පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2008-05-19
උදෑසන ලහිරු කිරණින් කථානායක නිල නිවස ගෙවත්ත එළිය වන්නට විය. දියවන්නාවේ දිය පිස එන සීතල මද නලත් සමඟ අවට පරිසරයේ මල් සුවඳ ද මුසු වේ. කුරුල්ලන්ගේ ගී නදින් වටාපිටාවම පිරී ඇත. පංචේන්ද්‍රියම ස්පර්ශ කරන්නා වූ සංවේදනයන් බොහෝ ය. සුදු වතින් සැරසුණු පිරිස මෙහි රැස්ව සිටින්නේ ඉන්ද්‍රිය දමනයෙන් දවස ගත කිරීමටයි.
2008 මැයි මස 19 වැනි වෙසක් පෝ දින උදෑසන ගරු කථානායකතුමාගේ නිල නිවස පරිශ්‍රයේ දක්නට ලැබුණු දර්ශනයයි මේ. පෙර දෙවසර මෙන්ම මේ වසරේ ද 2552 වැනි වෙසක් මංගල්‍යය වෙනුවෙන් කථානායක නිල නිවස හා පාර්ලිමේන්තු පරිශ්‍රය ආශ්‍රිතව ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබුණි.
පූජ්‍ය ආචාර්ය වලේබොඩ ගුණසිරි හිමියන් විසින් පැමිණ සිටි පිරිස අෂ්ඨාංග උපෝසථ ශීලයෙහි පිහිටුවීම හා උදෑසන බුද්ධ පූජාව මෙහෙයවීම සිදුකැරිණි. අනතුරුව ශීලයෙහි පිහිටි පිරිසට කෝට්ටේ හා මහරගම නගර සභාවන් හි සභාපතිනියන් විසින් හීල් දානය පිළිගැන්වීම සිදුවිය. ඉනික්බිති පෙහෙවස් සමාදන් වූ උවැසි උවැසියන් චිත්ත සමාධිය ඇති කරගනු පිණිස පෙරවරු කාලය භාවනානුයෝගීව ගත කළහ. ධම්ම චක්කප්පවත්තන සූත්‍ර දේශනාව සියලුම උපාසක උපාසිකාවන් විසින් සජ්ඣායනා කිරීමෙන් පසු පූජ්‍ය කරවිලකොටුවේ ධම්මතිලක හිමියන්ගේ මූලිකත්වයෙන් දහවල බුද්ධ පූජාවට පෙර අඩ හෝරාවක පමණ කාලයක් ධම්මපදය සජ්ඣායනා කැරිණි. මෙහිදී ධම්මපද පුස්තක බෙදා දුන් අතර අනාගතයේ දී ධම්මපද සමාජයක් බිහිකරලීම මෙමඟින් බලාපොරොත්තු වේ.
දහවල දානයෙන් පසු පෙහෙවස් සමාදන් වූ වැඩිහිටි සිල්වතුන් ප්‍රධාන පාසල් ළමුන් කණ්ඩායම් එක්ව ලෝවැඩ සඟරාවේ කවි ගායනා කිරීම සිදුවිය. ඉනික්බිති පැවැති භාවනා වැඩසටහන කරවිලකොටුවේ ධම්මතිලක හිමියන් විසින් මෙහෙයවන ලද අතර භාවනාවෙන් පසු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය මඟින් ප්‍රචාරය වන “දිනුවා නම් දෙලොවම දිනුවාමයි” පෝ දා දහම් වැඩසටහන විකාශය කැරිණි. “පුහුදුන් බව ඉක්මවා යෑම” මැයෙන් පැවැති එකී වැඩසටහනට පූජ්‍ය කොස්වත්තේ අරියවිමල හිමියන් සමඟින් ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි මහතා සහභාගී වූ අතර එය මෙහෙයවූයේ ගරු කථානායකතුමන් විසිනි. මෙවර වෙසක් සැමරුම වෙනුවෙන් සම්පාදනය කරන ලද “චිත්ත සමාධි” වෙසක් කලාපය කථානායකතුමා විසින් පූජ්‍ය දේවාලේගම මේධානන්ද හිමියන් ඇතුළු පිරිසට පිළිගැන්වීමෙන් අනතුරුව “දොරමඬලාව” සජීවී විශේෂ ධර්ම සාකච්ඡාමය වැඩසටහන ආරම්භ විය. මෙහි විද්වත් සභාව පූජ්‍ය දේවාලේගම මේධානන්ද හිමියන්, පූජ්‍ය කරවිලකොටුවේ ධම්මතිලක හිමියන් හා ගරු කථානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා විසින් හොබවනු ලැබූ අතර අවසන රැස්ව සිටි සැදැහැවතුන්ගේ ප්‍රශ්න සඳහා ද කාලය වෙන් කැරිණි. මෙම වැඩසටහන පටිගත කර එදිනම රාත්‍රි දහයට ස්වාධීන රූපවාහිනි සේවය මඟින් විකාශය කරන ලදී.
කථානායක නිල නිවසේ බෝධීන් වහන්සේ අභියස සවස ගිලන්පස බෝධි පූජාව පැවැත්වූ සියලුම උවැසි උවැසියෝ සක්මන් භාවනාවෙන් පට්ඨාන දේශනාව කරමින් පාර්ලිමේන්තු පරිශ්‍රයේ රෝපිත බෝධීන් වහන්සේ වෙත පැමිණියහ. එහිදී ධම්ම චක්කප්පවත්තන සූත්‍රය සජ්ඣායනා කිරීමෙන් අනතුරුව සිල් පවාරණය හා බෝධි පූජාව පැවැත්වීම ද පිරිත් තුන් සූත්‍රය සජ්ඣායනය ද සිදුකැරිණි.
සවස් යාමයේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය ආශ්‍රිතව වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබුණි. ඉන් මුලින්ම ආරම්භ වූයේ පාසල් දරු දැරියන්ගේ වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය හා තරඟයයි. එම ප්‍රදර්ශනය වෙසක් පොහෝ දිනට පසු දින ද පැවැත්විණි. වෙසක් මහා බත් දන්සැල විවෘත වූයේ ඉන් අනතුරුවය. ඒ කථානායකතුමා ඇතුළු මැති ඇමතිවරු රැසකගේ සහභාගීත්වයෙනි. පසුගිය වසරේ මෙන්ම මෙවර ද දන්සැල සඳහා අනුග්‍රාහකත්වය දරන ලද්දේ සුනිල් ට්‍රේඩර්ස් අධිපති සුනිල් මුතුමාල මහතා ය. එකවර දහසකට පමණ ආහාර ගත හැකි අයුරින් සකස් කර තිබූ මෙම දන්සැලට සන්ධ්‍යා වරුවේ සිට එළිවන තුරු දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී වූහ.
දිනයේ අවසන් අංගය වූ භක්ති ගීත ගායනා අනතුරුව ඇරැඹිණි. මේ සඳහා බස්නාහිර පළාත් සභාවේ සමාජසේවා දෙපාර්තමේන්තුව මඟින් පවත්වන ලද පැරැණි ජනප්‍රිය බොදු ගී තරඟාවලියේ දී පළමු, දෙවන හා තෙවන ස්ථාන දිනා ගත් වැඩිහිටියන්ගේ ගායනා වාද්‍ය වෘන්දය, දේවි බාලිකා විද්‍යාලයේ වාද්‍ය කණ්ඩායම ඇතුළු පාසල් දරු දැරියන් පිරිසක් සහභාගී වූහ. “දියවන්නා වෙසක් බැති ගී සරණිය” යනුවෙන් නම් කළ පාසල් දරු දැරියන්ගේ භක්ති ගීත ගායනා මෙහෙයවනු ලැබූවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා විසිනි.
මේ අතර, මෙදින උදෑසන සිට සවස් කාලය දක්වා පාර්ලිමේන්තුවේ අනුස්මරණ ශාලාවේදී විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායක නායිකාවන් වෙනුවෙන් "ශිෂ්‍ය නායක පුහුණු“ වැඩසටහනක් පැවැත්විණි. විශ්වවිද්‍යාල සිසු සිසුවියන් සියයක් පමණ සහභාගී වූ මෙම වැඩමුළුව සංවිධානය කරන ලද්දේ පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලය, විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය අනුශාසක කාර්යාලය, කලා මණ්ඩලය හා බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමය විසිනි. මෙම වැඩමුළුවට දේශනා, අනුශාසනා, ධර්ම සාකච්ඡා හා භාවනා වැඩසටහන් ආදිය ඇතුළත් විය.
“දියවන්නාවේ වෙසක් උදානය - 2008” වැඩසටහන් මාලාව උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ බෞද්ධ සංගමය, ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන හා පූජාභූමි සංවර්ධන අමාත්‍යාංශය ආදී රාජ්‍ය ආයතනවලින්ද, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව, මහරගම නගර සභාව, කඩුවෙල ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතනවලින් ද, ලැබුණු සහයෝගය හා මඟ පෙන්වීම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks