පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2006-12-22
ගරු කථානායකතුමා විසින් ආරම්භ කර ක්‍රියාවට නංවන ලද නත්තල් බැති ගී උත්සවය පසුගිය දෙවසරට වඩා 2006 වසරේදී වෙනස් ආරක් ගත්තේය. මෙවර උත්සවය “දියවන්නා නත්තල් ගී මිහිර 2006” යනුවෙන් විශේෂයෙන් නම් කරන ලද අතර, යුගයේ අවශ්‍යතාවක් සපුරාලමින් ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තුව ඒකාබද්ධව එය සංවිධානය කෙළේය.
සුපුරුදු පරිදි, එළිමහනේ පැවැති ප්‍රධාන බැති ගී මෙහෙයට පෙර නත්තල් ආගමික පිළිවෙත පැවැත්විණි. අති උතුම් ඔස්වලඩ් ගෝමිස් අගරදගුරු හිමියන් ප්‍රධාන කතෝලික පූජකවරුද අන්‍යාගමික පූජ්‍ය පක්ෂය සහ මැති ඇමතිවරුද මෙම අවස්ථාවට සහභාගී වූහ. ප්‍රධාන ආරාධිතයා ජනපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය වූ අතර ගරු කථානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර, ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය ගරු අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුද තවත් සම්භාවනීය අමුත්තෝ රැසක්ද සහභාගී වී සිටියහ. පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයීය කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝද පැමිණ සිටියහ.
වැඩසටහනේ පළමු භාගයේදී ඉතා අර්ථවත් සහ ප්‍රසිද්ධ සිංහල හා දෙමළ බැති ගී සමඟින් නත්තල් ආගමික පිළිවෙත් පැවැත්විණි. ඉන්පසුව විශේෂ යාඥා ඔප්පු කරන ලද අතර සජීවී ගවලෙන එහි පැමිණි කාගේත් අවධානය දිනාගත් මනහර අංගයක් විය.
මෙවර තවත් වැදගත් සිදුවීමක් වූයේ, ජාතික සාහිත්‍ය සම්මානයකින් පිදුම් ලැබූ බෙනඩික්ට් ජෝසෆ් පියතුමා විසින් රචිත “නත්තල් සිරිත සමඟින් කතෝලික සභාවේ හෙට දවස” නම් කෘතිය එළිදක්වනු ලැබීමයි. නත්තල් මෙහෙය අතරතුරේදී පැමිණ සිටි සම්භාවනීය අමුත්තන්හට මේ පොත් බෙදා දෙන ලදී. ආගමික පිළිවෙත්වලින් පසු , “දියවන්නා නත්තල් ගී මිහිර” යන නාමය සැබවින්ම සාක්ෂාත් කරමින් විචිත්‍රවත් බැති ගී මෙහෙයක් ආරම්භ විය.
වෙහෙසකාරී අයවැය සමය තුළ ඉටුකළ සේවාව වෙනුවෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා රාත්‍රී භෝජන සං ග්‍ර හයක්ද සූදානම් කර තිබීම කැපී පෙනිණි. ආප්ප, කෙටි ආහාර හා වෙනත් නොයෙකුත් රසවත් ආහාරවලින් පැමිණ සිටි සියලු දෙනාටම සංග්‍රහ කෙරිණි. “නත්තල් සීයා” ගේ පැමිණීම, විශේෂයෙන්ම කුඩා ළමයින්ගේ හදවත් සතුටින් හා ප්‍රමෝදයෙන් පුරවාලන්නක් විය. මීට අමතරව කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ දරුවන්හට ලොකුබණ්ඩාර මහත්මියගේ අතින් වටිනා ත්‍යාගද පිරිනැමිණි. මෙම නත්තල් සැමරුම සතුට, සමාදානය හා සැදැහැවත් හැඟීම් මුසු වූ වටිනා එකක් බව කාගේත් අදහස විය.
උත්සවයේ සියලු කටයුතු වීඩියෝ මගින් පටිගත කර ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනි සේවා ඔස්සේ නත්තල් දින සහ ඊට පසුදින විකාශය කරන්නට යෙදුණි.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks