E   |     |  

නවවැනි පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම - 2020 අගෝස්තු මස 20 වැනි බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ මංගල රැස්වීම අද දින පෙ.ව. 9.30 ට ආරම්භ විය.

 

රැස්වීම කැඳවීම පිළිබඳ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශනය පාර්ලිමේන්තුවේ මහ ලේකම් විසින් කියවා කථානායකවරයෙකු ඡන්දයෙන් තෝරා පත් කිරීමෙහි වහාම නිරත විය.

 

කථානායකවරයා ඡන්දයෙන් තෝරා පත් කිරීම

9 වැනි අභිනව පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නම පිළිවෙළින් ගරු දිනේෂ් ගුණවර්ධන, පා.ම. සහ ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, පා.ම. යන මහත්වරුන් විසින් යෝජනා කර ස්ථිර කරන ලදී. එවිට අභිනව කථානායකවරයා වශයෙන් තෝරා පත් කරනු ලැබූ ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා යෝජක හා ස්ථිරකරු විසින් මූලාසනය වෙත කැඳවාගෙන යනු ලැබීය. ගරු කථානායකතුමා මූලාසනය වෙත පැමිණ අසුන් ගැනීමට පෙර ඉතා ලුහුඬින් සභාවට ස්තූති කළේය. ඉන්පසු ගරු කථානායකතුමා මූලාසනාරූඪ වී නීති ප්‍රකාරව ප්‍රතිඥා දීම සහ පොතෙහි අත්සන් තැබීම සිදු කළේය.

පසුව, පැමිණ සිටි සියලුම ගරු මන්ත්‍රීවරු ස්වකීය ප්‍රතිඥා දීමෙහි හෝ දිවුරුම් දීමෙහි හෝ නිරත වී සභා මේසය මත තිබෙන පොතෙහි අත්සන් තැබූහ.

ආණ්ඩු පාර්ශ්වයේ හා විරුද්ධ පාර්ශ්වයේ විවිධ දේශපාලන පක්ෂවල නායකයන් විසින් සතුට පළ කෙරෙන කථා පවත්වනු ලැබීය. ගරු කථානායකතුමා විසින් ඊට පිළිතුරු කථාවක් පවත්වන ලදී.

 

නියෝජ්‍ය කථානායකවරයා ඡන්දයෙන් තෝරා පත් කිරීම

9 වැනි අභිනව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රංජිත් සියඹලාපිටිය මහතාගේ නම පිළිවෙළින් ගරු මහින්ද අමරවීර, පා.ම. සහ ගරු නිමල් ලාන්සා, පා.ම. යන මහත්වරුන් විසින් යෝජනා කර ස්ථිර කරන ලදී.

 

නියෝජ්‍ය කාරක සභාපතිවරයා ඡන්දයෙන් තෝරා පත් කිරීම

9 වැනි අභිනව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අංගජන් රාමනාදන් මහතාගේ නම පිළිවෙළින් ගරු නිමල් සිරිපාල ද සිල්වා, පා.ම. සහ ගරු දුමින්ද දිසානායක, පා.ම. යන මහත්වරුන් විසින් යෝජනා කර ස්ථිර කරන ලදී.

 

කථානායකතුමාගේ නිවේදන

අභිනව පාර්ලිමේන්තුවේ සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් පිළිවෙළින් ගරු දිනේෂ් ගුණවර්ධන, පා.ම. සහ ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු, පා.ම. යන මහත්වරුන් පත් කරන ලද අතර, අභිනව පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකයා වශයෙන් ගරු කථානායකතුමා විසින් ගරු සජිත් ප්‍රේමදාස මහතා පිළිගන්නා ලදී.

 

ගරු කථානායකතුමා විසින් රැස්වීම ප.ව. 3.00 දක්වා තාවකාලිකව අත්හිටුවන ලදී.

 

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම

සභාව ප.ව. 3.00 ට යළිත් එක්රුස් වූ අතර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන ලදී.

 

2020 අගෝස්තු මස 21 වැනි සිකුරාදා පෙ.ව. 9.30 ට පාර්ලිමේන්තුව රැස්විය යුතු බවට වන කල් තැබීමේ යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

ඊට අනුකූලව, පාර්ලිමේන්තුව පැය 1535 ට 2020 අගෝස්තු මස 21 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

12


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks