පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2006-03-06
2006 මාර්තු 6 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී සුවිශේෂී උත්සවයක් පැවැත්විණි . මෙහිදී කථානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා ගේ ඉල්ලීම පරිදි තායිලන්තයේ රාජිනි කල්‍යානි වධනා ක්‍රොම් ලුආන් නරධිවස් රාජනාගරින්ද්‍ර කුමරියගේ විශේෂ නියෝජිත රියර් අද්මිරාල් අතිඋතුම් පුසාන් සාවස්තිවත් කුමරු විසින්, ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉංග්‍රීසි අකුරෙන් මුද්‍රිත වෙළුම් 40 කින් සමන්විත ජාත්‍යන්තර සංගීති පාලි තිපිටකය පිළිගන්වන ලදී. ඉනික්බිති ජනාධිපතිතුමා එය පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කිරීම සඳහා කථානායකතුමාට බාර දුන්නේය.
මේ උත්සවය සඳහා මුල් වූයේ, මේ වසරේ ජනවාරි මස බැංකොක් නුවරදී ලෝක තිපිටක කවුන්සිලයේ දෙවන රැස්වීමට සහභාගී වෙමින් සිටි ගරු කථානායකතුමා තායිලන්ත රජ කුමරියගෙන් කළ ඉල්ලීමකි. එනම්, ජාත්‍යන්තර තිපිටක මුද්‍රණයේ පිටපතක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පිළිගන්වන ලෙසය.
බුදුරජාණන් වහන්සේ ගේ උගැන්වීම් ඇතුළත් තිපිටක පොත් වහන්සේ පාර්ලිමේන්තුවට පූජා කිරීමෙන් හා එය පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කිරීම මඟින් මනුෂ්‍යත්වයේ ප්‍රඥා පාදක උරුමය නූතන දේශපාලනික ආයතනයකට අනුකලනය කරන ලද ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත්වේ. ආසියාකරයේ සිට බටහිර දක්වා ලොව වටා සිදුකෙරෙන තිපිටක ප්‍රදානයේ මූලාරම්භයද මෙයින් සනිටුහන් වේ.
තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට පාලි තිපිටකය ප්‍රදානය කරන ලද ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මීට සියවසකට පෙර 1893 දී, ලොව ප්‍රථමයෙන් තිපිටකය මුද්‍රණය කරවූ සියමයේ චුලලොංකෝන් චුලචොම්ක්ලාඕ රජුද එහි පිටපත් ලංකාවට පිළිගැන්වූයේය. රජුගේ මේ ප්‍රදානය අදටත් ශ්‍රී දළදා මාලිගාවේ දක්නට ලැබේ. වත්මන් සංස‍්‌කරණය ශ්‍රී ලංකාව, තායිලන්තය, බුරුමය, ලාඕසය සහ කාම්බෝජය යන රටවල අත්පිටපත් සම්ප්‍රදායන් රාශිභූත වීමේ ප්‍රතිඵලයකි. බු. ව. 2500 දී සියලු ථෙරවාද රටවල බහුශ්‍රැත භික්ෂූන් වහන්සේගේ සහභාගීත්වයෙන් මියන්මාරයේ පැවැත්වුණු ජාත්‍යන්තර කවුන්සිලයේ අවසන් ප්‍රතිඵලය මෙය වේ. මේ අලුත් සංස‍්‌කරණය ජාත්‍යන්තර භාෂාවක් වන ඉංග්‍රීසියෙන්ද තවත් සංස‍්‌කරණ 14 කට සමුද්දේශයන්ගෙන්ද සමන්විතය.
උත්සවය ඇමතූ ගරු කථානායකතුමා, “අද මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ලැබෙනුයේ වර්තමානයේ ඇති විශිෂ්ටතම තිපිටක පාලි සංස්කරණය බවට මා හට කිසි සැකයක් නැත” යනුවෙන් පැවසීය. “තිපිටකයේ උගැන්වීම් සහ එය මෙසේ ග්‍රන්ථගත කොට ලොවට පිළිගැන්වීමට තායිලන්ත ධම්ම සංගමය අනුගමනය කළ ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉමහත් ප්‍රයෝජනයක් වනු ඇති බව මාගේ විශ්වාසයයි. නුදුරු අනාගතයේදී, ශ්‍රී ලංකාව තුළ ගෞරවනීය සාමයක් ඇති කිරීම සඳහා නීති සකසනු පිණිස විවිධ ජාති, ආගම් සහ පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒකරාශී වනු ඇත. එමනිසා පාර්ලිමේන්තුවට මේ තිපිටක ප්‍රදානය සිදුවී තිබෙන්නේ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ වඩාත්ම සුදුසු මොහොතේදීයි” යනුවෙන් එතුමා වැඩිදුරටත් පැවසීය.
උත්සවයේදී, ජාත්‍යන්තර සංගීති පාලි තිපිටකයේ වෙළුම් 40 ප්‍රධාන ශාලාව වෙත පෙරහරින් වඩමවනු ලැබිණ. එමෙන්ම, රාජිනි කල්‍යානි වධනා කුමරියගේ පිළිගැන්වීමේ කථාව තායි සහ ඉංග්‍රීසි යන භාෂාද්වයෙන්ම කියවනු ලැබිණ. ඉන්පසු අතිගරු ජනාධිපතිතුමා ප්‍රතිග්‍රහණ කථාව පැවැත්වීය. නව තිපිටක මුද්‍රණයේ රතන සූත්‍ර ගාථා ඛණ්ඩ හයක්, ඒවායේ සිංහල, තායි සහ ඉංග්‍රීසි පරිවර්තන සමඟින් සජ්ජායනා කැරුණේ ඉන්පසුවය. ශ්‍රී ලංකාවේ හා තායිලන්තයේ ජාතික ගී වාදනයෙන් උත්සවයේ කටයුතු නිමාවට පත් විය.
මාර්තු 6 වැනිදා ජාත්‍යන්තර ත්‍රිපිටක දිනය වශයෙන් ප්‍රකාශයට පත් කරන මෙන් සංවිධායකවරු ජනාධිපතිවරයාගෙන් සහ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියහ. ඉංග්‍රීසි අකුරෙන් මුද්‍රිත ප්‍රථම ජාත්‍යන්තර සංගීති පාලි තිපිටකය රාජිනි කල්‍යානි වධනා කුමරිය විසින් ජනාධිපති මන්දිරය වෙත ප්‍රදානය කැරුණු සිද්ධියේ පළමු වැනි සංවත්සරයද මෙදිනට යෙදී තිබිණි.
තායිලන්ත ජනතාව ශ්‍රී ලංකාවේ ජනතාවට සාමයේ සහ ප්‍රඥාවේ දහම් මිණි රුවන ප්‍රදානය කළ මේ උතුම් මොහොතට, මහානායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝ රත්නය, ගරු අගමැති, ගරු විපක්ෂනායක, ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, තානාපතිවරු, විද්වත් ප්‍රජාව, ව්‍යාපාරික ප්‍රජාව සහ මෙරට හා වෙනත් බෞද්ධ රටවල සම්භාවනීය අමුත්තෝ සහභාගී වී සිටියහ. අතිඋතුම් පුසාන් සාවස්තිවත් කුමරු ප්‍රධාන කොටගත් පනස් දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක්, තායිලන්ත ධම්ම සංගමයේ කුලපති මේජර් සුරධජ් බුන්නාග්, සහ ශ්‍රී ලංකාව, චීනය, සිංගප්පූරුව, මැලේසියාව යන රටවල ධම්ම සංගම් නියෝජිතයෝද මෙම අවස්ථාවට සහභාගී වූහ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks