E   |     |  

2005-03-06

නත්තල් බැති ගී - 2005

මීට වසර දෙදහසකට පෙර, සුවිශාල බලවත් රෝමානු අධිරාජ්‍යය තුළ සංගණනයක් කිරීමට සීසර් ඔගස්ටස් විසින් නියෝග කරන ලදී. මේ අතර පලස්තීනයේ මායිම් ප්‍රදේශයක, මරියා සහ ජෝසෆ් නම් වූ අහිංසක තරුණ යුවලක් කුඩා ගම්දනව්වක් වූ නසරෙත් සිට ජුදයාවේ බෙත්ලහෙම් පුරවරය දක්වා ගමන් ආරම්භ කළහ. නගරයේ සැරිසැරුවද නැවතුම්පොළෙහි ඉඩ නොතිබුණි. මෙහිදී ශුද්ධාත්මානුභාවයෙන් පිළිසිඳගත් මරියාවන්ගේ කුළුඳුල් පුත් කුමරුවාට ඉතිරිවූයේ ගව ඔරුවක් පමණි. එදවස තම බැටළුවන් රැක බලා ගනිමින් සිටි ගොපලුවන් වෙත සමගියෙන් බට සුරදූතයෙක්, මේ දුප්පත් ගොපලුවන්ට මෙසේ පැවසීය: “ගව ඔරුවේ නිදන ඔය දරුවා ඔබටත් ලෝකයටත් උපන් ගැලවුම්කාරයයි: උන්වහන්සේ ස්වාමීන් වන ක්‍රිස්තුන් වහන්සේය”. නත්තල යනු වර්ණය, භාෂාව සහ ඇදහීම ඉක්මවා යන උත්සවයකි; එමනිසා, සියලු සංස්කෘති සහ ජනතාව වැළඳ ගන්නා මංගල්‍යයක් වන මෙය, බොහෝදෙනා විසින් සමරනු ලබන්නේය.

නත්තල් උදාවට දින දෙකකට පෙර කථානායක නිල නිවස පරිශ්‍රයේදී යළි ජීවමාන වූයේද මේ සුභාරංචියයි. ගරු කථානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා විසින් ආරම්භ කරන ලද නත්තල් බැති ගී වැඩසටහන, මහත් උනන්දුවකින් සහ අදාළත්වයකින් ගන්නා ලද ඓතිහාසික තීරණයක් වන අතර බොහෝ සාකච්ඡා සහ එකඟතාවයෙන් ආරම්භ කරන ලද්දක්ද විය. මේ සඳහා කතෝලික සභාව සහ ජාතික ක්‍රිස්තියානි සභාව ඉතා සමීප සම්බන්ධතාවකින් කටයුතු කෙළේය. මේ සඳහා ගරු කථානායකතුමා පෙළඹවූ ප්‍රධානතම හේතුව වූයේ අප මේ සුන්දර රටේ මිනිසුන් අතර නත්තලේ හොඳහිත වර්ධනය කිරීමයි. මුල්ම නත්තල් බැති ගී වැඩසටහන පවත්වන ලද්දේ 2004 වසරේ දෙසැම්බර් මස 22 වන දිනදීය.

නිල නිවස පරිශ්‍රය පුරා රාව ප්‍රතිරාව දුන් මිහිරි නාදස්වරය සවස් යාමයට ශාන්ත බවක් එක් කළේය. මිදුලේ නිර්මාණය කර තිබූ වේදිකාව මත බැති ගී ගායනය සිදු වූ අතර, ජීවමාන ගවලෙන සහභාගී වූ කාහටත් කමනීය අත්දැකීමක් විය. උඩරට නර්තන සහ පොලිස් සංස්කෘතික කණ්ඩායමේ මඟුල් බෙර හා සක්හඬ මධ්‍යයේ, මරියතුමිය හා ජුසේතුමා, ජේසු බිළිඳුන්ගේ ප්‍රතිමාව රැගෙන පෙරහැරෙන් ගව ඔරුව වෙත පැමිණියහ. අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු හිමිපාණන් විසින් නත්තල් මෙහෙය පවත්වන ලද අතර, ගරු බෙනඩික්ට් ජෝසෆ් පියතුමා විසින් උත්සවයේ කටයුතු මෙහෙයවන ලදී. ඉනික්බිති එම වර්ණවත් පෙරහැර පිටත ගවහල කරා රැගෙන ඒම සිදුවූයේ දෙව්මවුන්ද, ජුසේ මුනිතුමන්ද, ගොපලුවන් සහ සුරදූතයන්ගෙන්ද සැදි සජීවී ගවලෙන නිර්මාණය කරනු පිණිසය.

ඉතා පැරණි සම්ප්‍රදායයෙන් මෙන්ම වර්තමානයෙන්ද තෝරා ගන්නා ලද විවිධත්වයකින් යුත් උසස් ගණයේ කැරොල් ගීවලින් වැඩසටහන සමන්විත විය. කීර්තිමත් ඉංග්‍රීසි, සිංහල හා දෙමළ බැති ගී සමඟින් ජාකොමේ ගොන්සාල්වේස් හා මර්සලින් ජයකොඩි යන පියතුමන්ලා විසින් රචිත බැති ගී මුලින්ම ගායනා කරන ලද ඒවා අතර විය. වාදක කණ්ඩායම් හා සමූහ ගායනා කණ්ඩායම් කිහිපයක් සමඟින් ඉදිරිපත් කරන ලද බැති ගී ප්‍රසංගය නැරඹීමට 2000 කට අධික පිරිසක් එක් රැස්වී සිටියහ. සවස් යාමය අවසානයේදී, එහි සිටි සියල්ලන්ට ප්‍රීතිමත් අත්දැකීමක් ගෙන දෙමින් තෑගි බෙදාදීමට එහි පැමිණි “නත්තල් සීයා” සමත් වූයේ නත්තලේ ජීවගුණයට දායක වෙමිනි.

අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා සහ ගරු කථානායකතුමා එම අවස්ථාවට සහභාගී වූ අතර ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ අන්‍යාගමික නායකයෝද පැමිණ සිටියහ. මෙවර උත්සවය ආගමික කටයුතු අමාත්‍යාංශයේ ක්‍රිස්තියානි අංශය හා ඒකාබද්ධව සංවිධානය කෙරුණු අතර පාර්ලිමේන්තු මහලේකම්තුමිය සහ ඇගේ කාර්ය මණ්ඩලය මෙම කටයුත්ත සාර්ථක කරගැනීම පිණිස මහත් වූ කාර්යභාරයක් ඉටුකළහ.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks