E   |     |  

2008-10-06

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන සරස්වතී පූජාව

නවරාත්‍රී ආගමික උත්සවය අරභයා වාර්ෂිකව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පවත්වනු ලබන සරස්වතී පූජාව පස්වන වතාවටත් මෙම වසරේ දී ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට යෙදින. වීර්ය, ධනය හා අධ්‍යාපනය පතා දුර්ගා, ලක්ෂ්‍මි, සරස්වතී යන දේව මෑණිවරුන් තිදෙනා වන්දනා කිරීමේ මෙකී ආගමික උත්සවය නීති සම්පාදනය කරන්නා වූ උත්තරීතර සභාව වන පාර්ලිමේන්තු වේ දී සියලු රටවැසියාගේ යහපත පතා පැවැත්වීම ගරු කථානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මැතිතුමාගේ කැමැත්ත වේ. එතුමන්ගේ කැමැත්ත පරිදි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේත් හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේත් අනුග්‍රහය ඇතිව මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

මෙකී උත්සවය වෙනුවෙන් ඔක්තෝබර් 6 වැනි දින සඳුදා උදෑසන පාර්ලිමේන්තු ගොඩනැඟිලි සංකීර්ණයේ ඉදිරිපස මණ්ඩපය නන්දි ධජ, ගොක් කොළ සැරසිලි හා කෙසෙල් ගස්වලින් අලංකාර ගන්වා තිබිණි. ඉතාමත් අලංකාර ලෙස සරසා තිබූ අල්තාරයක් මත දුර්ගා, ලක්ෂ්මි හා සරස්වතී යන දේව මෑණිවරුන්ගේ පිළිරූ මල්දම් වලින් සරසා තබා තිබිණි. ආගමික උත්සවයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ කලා වැඩසටහන් සඳහා වෙනම ම විශාල වේදිකාවක් ද තනා තිබුණි.

පෙරවරු 10 ට එස්. බාලමුරුහන්, එම්. ජනකරාජ්, ආර්. ආනන්දගනේෂන්, එස්. සෙන්දිල්නාදන් යන අයගෙන් සමන්විත කණ්ඩායමේ වාද්‍ය සංගීත කටයුතු ආරම්භ කෙරිණි. පූර්වයෙන් සැලසුම් කළ පරිදි අග්‍රාමාත්‍ය ගරු රත්නසිරි වික්‍රමනායක මැතිතුමා සමඟ කථානායක ගරු වි. ජ. මු. ලොකුබණ්ඩාර මැතිතුමාත්, ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු පණ්ඩු බණ්ඩාරනායක මැතිතුමාත්, නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු ආර්. චන්ද්‍රසේකර් මැතිතුමාත්, ගරු අමාත්‍යවරුන් හා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්ප්‍රාප්ත වීම සමඟ විශේෂ පූජා කටයුතු ආරම්භ විය. කොළඹ කපිතාවත්ත ශ්‍රී බාල සෙල්ව විනයාගර් දේවාලයේ එස්. රාධාක්‍රිෂ්ණ කුරුක්කල්, එස්. ජෙයරාම ශර්මා හා කොළඹ බම්බලපිටිය මාණික්ක විනායගර් දේවාලයේ ප්‍රධාන කුරුක්කල් බ්‍රහ්මශ්‍රී සිට්සබේස කුරුක්කල් යනාදී පූජකවරුන් විසින් පූජා කටයුතු පවත්වන ලදී. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු සේවකයින්, ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ සේවකයින්, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ සේවකයින් හා ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහභාගී වූහ.

ආගමික වතාවත් වලින් අනතුරුව කලා වැඩසටහන් ආරම්භ විය. ප්‍රථම කලාංගය වශයෙන් ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ සිට පැමිණ සිටි “දීපාංජලී” කලායතනයේ “කලාරත්නා“ ශ්‍රීමති දීපිකා රෙඩ්ඩි මහත්මියගේ කුච්චුප්පුඩි නර්තනය සහ බන්දේසියක් මත සමබරතාවය රැකගනිමින් ඇය විසින් ඉදිරිපත් කරන ලද එතරම් ප්‍රසිද්ධ නොවන නව නර්තන විලාශය රැස්ව සිටි පිරිස දැඩිව ආකර්ෂණය කරගත්තේය.

ඉන් ඉක්බිතිව, කලා සමර්පණ නෘත්‍යක්ෂේත්‍රා සිසු සිසුවියන්ගේ පන්දාසුරන් නම් අසුරයාට වධහිංසා කිරීමේ අයුරින් නිර්මාණය වී තිබූ "පරාශක්ති" නම් වූ නර්තන නාට්‍යාංගය ඉදිරිපත් කෙරිණි. ප්‍රසාදිනි කුමාරස්වාමි මෙනෙවිය හා එච්. ඒ. සමන්ති හම්සා තිලකරත්න මෙනෙවිය එක්ව මෙම නර්තනය මෙහෙයවා තිබුණි.

අවසන් වැඩසටහන වශයෙන් බන්දුල සේනානායක මහතාගේ දියණියන් වන තීක්ෂණා මෙනෙවිය හා අනුත්තරා මෙනෙවිය ද, විද්‍යාශංකර් මහතාගේ දියණිය වූ කෝසලී මෙනෙවිය ද එක්ව "මෝහනවර්ණම්" නම් නර්තනය ඉදිරිපත් කරන ලදී. නැගී එන මෙකී දැරියන්ගේ නර්තනය සියලු දෙනාගේම ප්‍රසාදයට පාත්‍ර විය.

උත්සවයට සහභාගී වී සිටි සියලු දෙනාටම සිසිල් පැන් ලබාදීමට පියවර ගෙන තිබුණි. එසේම, සහභාගී වී සිටි සියලු දෙනාටම හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කරන ලදුව දෙහිවල නෙඩුමාල් දේවාලයේ පරිපාලක සභාව විසින් පිළියෙල කරන ලද ප්‍රණීත "ප්‍රසාදම්" ලබාදෙන ලදී.

වීර්ය, ධනය හා අධ්‍යාපනය පතා දුර්ගා, ලක්ෂ්මි, සරස්වතී යන දේව මෑණිවරුන් තිදෙනා වන්දනාමාන කිරීමේ නවරාත්‍රී දිනයන්හි දී සරස්වතී දේව මෑණියන්ගේ කරුණාවෙන් සපිරි අපගේ සංස්කෘතික සාරධර්මයන්හි අනන්‍යතාවන් ආරක්ෂා කිරීම සඳහාත්, අපගේ රටට වර්තමානයේ දී අවශ්‍ය වී තිබෙන සාමය හා සමාදානය ප්‍රාර්ථනා කරමින් පවත්වන ලද ලෞකික මහෝත්සවයක් වශයෙන් සරස්වතී පූජාව සාර්ථකව පැවැත්වුණි.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks