E   |     |  

සභාවේ කටයුතු


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ගරු අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙනුවට ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් පහත පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී:-

1. දේශීය ආදායම් (සංශෝධන)

2006 අංක 10 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා.

2. එකතු කළ අගය මත බදු (සංශෝධන)

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා.

3. ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන)

2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනත සංශෝධනය කිරීම සඳහා.

4. ආ‍ර්ථික සේවා ගාස්තු (සංශෝධන)

2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත සංශෝධනය කිරීම පිණිස.

5. ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන)

2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත සංශෝධනය කිරීම සඳහා.

6. පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ)

ආණ්ඩුව විසින් එකතු කරගන්නා ලද සියලු මුද්දර ගාස්තු පළාත් සභාවලට මාරු කිරීම සඳහා විධිවිධාන සැළැස්වීම සඳහා ද, ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැළැස්වීම සඳහා ද.

7. ප්‍රාදේශීය යටිතල පහසුකම් සංවර්ධන බදු (ඉවත් කිරීමේ)

2006 අංක 51 දරන ප්‍රාදේශීය යටිතල පහසුකම් සංවර්ධන බදු පනත ඉවත් කිරීම සඳහා.

8. නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) (සංශෝධන)

1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා.

9. සුරාබදු (සංශෝධන)

(52 වැනි අධිකාරය වූ) සුරාබදු ආඥාපනත සංශෝධනය කිරීම සඳහා.

10. බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන)

1990 අංක 4 දරන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා.

11. බදු අභියාචනා කොමිසම

බදු අභියාචනා කොමිසම පිහිටුවීම සඳහාත්, එම කොමිසමට අදාල බලතල නියම කිරීමටත්, එම අභියාචනා පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය සඳහන් කිරීමටත්, ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස.

12. විදුලි සංදේශ බදු

2011 ජනවාරි මස 1 වැනි දින සිට ආරම්භවන පරිදි යම් විදුලි සංදේශ සේවාවක් ලබා ගන්නා තැනැත්තන් මත විදුලි සංදේශ බද්දක් පැනවීම සඳහා ද; 2004 අංක 11 දරන මුදල් පනතේ II වැනි කොටස සංශෝධනය කිරීම සඳහා ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා ද විධිවිධාන සැලැස්වීම සඳහා.

13. වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු

ශ්‍රී ලංකාවෙන් පිටත දී ආරම්භ වන ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන සෑම භාණ්ඩයක් මත ම වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බද්ද යනුවෙන් හඳුන්වනු ලබන බද්දක් පැනවීමට සහ ඒ බද්ද එකතු කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද, 2002 අංක 11 දරන මුදල් පනතේ I වන කොටස සංශෝධනය කිරීම පිණිස ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද.

14. හරබදු (ඉවත් කිරීමේ)

2002 අංක 16 දරන හරබදු පනත ඉවත් කිරීම සඳහා.

15. මුදල් (සංශෝධන)

2006 අංක 11 දරන මුදල් පනත, 2005 අංක 5 දරන මුදල් පනත, 2003 අංක 25 දරන මුදල් පනත සහ 1995 අංක 16 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා.


ගරු කනක හේරත් මහතාට "මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව

1959 අංක 8 දරන පනතින් ද ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් ද සංශෝධිත (40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තිය යටතේ අතිගරු ජනාධිපතිතුමා විසින් ඉහත කී ආඥාපනතේ II වැනි කොටසේ විධිවිධාන 2011 මාර්තු මස 03 වැනි දින සිට ශ්‍රී ලංකාව මුළුල්ලේම ක්‍රියාත්මක කරමින් කරන ලද ප්‍රකාශය ගරු අග්‍රාමාත්‍ය, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලදුව සම්මත විය.

ඒ අනුව, හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කරමින් හදිසි නීති යෝජනාව වැඩි ඡන්ද 75 කින් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 90 ක් ප්‍රකාශ වූ අතර ඊට විරුද්ධව ඡන්ද 15 ක් ප්‍රකාශ විය.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1905 ට 2011 මාර්තු මස 22 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks