E   |     |  

2006-09-27

"නවරාත්‍රී 2006" පාර්ලිමේන්තුවේදී

දුර්ගා, ලක්ෂ්මී සහ සරස්වතී යන දෙවඟනන්ගේ ආශිර්වාද පතමින් පවත්වනු ලබන "නවරාත්‍රී උත්සවය" මෙවර සමරනු ලැබූයේ නොකඩවා තෙවන වරටය.

පාර්ලිමේන්තු මහලේකම්තුමියගේ සහ ඇගේ කාර්ය මණ්ඩලයේද සහය ඇතිව ගරු කථානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා විසින් සංවිධානය කරන ලද උත්කර්ෂවත් "සරස්වතී පූජා" උත්සවයක් 2006 සැප්තැම්බර් මස 29 වන දින සවස 2.00 ට, පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මේ උත්සවය සඳහා අනුග්‍රහය දැක්වීය.

කොළඹ පොන්නම්බලවානේස්වර් කෝවිලේ පූජකවරුන් වන රාමචන්ද්‍ර අය්යර් ජෙයශන්කර් හා ජෙගනාද කුරුක්කල් ජනාර්තනන් විසින් පූජාව පවත්වන ලදී. ගරු කථානායකතුමා, ගරු නියෝජ්‍ය කථානායකතුමා, පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීහුද පාර්ලිමේන්තු මහලේකම්තුමිය සහ ඇගේ නියෝජ්‍යයෝද, වේත්‍රධාරීවරයා සහ ඔහුගේ නියෝජ්‍යයෝද, ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් ද මෙම පූජෝත්සවයට සහභාගී වී සිටියහ. පූජාවෙන් පසු "භරත නාට්‍ය" සංදර්ශනයක්ද පැවැත්විණ.

"නාට්‍ය කලා මන්දිර්" හි කලාසූරී වාසුහි ජෙගදීස්වරන් මහත්මියගේ සහ සුබිතා ඥානරාජා මහත්මිය ගේ ශිෂ්‍ය පිරිස විසින් ඉදිරිපත් කරන ලද "භරත නාට්‍ය" නර්තනය ඉතා චමත්කාරජනක සහ වර්ණවත් එකක් විය.

ශක්තිය, ධනය සහ ප්‍රඥාව පතා පිළිවෙළින් දුර්ගා, ලක්ෂ්මී සහ සරස්වතී යන දේවතාවියන් නැමදීම හා නිරාහාරව සිටීම "නවරාත්‍රී" උත්සවයේ විශේෂත්වයයි. දුර්ගා දේවියගෙන් ආරම්භව දින තුන බැගින් දින නවයක කාලයක් පුරා දෙවඟනෝ තිදෙනා නමදිනු ලබති. විශේෂයෙන්ම සරස්වතී දේවියට (ප්‍රඥාවේ දේවතාවිය) වෙන් කෙරෙන අවසන් දින තුන කලාත්මක හා සංස්කෘතික අංගවලින් පිරී පවතී.

මේ උත්සවය සැමරීමට, ආගම් භේදවලින් තොරව රටේ සියලු වාර්ගික හා ආගමික ජනකොටස් වලට අයත් විශාල පිරිසක් එක් රැස්වී සිටීම සතුටට කරුණක් විය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks