2007-05-01
උට්ඨානෙනප්පමාදෙන - සංයමෙන දමෙනච
දීපං කයිරාථ මෙධාවී - යං ඔඝො නාභිකීරති
“නුවණැත්තා නැඟී සිටි වීර්යය, අප්‍රමාදය, තැන්පත්කම, ඉන්ද්‍රිය දමනය යන මෙකී දෙයින් කෙලෙස් සැඩ පහරට යට නොවන දිවයිනක් තනා ගන්නේය”
(ධම්ම පදය - අප්‍රමාද වර්ගය)
2007 වර්ෂයේ වෙසක් උත්සවය නිමිත්තෙන් ගරු කථානායකතුමාගේ නිල නිවසේදී, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී සහ දියවන්නා ඔය අසබඩදී ආගමික වැඩසටහන් මාලාවක් පවත්වන්නට යෙදුණි . ප්‍රතිපත්තිමය පූජාවන්ට මුල් තැන දෙමින් පැවැත්වුණු මෙකී වැඩසටහන් මාලාව “දියවන්නා වෙසක් උදානය ” නම් විය. ශීල සමාදානය , බුද්ධ පූජා , භාවනා වැඩසටහන් , ධර්ම සාකච්ඡා , ධර්ම දේශනා ආදියෙන් සමන්විත මේ වැඩසටහන් සඳහා පාර්ලිමේන්තු හා අ නෙකුත් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝද , පාසල් දරු දැරියෝද ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
පෝදින උදෑසන පැමිණ සිටි උවැසි උවැසියන් අෂ්ටාංග උපෝසථ ශීලයෙහි පිහිටුවීම හා උදෑසන බුද්ධ පූජාව මෙහෙයවීම සිදු කළේ පූජ්‍ය සද්ධර්මසූරි ආචාර්ය වලේබොඩ ගුණසිරි නාහිමියන්ය. එය සිදුකෙරුණේ කථානායක නිල නිවස පරිශ්‍රයේ වැඩ සිටිනා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදීය. උදෑසන වරුවේ මුල්ම ධර්ම දේශනාව පවත්වන ලද්දේ අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනායක හිමියන් විසිනි. ඒ, වෙසක් පොහොය දිනය ලාංකිකයනට වැදගත් වන ආකාරය මාතෘකා කොට ගෙනයි. උදෑසන දානයෙන් පසු නිල නිවස ගෙවත්තේ ඔසු පැළ රෝපණයක්ද, ඉන් අනතුරුව නිල නිවස තුළ බුදු පිළිම ප්‍රදර්ශනයක් විවෘත කිරීමද සිදුකෙරුණි. අරලියගහ මැදුරේ සිට විකාශනය වූ සජීවි ධර්ම දේශනාවට සවන් දුන් පිරිස ඉන් අනතුරුව යොමුවූයේ පූජ්‍ය කරවිලකොටුවේ ධම්මතිලක හිමියන් විසින් මෙහෙයවූ භාවනා වැඩසටහනටය. ඉනික්බිති පැවැති දහවල බුද්ධ පූජාව මෙහෙයවූයේද උන්වහන්සේයි. බුද්ධ පූජා පිංකම නිමා වීමත් සමඟම භික්ෂූන් වහන්සේ අඩසිය නමක් පමණ නිල නිවස පරිශ්‍රයට පිණ්ඩපාතයේ වැඩි අතර කථානායකතුමා ඇතුළු සිල්ගත් පිරිස අතින් උන්වහන්සේලාට දානය පිළිගැන්විණි.
දහවල දානයෙන් පසු එළඹි කාලය විවේකයෙන් ගතවූවක් විය. මෙහිදී කථානායකතුමා ශීල සමාදානයේ පිහිටි පිරිසට “ධම්මපදය” හා “ශ්‍රද්ධාංජලී” යන පොත් බෙදා දුන්නේය. ඉන් අනතුරුව ධම්මතිලක හිමියන්ගේ ධර්ම දේශනාව හා භාවනා වැඩසටහනත්, “දොරමඬලාව” ධර්ම සාකච්ඡාමය වැඩසටහනත් පවත්වන්නට යෙදුණි. “දොරමඬලාවේ” විද්වත් සභාව හොබවනු ලැබුවේ පූජ්‍යපාද පිටිදූවේ සිරිධම්ම හිමියන්, පූජ්‍ය කරවිලකොටුවේ ධම්මතිලක හිමියන්, මහාචාර්ය සුමනදාස ගල්මන්ගොඩ මහතා සහ ගරු කථානායකතුමා විසිනි. එම වැඩසටහන ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ සජීවි ලෙස විකාශය කෙරුණු අතර සිල්ගත් පිරිස ඒ සඳහා ඉතා උනන්දුවෙන් සහභාගී වූහ. පූජ්‍ය රාජකීය පණ්ඩිත රදාවඩුන්නේ ඥානවිමල හිමියන් විසින් සවස ධර්ම දේශනාව පවත්වන ලද අතර එය අවසානයේදී නිල නිවස පරිශ්‍රයේ වැඩ සිටිනා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස ගිලන්පස බුද්ධ පූජාවක්ද පැවැත්විණි.
සිල් පවාරණය හා සවස බෝධි පූජාව පැවැත්වූයේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ වැඩ සිටිනා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදීය. මේ සඳහා කථානායක නිල නිවසේ සිට පාර්ලිමේන්තු සංකීර්ණය දක්වා පිරිස පැමිණියේ පෙරහරිනි. පූජ්‍ය ඇලිකේවෙල ශීලානන්ද හිමියන් විසින් බෝධි පූජා පිංකම මෙහෙයවන ලද අතර එම අවස්ථාවට කථානායකතුමා ඇතුළු මැති ඇමතිවරුද සහභාගී වූහ.
සවස් යාමයේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය හා දියවන්නා ඔය ආශ්‍රීතව වැඩසටහන් රැසක් සංවිධානය වී තිබුණි. භක්ති ගීත, දන්සල හා වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය ඒ අතර ප්‍රධාන තැනක් ඉසිලීය. ඉන් මුලින්ම විවෘත කෙරුණේ වෙසක් පහන් කූඩු හා සැරසිලි ප්‍රදර්ශනයයි. පාසල් දරු දැරියන්ගේ නිර්මාණවලින් සමන්විත වූ ප්‍රදර්ශනය පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයට ඉමහත් අලංකාරයක් එක් කළේය. ඉනික්බිති ආප්ප හා බත් දන්සැල විවෘත කෙරුණේ කථානායකතුමන් හා පැමිණ සිටි සම්භාවනීය අමුත්තන් විසිනි. කඩුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ සුනිල් ට්‍රේඩර්ස් අධිපති සුනිල් මුතුමාල මැතිතුමා විසින් මේ සඳහා අනුග්‍රාහකත්වය දරන ලදී. රැස්ව සිටි කාගේත් අවධානය යොමු වූ භක්ති ගීත සංදර්ශනය පැවැත්වුණේ ඉන් අනතුරුවයි. දියවන්නා ඔයේ යාත්‍රාවක් මත සකස් කරන ලද මණ්ඩපයක සිට මෙම භක්ති ගීත ගායනා පැවැත්විණි. විදුලි ආලෝකයෙන් අලංකාරවත් කර දියවන්නා ඔය මධ්‍යයේ ස්ථානගත කොට තිබූ එකී යාත්‍රාව අතිශය සුන්දර දසුනක් විය. ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ආයතනවල හා නාවික හමුදාවේ භක්ති ගීත කණ්ඩායම් විසින් බැති ගී ගායනය සිදුකරන ලද අතර, ඒ සඳහා සංගීතය සපයන ලද්දේ නාවික හමුදා තූර්ය වාදක මණ්ඩලයයි. මේ වැඩසටහන නැරඹීම සඳහා කථානායකතුමා ප්‍රධාන මැති ඇමතිවරු රැසක්ද සහභාගී වී සිටියහ.
මෙදින උදෑසන සිට සවස් කාලය දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් පැවැත්වූ “සාරධර්ම පිළිබඳ වැඩමුළුව” ගැනද මෙහිලා සඳහන් කිරීම වටී. පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලය, ආගමික කටයුතු හා සදාචාර වර්ධන අමාත්‍යාංශය, ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය, කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය අනුශාසක කාර්යාලය සහ කලා මණ්ඩලය හා එක්ව කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කමල් වලේබොඩ මහතා විසින් සංවිධානය කෙරුණු මේ වැඩසටහනට අනුග්‍රාහකත්වය දැක්වූයේ බෞද්ධ ව්‍යාපාරිකයන්ගේ සහ වෘත්තිකයන්ගේ සම්මේලනයයි. දේශන, අනුශාසනා, බෞද්ධ සංස්කෘතික අංගවලින් යුත් වැඩසටහන්, ධර්ම සාකච්ඡා හා භාවනා වැඩසටහන් ආදියෙන් සමන්විත මෙම වැඩමුළුව ඉතා පරිපූර්ණ එකක් විය.
වෙසක් පෝදින විවෘත කෙරුණු පහන් කූඩු හා සැරසිලි ප්‍රදර්ශනය, වෙසක් දන්සැල සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා විසින් මෙහෙයවනු ලැබු පාසල් දරු දැරියන්ගේ භක්ති ගීත සංදර්ශනයද ඊට පසු දින පවත්වන්නට යෙදුණි. 2551 වන සම්බුදු තෙමඟුල වෙනුවෙන් දියවන්නා වෙසක් කලාපයේදී පැවැත්වුණු මෙම වැඩසටහන් මාලාව අති උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ බෞද්ධ සංගමය, ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ආගමික කටයුතු හා සදාචාර වර්ධන අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ආදී රාජ්‍ය ආයතනවලින්ද, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව, කඩුවෙල ප්‍රාදේශීය සභාව, මහරගම නගර සභාව යන පළාත් පාලන ආයතනවලින්ද, ලැබුණු සහයෝගය හා මඟ පෙන්වීම අතිමහත්ය. උත්සවය සඳහා ස්වාධීන රූපවාහිනී සේවයෙන් ලබාදුන් මාධ්‍ය අනුග්‍රාහකත්වයද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.