පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2006-05-12
තමන් වහන්සේට දෙයාකාරයක පූජා පැවැත්විය හැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එනම් "ආමිස" හා "ප්‍රතිපත්ති" යනුවෙනි. එම උපදෙස් මනාව ක්‍රියාවට නැඟුණු අයුරු මේ වෙසක් සමයේ කථානායක නිල නිවසේදී හා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී දක්නට ලැබුණි. ශාන්ති නායකයාණන් වහන්සේගේ අවවාද හා දේශනා ක්‍රියාවේ යෙදවීමට, උන්වහන්සේගේ තෙමඟුල (උපත, බුද්ධත්වයට පත්වීම, පරිනිර්වාණය) සිදුවූ වෙසක් පොහෝ දින තරම් උචිත කාලයක් තවත් නොමැත.
ආගමික වශයෙන් ඉමහත් වැදගත්කමක් ඉසිලූ මැයි මස 10 සිට 12 දක්වා වූ තෙදින තුළ, “දියවන්නා වෙසක් අසිරිය” වශයෙන් නම් කරන ලද වැඩසටහන් එකතුවක් පැවැත්විණ. 10 වන දින සර්ව රාත්‍රික පිරිත් දේශනාවක්ද, ඊට පසු දින මහා සංඝ රත්නය වෙනුවෙන් දානමය පින්කමක්ද පවත්වන ලදී.
ශීල සමාදානය, බුද්ධ පූජා, උදෑසන සහ දහවල් දානය, ධර්ම සාකච්ඡාව, භාවනා වැඩසටහන, භක්ති ගීත වැඩසටහන, දන්සල් ආදියෙන් සමන්විත වෙසක් පෝදින වැඩසටහන් මාලාව ඉතා පරිපූර්ණ එකක් විය.
පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියෝ එදින උදෑසන පැමිණ සිටි පාර්ලිමේන්තු හා අවශේෂ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු පිරිස අෂ්ටාංග උපෝසථ ශීලයෙහි පිහිටුවූහ. එය සිදුකෙරුණේ කථානායක නිල නිවස පරිශ්‍රය තුළ වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදීය. සැදැහැවතුන්ගේ ආධ්‍යාත්මික සන්තුෂ්ටියට අනුග්‍රහයක් වූ උදය වරුව විවේක සුවයෙන් ගතවූවක් විය. බුද්ධ පූජා පින්කම සහ සිල්ගත් පිරිස වෙනුවෙන් දානය පිළිගැන්වීම උදය වරුවේ අවසන් අංග වූ අතර සවස් වරුව ආරම්භ වූයේ ධර්ම සාකච්ඡාව සමඟිනි. එම විද්වත් සභාව හොබවනු ලැබුවේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන්, මහාචාර්ය සුමනදාස ගල්මංගොඩ මහතා, මනෝ වෛද්‍ය ඩී. වී. ජේ. හරිශ්චන්ද්‍ර මහතා සහ ගරු කථානායකතුමා විසිනි. ධර්ම සාකච්ඡාව මෙහෙයවූයේ ස්වාධීන රූපවාහිනී සේවයේ හසන්ත හෙට්ටිආරච්චි මහතා වන අතර සීල සමාදානයේ පිහිටි අයගෙන් ඒ සඳහා ලැබුණු දායකත්වය ඉතා ඉහළ මට්ටමක පැවතුණි. මහරගම භික්ෂු මධ්‍යස්ථානාධිපති අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද හිමියෝ ඉන්පසුව පැවති භාවනා වැඩසටහන මෙහෙයවූහ.
සවස බෝධි පූජාව සඳහා කථානායක නිල නිවසේ සිට පාර්ලිමේන්තු සංකීර්ණය දක්වා පිරිස පැමිණියේ චාම් පෙරහැරකිනි. පාර්ලිමේන්තු පරිශ්‍රයේ වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස සිදුකෙරුණු බෝධි පූජාව මෙහෙයවූයේද ත්‍රිකුණාමලයේ ආනන්ද හිමියෝය.
පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය සවස් වරුවේ ඉතා කාර්ය බහුල ස්වරූපයක් ඉසිලීය. තොරණ, දන්සැල් සහ භක්ති ගීත ගායනා රැස්ව සිටි දහස් ගණන් ජනතාව ආකර්ෂණය කර ගැනීමට සමත් විය. පළමුව විවෘත කෙරුණු ආප්ප දන්සල පසුදා අලුයම් කාලය තෙක්ම පැවතුණි. බත් දන්සලද එයට නොදෙවෙනි ආකාරයෙන් පන්දහසකට අධික පිරිසකට නිර්මාංශ ආහාරයෙන් සංග්‍රහ කිරීමට සමත් විය. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයීය බෞද්ධ සංගමයේ සභාපති සහ ලේකම් ප්‍රමුඛ සමාජික පිරිසගේ කැපවීම මෙහිදී කැපී පෙණුනි.
මේ අතරතුර තවත් විශේෂ කටයුතු කිහිපයක් සිදුවූ අතර මින් ප්‍රධාන වූයේ දශරාජ ධර්මය නිරූපිත මහා තොරණ විවෘත කිරීමයි. පාර්ලිමේන්තුවේ හෝ ඒ අවට මෙවන් කටයුත්තක් සිදුවූ ප්‍රථම අවස්ථාව මෙයයි. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරාධනය පරිදි ආරම්භ කරන ලද මේ සඳහා නවලෝක සමූහ ව්‍යාපාර අධිපති දේශමාන්‍ය එච්. කේ. ධර්මදාස මැතිතුමාගේ ධන පරිත්‍යාගයද, නවලෝක විහාරාධිපති පූජ්‍ය පන්නල ඥානාලෝක හිමියන්ගේ කාරුණික මඟ පෙන්වීමද නොමසුරුව ලැබිණි. තොරණ විවෘත කරනු ලැබුයේ ගරු කථානායකතුමා සහ විශේෂ ආරාධිත අමුත්තන් විසිනි. එය ප්‍රදර්ශනය කරනු ලැබූ දින හය තුළදී ගරු කථානායකතුමා, ගරු නියෝජ්‍ය කථානායකතුමා, පාර්ලිමේන්තු මහලේකම්තුමිය, නියෝජ්‍ය මහලේකම්තුමා, සහකාර මහලේකම්තුමා සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයීය බෞද්ධ සංගමයේ සාමාජික සාමාජිකාවන්ගෙන් ලැබුණු අනුග්‍රහය සහ කැපවීම ප්‍රශංසනීය විය.
එදින සවස අවසන් අංගය වූයේ “භක්ති ගීත” ගායනයයි. ක්‍රීඩාංගණයට රැස්ව සිටියවුනට පුරා පැයක පහන් අත්දැකීමක් ලබාදීමට ලංකා බැංකු භක්ති ගීත කණ්ඩායම සමත් විය.
2550 වෙනි ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සැමරෙන මේ වසරේ සිය යුතුකම සනිටුහන් කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමත් වී තිබේ. මෙරට තීරණ ගන්නා වූ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව, රටට සහ එහි ජනතාවට ඉටු කරන මෙහෙවරට මෙම පුණ්‍ය ක්‍රියාවලින් ඉමහත් අගයක් එක්වන්නේය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks