පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2008-12-23
සුපුරුදු උත්සවශ්‍රීයෙන් යුක්තව “ දියවන්නා නත්තල් ගී මිහිර - 2008“ වැඩසටහන දෙසැම්බර් මස 23 වැනි දින පැවැත්විණි. මේ වර්ෂයේ පූජාව පැවැත්වූ පිළිවෙළෙහි වෙනසක් විය. ගරු කථානායකතුමාගේ නිල නිවසේ ප්‍රධාන ගොඩනැගිල්ල වෙනුවට නත්තල් බැති ගී මෙහෙය එළිමහනේ ප්‍රධාන වේදිකාවේ පැවැත්වීම වඩාත් හොඳ ඉදිරිපත් කිරීමක් විය.
මෙහෙයේ පළමු අංගය වූයේ ප්‍රධාන ආරාධිතයා වූ කොළඹ අගරදගුරු අති උතුම් ඔස්වලඩ් ගෝමිස් හිමියන් විසින් ආසිරි පැන් ඉස කථානායක නිල නිවසට ආශිර්වාද කිරීමයි. ඉන්පසු පෙරහැර ආරම්භ විය. පුදසුන් සේවකයින්, පූජකවරුන්, ගරු කථානායකතුමා හා අගරදගුරුතුමන් පෙරහැරේ පැමිණියහ. ඉනික්බිති ගරු බෙනඩික්ට් ජෝසෆ් පියතුමන්ගේ විස්තර ප්‍රකාශයකින් දේව මෙහෙය ආරම්භ විය. අදාළ බයිබලීය පාඨ කියවන ලද්දේ ප්‍රවීණ ගායක ශිල්පී අයිවෝ ඩෙනිස් මහතා සහ කණ්ඩායම ජාකොමේ ගොන්සාල්වේස් පියතුමා විසින් රචිත ‘ආරම්භෙන් පෙර’ නම් සන්ධිස්ථානාත්මක ගීතිකාව ගායනා කිරීමත් සමඟම ය.
ජේසු බිලිඳාගේ උපත පිළිබඳ ශුභාරංචි පුවත ගරු සමන් මැක්සිමස් පියතුමා විසින් ගායනා කිරීමෙන් පසු මගුල් බෙර හඬ හා වෙස් නැටුම් මධ්‍යයේ සජීවී ගවලෙන වේදිකාව කරා පිවිසුණි. මෙය සැබවින්ම ආගමික වැඩසටහනේ ඉතා වර්ණවත් අවස්ථාවක් විය. සජීවී ගවලෙන වේදිකාවට එළැඹීමෙන් පසු ප්‍රධාන ආරාධිතයා වූ අගරදගුරු අති උතුම් ඔස්වලඩ් ගෝමිස් හිමියන් සිය නත්තල් පණිවිඩය හා නත්තල් ආශිර්වාදය පිරිනැමීය. සුපුරුදු පරිදි මේ වර්ෂයේ ද මෙම උත්සවය වෙනුවෙන් විශේෂ නත්තල් ප්‍රකාශනයක් එළි දැක්වුණි. ගරු ජෝසෆ් බෙනඩික්ට් පියතුමා විසින් නැවතත් “මොසැසි පෙරේරා මාහිමි” නම් කෘතිය පිළිගන්වන ලදී. මේ දක්වා මෙම උත්සවය වෙනුවෙන් විශේෂ කෘති තුනක් පළ කර තිබේ. ඒ සමඟින් “ දියවන්නා නත්තල් ගී මිහිර - 2008“ වැඩසටහනේ පළමු භාගය අවසන් වූයේ දෙවන භාගය වූ නත්තල් බැති ගී ප්‍ර සංගයට ඉඩ සලසා දෙමිනි.
සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සේවය ආදී ආයතන නියෝජනය කළ බැති ගී කණ්ඩායම්වලට අමතරව වෙනත් ගීතිකා කණ්ඩායම් ද බැති ගී ඉදිරිපත් කළහ. ප්‍රථම වතාවට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය සාමාජිකයන්ගේ දරු දැරියන්ගෙන් සැදුම්ලත් ගීතිකා කණ්ඩායමක් ද මේ සඳහා ඉදිරිපත් විය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජිත ගාමිණී විජේසේකර මහතා විසින් ඔවුන් පුහුණු කරනු ලැබුණි.
මෙම උත්සවයට ගරු කථානායකතුමා, ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය, සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා, ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අනෙකුත් සම්භාවනීය අමුත්තන් සහ පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ ද සහභාගී වී සිටියහ.
සැබෑ නත්තල් සැමරුමට පෙර නත්තලේ ජීවගුණය හා අර්ථය හඳුන්වා දෙමින් ගරු කථානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතාගේ ආරාධනයෙන් කථානායක නිල නිවසේ පැවැත්වුණු මෙම විශේෂ සිදුවීම වර්ධනය වී ඇති ආකාරය ඉතා ප්‍රශංසනීය වේ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks