E   |     |  

සභාවේ කටයුතු


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ගරු අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙනුවට ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් පහත පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී:-

1. ‍ සේවා නියුක්තයන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අරමුදල්

මේ පනතේ විධිවිධාන ප්‍රකාරව විශ්‍රාම වැටුපක් සඳහා සුදුසුකම් ලබන ඇතැම් සේවා නියුක්ත පන්තිවල ප්‍රයෝජනය සඳහා සේවා නියුක්තයන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අරමුදලක් පිහිටුවීමටත් ඒ හා සම්බන්ධ වූ හා එයට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස.

2. විදේශ සේවා නියුක්තයන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අරමුදල්

මේ පනතේ විධිවිධාන ප්‍රකාරව විශ්‍රාම වැටුපක් සඳහා සුදුසුකම් ලබන ඇතැම් සේවක පන්තිවල ප්‍රයෝජනය සඳහා විදේශ සේවා නියුක්තයන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අරමුදලක් පිහිටුවීම සහ ඒ හා සම්බන්ධ වූ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස.

3. විශ්‍රාම වැටුප් (ආනුෂංගික විධිවිධාන)

2011 අයවැය යෝජනාවලදී ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවක් ප්‍රකාරව සේවා නියුක්තයන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අරමුදල පනත සහ විදේශ සේවා නියුක්තයන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අරමුදල පනත පැනවීම නිසා උද්ගත වූ ඇතැම් ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැළැස්වීම පිණිස ද, ඊට සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැළැස්වීම පිණිස.

4. මුදල් ව්‍යාපාර

මුදල් ව්‍යාපාර කටයුතු විධිමත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස.

5. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (සංශෝධන)

2008 අංක 41 දරන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පනත සංශෝධනය කිරීම සඳහා.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී. 1 සහ 2 යෝජනා නිෂ්ප්‍රභා කෙරුණු අතර 3, 4 සහ 5 යෝජනා සම්මත කරන ලදී:-

1. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් අමාත්‍ය ධූරයන් දැරීම යෝග්‍ය නොවීම

ඉතා ඵලදායී පරිපාලනයක් පවත්වාගෙන යාමටත්, අමාත්‍යවරුන්ගේ කටයුතු නිසි ලෙස සමාලෝචනය කිරීමටත්, ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් කිසිදු අමාත්‍ය ධූරයක් දැරීම යෝග්‍ය නොවන බව මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

2. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE), රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (PAC) සහ උපදේශක කාරක සභාවල සියලුම රැස්වීම්වලට සහභාගි වීමට මාධ්‍යවේදීන්ට අවසර ලබාදීම

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ, රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සහ උපදේශක කාරක සභාවල සියලුම රැස්වීම්වලට මාධ්‍යවේදීන්ගේ සහභාගිත්වය තුළින් එම සාකච්ඡා වඩාත් ඵලදායී, අර්ථවත් හා විනිවිදභාවයකින් යුක්ත වනු ඇති බැවින් මාධ්‍යවේදීන්ට එම රැස්වීම්වලට සහභාගි වීමට අවසර දිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

3. පුත්තලම දිස්ත්‍රික්කය තුළ කාර්මික උද්‍යාන පිහිටුවීම

කර්මාන්ත වැඩි දියුණු කිරීමේ හා තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබා දීමේ අදහසින් පුත්තලම දිස්ත්‍රික්කය තුළ කාර්මික උද්‍යාන පිහිටුවිය යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

4. කෑගල්ල දිස්ත්‍රික්කය තුළ කෞතුකාගාරයක් පිහිටුවීම

කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ඇති පෞරාණික, සංස්කෘතික, සමාජමය වටිනාකමක් ඇති ස්ථානවල තොරතුරු ලබා ගත හැකි හා කෞතුක භාණ්ඩ සඳහා කෞතුකාගාරයක් පිහිටුවීමට පියවර ගත යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.

5. ශ්‍රී ලංකාවේ ජීවත්වන අඩු පහසුකම් සහිත නිවාස හිමියන්ගේ නිවාස ප්‍රශ්න විසඳීමට ප්‍රායෝගික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම

ශ්‍රී ලංකාවේ ජීවත්වන සෑම පවුලකටම ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයන් වන පානීය ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම් හා මුළුතැන් ගෙයකින් සමන්විත නිවසක ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ තට්ටු නිවාස හා තට්ටු නිවාස පොකුරු යෝජනා ක්‍රම කොළඹ හා තදාසන්න නගරවල ඉදිකරමින් ජනතාවගේ නිවාස ප්‍රශ්න විසඳීම සඳහා ප්‍රායෝගික වැඩසටහනක් ඇති කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අහෝසි කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1814 ට 2011 අප්‍රේල් මස 27 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks