පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2009-05-08
සම්බුදු තෙමඟුල නිමිත්තෙන් ගරු කථානායකතුමාගේ නිල නිවසේ දී හා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සංවිධානය කැරෙන "දියවන්නාවේ වෙසක් උදානය" වැඩසටහන මෙවර ද පැවැත්විණි. ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් පැවැත්වුණු මේ වැඩසටහන් සඳහා පාසල් දරු දැරියන් හා විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
පෝ දින උදෑසන නිල නිවස පරිශ්‍රයේ පැමිණ සිටි පිරිස අෂ්ඨාංග උපෝසථ ශීලයෙහි පිහිටුවීම හා උදෑසන බුද්ධ පූජාව මෙහෙයවීම සිදු කැරුණේ මයුරපාද පිරිවෙන්වාසී පූජ්‍ය පණ්ඩිත සෙනරත්පුර ධම්මාලංකාර හිමියන් විසිනි. අනතුරුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් පෙහෙවස් සමාදන් වූ උවැසි උවැසියන්ට හීල් දානය පිරිනැමුණි. අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනායක හිමියන්ගේ ධර්ම දේශනය පැවැත්වුණේ ඉන්පසුවය. "සිතේ ස්වභාවය" පිළිබඳව ධම්මපද ගාථා පාඨයක් තේමා කොට ගනිමින් උන්වහන්සේ දේශනාව පැවැත්වූහ. ඉනික්බිති භාවනාව ද, දහවල් බුද්ධ පූජාව ද මෙහෙයවනු ලැබුවේ පූජ්‍ය රාජකීය පණ්ඩිත කරවිලකොටුවේ ධම්මතිලක හිමියන් විසිනි. විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාගේ අනුග්‍රාහකත්වයෙන් කෝට්ටේ මහ නගර සභාව විසින් සිල්ගත් පිරිස වෙනුවෙන් දහවල දානය පිරිනමන ලදී. දහවල් දානයෙන් පසු කරවිලකොටුවේ ධම්මතිලක හිමියන්ගේ මෙහෙයවීමෙන් ධම්මපද සජ්ජායනාවක් පැවැත්වුණි. මෙහිදී ධම්මපදයේ යමක වග්ගයේ ගාථාවන්හි අර්ථයන් පහදා දීම ද සිදු විය.
ඉන් අනතුරුව විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් සංවිධානය කැරුණු සාරධර්ම පිළිබඳ වැඩමුළුවට සහභාගී වීම සඳහා ඔවුහු පාර්ලිමේන්තු පරිශ්‍රය ට නික්ම ගියහ. ඔවුන් එහිදී භාවනා, ධර්ම දේශනා, දේශන ආදියට සහභාගී විය. මේ අතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය මඟින් ප්‍රචාරය වන "දිනුවානම් දෙලොවම දිනුවාමය" පෝදා දහම් වැඩසටහන කථානායක නිල නිවසේ දී විකාශය කැරිණි. ඉනික්බිති ආරම්භ වූයේ "දොරමඬලාව" ධර්ම සාකච්ඡාමය වැඩසටහනයි. පූජ්‍ය දේවාලේගම මේධානන්ද හිමියන්, මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා සහ ගරු කථානායකතුමා වැඩසටහනේ විද්වත් සභාව හෙබවූ අතර රැස්ව සිටි පිරිසගේ ප්‍රශ්න සඳහා ද කාලය වෙන් කැරුණි. මෙම වැඩසටහන පටිගත කර පසුවදා ස්වාධීන රූපවාහිනී සේවය මඟින් විකාශය කරන ලදී.
සවස ගිලන්පස බුද්ධ පූජාව කථානායක නිල නිවසේ බෝධීන් වහන්සේ අභියස දී පැවැත්වූ පිරිස, 'පට්ඨාන සක්මන් භාවනාවෙන්' පාර්ලිමේන්තු පරිශ්‍රයේ රෝපිත බෝධීන් වහන්සේ අභියසට පැමිණියහ. එහිදී කරවිලකොටුවේ ධම්මතිලක හිමියන්ගේ මෙහෙයවීමෙන් සිල් පවාරණය හා බෝධි පූජාව සිදු කැරිණි.
මෙලෙසින් 2009 වර්ෂයේ "දියවන්නාවේ වෙසක් උදානය" නිමාවට පත්විය. මෙම වැඩසටහන සාර්ථකව සංවිධානය කිරීම සඳහා නොයෙකුත් රාජ්‍ය ආයතන වලින්ද, පළාත් පාලන ආයතන වලින්ද, නන් අයුරින් සහයෝගය දැක්වූ සංවිධාන සහ පුද්ගලයින්ගෙන් ද ලැබුණු සහයෝගය හා මඟ පෙන්වීම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වේ.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks