E   |     |  

2006-12-11

"අමා දහර"

උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කරමින් “අමා දහර දිය ගලා ගලා…” යන ගීතයේ නාදය ඇසෙන්නට වූයේ මෑතකදී පාර්ලිමේන්තුවේ පැවති  “අමා දහර”  බොදු බැති ගී සරණියට අර්ථවත් ලෙස මුල පුරමිනි. 2006 දෙසැම්බර් මස 11 වන දින පාර්ලිමේන්තු පරිශ්‍රයේ කාරක සභා අංක 1 දී පැවති මේ උත්සවය සංවිධානය කෙරුණේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයීය බෞද්ධ සංගමය විසිනි. ප්‍රසංගයේ ගායකයා වූයේ අන් කවුරුත් නොව, හෙළයේ මහා ගාන්ධර්ව ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකයන්ය.

සිය වැඩිමහල් පුත් ජයන්තත් සමඟින් තමන්ගේම වාද්‍ය වෘන්දයේ සංගීතයෙන් පැමිණ සිටි පිරිස අමන්දානන්දයට පත් කිරීමට මේ ප්‍රවීණ සංගීත ශිල්පියා සමත් විය. ඉදිරිපත් කරන ලද ගී අත ර, “අමා දහර”, “ආදරයේ උල්පත වූ අම්මා”, “බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති”, “දෙව්රම් වෙහෙරේ” ආදී ගීතද විය. පැය එකහමාරක් පමණ වේලා පැවැති මේ ස්වර සමාධිය ඉතා වටිනා එකක් වූයේ ගායකයා එක් එක් ගීතයේ අරුතත්, පසුබිම් කතාවත්, එයට දායක වූවන් පිළිබඳ තොරතුරුත් සඳහන් කළ බැවිනි. එය සැබැවින්ම, ගී පද වලින් ඉපැදුණු ශාන්ත භාවය නොබිඳිනු වස් ශ්‍රාවක පිරිස ඔල්වරසන් දීමෙන් පවා වැළකුණු දුර්ලභ මොහොතක් විය.

උත්සවය අවසානයේ ගරු කථානායකතුමා, වික්ටර් රත්නායක මහතා සහ ඔහුගේ කණ්ඩායම වෙනුවෙන් විශේෂ ස්තුති කථාවක් කළ අතර, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයීය බෞද්ධ සංගමය මඟින් ඒ මහතාට සමරු ඵලකයක් පිරිනැමීය. වාදක කණ්ඩායමේ ශිල්පීන්ටද බෞද්ධ ග්‍රන්ථ ඇතුළු සිහිවටන පිරිනැමිණ.

ගරු කථානායකතුමා, පාර්ලිමේන්තු මහලේකම්තුමිය, උසස් නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයෝද මේ අවස්ථාවට පැමිණ සිටියහ. ආගම් භේදයකින් තොරව විවිධ විශාල පිරිස්වල සහභාගිත්වයක් මෙහිදී දක්නට ලැබුණි. වෙහෙසකාරී අයවැය සමයකින් පසු කාර්ය මණ්ඩල සාමාජිකයනට ප්‍රබෝධවත් අත්දැකීමක් ලබාදීමට “අමා දහර” බොදු බැති ගී ප්‍රසංගය සමත් විය.

ලංකා බැංකු පාර්ලිමේන්තු ශාඛාව මේ උත්සවය සඳහා අනුග්‍රාහකත්වය දැක්වීය.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks