පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2005-10-05
2005 ඔක්තෝබර් මස 5 වන බදාදා දහවල පාර්ලිමේන්තු සංකීර්ණයට නවමු පෙනුමක් ලැබී තිබිණි. එහි ඇතුළතත් පිටතත් සැරසිලිවලින් ගහන විය. පේළියට සිටුවන ලද කෙසෙල් ගස්වලින් සහ හින්දු ආගමික “තෝරණම්” නමැති ගොක් කොළ සැරසිල්ලෙන්ද ප්‍රධාන ගොඩනැගිල්ල පිටත මාර්ග අලංකාර විය. පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි පොකුණෙහි මැද සරස්වතී නම් හින්දු දෙවඟනගේ පිළිරුවක් විය. මේ සියලු කටයුතු සිදුවූයේ ගරු කථානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ 2005 නවරාත්‍රී පූජා උත්සවය වෙනුවෙනි.
මෙම උත්සවය කථානායකතුමා ගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද අතර, නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු එම්. සච්චිතානන්දන් සහ එවකට අධ්‍යක්‍ෂ (ව්‍යවස්ථාදායක සේවා) එම්. කේ. රාහුලන් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් සංවිධානය කරන ලදී. මෙම උත්සවය සාර්ථකව පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ජාති ආගම් භේදවලින් තොරව එකාවන්ව කටයුතු කිරීම කැපී පෙනුණු ලක්ෂණයකි.
පූජාව මෙහෙයවීම පිණිස හින්දු පූජකවරයෙක් කැඳවන ලද්දේය. “නාදස්වරම්” සහ “මලම්” වලින් සමන්විත වාද්‍ය වෘන්දය සිත්ගන්නා සුලු වර්ණවත් බවක් පූජාවට එක් කළේය. පාර්ලිමේන්තු මහලේකම්තුමිය ප්‍රධාන සියලුම ඉහළ නිලධාරීහුද, ගරු කථානායකතුමා, ඇමතිවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු සම්භාවනීය පිරිසද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ. මෙම උත්සවය එහි පැමිණි සියලු දෙනා ගේ නෙත් සිත් එකසේ පිනවීමට සමත් විය.
නවරාත්‍රී එක් සුවිශේෂී හින්දු ආගමික උත්සවයකි. වචනයෙන් කියවෙන පරිදි “නවරාත්‍රී” යනු රාත්‍රී නවයකි. මේ උත්සවය සෑම වසරකම ඔක්තෝබර් මස මුලදී රාත්‍රී නවයක් පුරා සමරනු ලැබේ.
පරම මහෝත්තම දෙවඟනන්ගේ ආකාර තුනක් සමරනු වස්, නවරාත්‍රී උත්සවය ඉන් එක් ආකාරයක් සඳහා දින තුන බැගින් බෙදා වෙන්කර තිබේ. පළමු දින තුනේදී දුර්ගා දේවිය පුදනු ලබන්නීය. සියලු දුර්ගුණ, නපුර සහ දෝෂ දුරු කිරීමේ බලය ඇය සතුය. ඊළඟ තෙදින තුළ පුදනු ලබන්නේ තමන්ගේ බැතිමතුන් වෙත නොනැසෙන සම්පත සහ යස ඉසුර ලබාදෙන්නී සේ සැලකෙන ලක්ෂ්මී දේවියයි. ප්‍රඥාවේ දේවතාවිය සේ සලකන සරස්වතිය නමදිනු ලබන්නේ අවසන් තෙදින තුළය. ජීවිතය සියලු ආකාරයෙන් සාර්ථක කරගැනීම පිණිස අපහට මේ දෙවඟනන් තිදෙනාගේ තුන් ආකාර වූ ආශිර්වාද අවශ්‍ය වන්නේය. දින නවයක් පුරා වන්දනාමාන සිදු කෙරෙන්නේ එබැවිනි. සරස්වතී පූජාව සාමාන්‍යයෙන් පවත්වනු ලබන්නේ නවරාත්‍රී උත්සව සමයේ අවසන් දිනයේදීය.
රටේ නීති සම්පාදනය කෙරෙන ආයතනය වශයෙන්, පාර්ලිමේන්තුවද මේ අංශවලින් සමෘද්ධිමත් වීම අවශ්‍යය . එපමණක් නොව, ප්‍රඥාවේ දෙවඟනට කරන ලද මේ ගෞරව දැක්වීම පාර්ලිමේන්තුවේ පවතින සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය, එකමුතුකම සහ සමානාත්මතාව මනාව පිළිබිඹු කරන්නක් විය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks