝධනය කිරීමත්, අධිකරණය තුළ ගොඩගැසී ඇති ඉඩම් නඩු ඇතුලු නඩු විභාග අවසන් කිරීම හා අධිකරණය, පොලිසිය හා බන්ධනාගාර නවීකරණය කර කඩිනම් සේවයක් ලබා දීම සඳහාත් අධිකරණය, පොලීසිය, බන්ධනාගාරය ඒකාබද්ධ වන අයුරින් ජනාධිපති කොමිසමක් පත් කිරීමට මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
4. ආබාධිත හා විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට වෘත්තීය පුහුණුව ලබාදීම
ආබාධිත හා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වෘත්තීය පුහුණුවක් දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් ලබා දී එම දරුවන් වඩාත් විධිමත් ආකාරයෙන් රැකියා අවස්ථාවලට යොමු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කල යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
5. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා වන වාර්ෂික පොලී අනුපාතය 14% ක් ලෙස වැඩි කිරීම
සංස්ථා, මණ්ඩල, අධිකාරී සහ පෞද්ගලික අංශය තුළ රට වෙනුවෙන් සැලකිය යුතු මෙහෙවරක් ඉටුකොට දැනට ජීවිතයේ සැඳෑ සමය ගෙවන බොහෝ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තමන්ගේ රැකියාවෙන් ඉතිරි කරගත් මුදල් හා අර්ථසාධක අරමුදල් ස්ථාවර තැන්පතුවල යොදවා ඊට ලැබෙන පොලියෙන් වර්තමානයේ ජීවත් වන අතර, රජයේ බැංකුවල වාර්ෂික පොලී අනුපාත 10.5% දක්වා අඩුකිරීම නිසා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු වෙනුවෙන් ලැබෙන පොලී ආදායම පහත වැටීම හේතුවෙන් ඔවුන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බැවින්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්ෂ 15 හෝ ඊට අඩු ස්ථාවර තැන්පතු වෙනුවෙන් වාර්ෂික පොලී අනුපාතය 14% ක් ලෙස වැඩි කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය: ප්‍රතිලාභ වැඩි කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1836 ට 2011 මැයි මස 25 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.