04

E   |     |  

 දිනය: 2017-08-22   පිළිතුර ලබා දී ඇත 

1682/2017: ඩී.එම්. ජයතිස්ස මහතා: යළි සේවයේ පිහිටුවීම

ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා,— නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      ඔක්කම්පිටිය, කඳුරුවැලෑන පදිංචි ඩී. එම්. ජයතිස්ස මහතා, 1983 වර්ෂයේදී පොලිස් සේවයට බැඳී පො. කො. 5439 දරන නිල අංකය යටතේ සේවය කළ බවත්;

             (ii)      ඔහු පොලිස් විශේෂ කාර්යය බලකායේ වසර 09ක කාලයක් අම්පාර, මඩකලපුව ප්‍රදේශවල සේවය කර ඇති බවත්;

(iii) 1994 වර්ෂයේදී අසත්‍ය චෝදනාවක් මත පොලිස් සේවයෙන් ඉවත් කිරීම පිළිබඳව, පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු, නැවත සේවයේ පිහිටුවන ලෙස කළ නියෝගය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අවස්ථා 03ක දී නැවත ඉදිරිපත් කරන ලද පෙත්සම් සලකා බලා ඔහු‍ වෙත අසාධාරණයක් සිදුවී ‍ඇති බව මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව තීරණය කිරීමෙන් පසුව හිඟ වැටුප් සහිතව රැකියාව ලබා දෙන ලෙස කළ නියෝගයද ක්‍රියාත්මක නොවූ බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ‍නැවත සේවයේ පිහිටුවන ලෙස කාරක සභාවෙන් අවස්ථා 03කදී කරන ලද ඉල්ලීම් පැහැර හැරීම ඔහුට කරන ලද බලවත් අසාධාරණයක් බව පිළිගන්නේද;

(ii) මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ නියෝගය ක්‍රියාත්මක කරමින්,  ජයතිස්ස මහතා නැවත සේවයේ පිහිටුවීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-08-22

අසන ලද්දේ

ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      1984.10.01 දින සිට වසර 08ක කාලයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කර ඇත.

             (iii)      1993.12.04 දින සිදු කරන ලද විනය විරෝධී ක්‍රියාවකට අදාළව පවත්වන ලද විධිමත් විනය පරීක්ෂණය අවසානයේදී නිලධාරියා වරදකරු වීම මත 1994.01.26 දින සේවයෙන් පහකර ඇත. එම විනය නියෝගයට එරෙහිව ඔහු රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කරන ලද අභියාචනයක් එම කොමිෂන් සභාව විසින් 1997.10.07 දින නිශ්ප්‍රභ කර ඇත.

මේ සම්බන්ධයෙන් නිලධාරියා මහජන පෙත්සම් කාරක සභාව වෙත ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කර එම කාරක සභාව විසින් නිලධාරියා නැවත සේවයේ පිහිටුවා සේවයෙන් පහ කළ දින සිට නැවත සේවයේ පිහිටු වූ දින දක්වා කාලයට හිඟ වැටුප් ගෙවන ලෙසට 2006.12.07 දින නිර්දේශ කර ඇත.

නැවතත් මහජන පෙත්සම් කාරක සභාව ඉහත නිර්දේශයම 2012.07.02 දිනැති ලිපිය මඟින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කර ඇත. ඊට අදාළව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිලධාරියාගේ අභියාචනය වසර 15කට පෙර ප්‍රතික්ෂේප කර ඇති බැවින් නැවත සලකා බැලීමේ හැකියාවක් නොමැති බවට 2013.09.27 දිනැතිව මහජන පේතසම් කාරක සභාව වෙත දන්වා යවා ඇත.

නැවත මහජන පෙත්සම් කාරක සභාව විසින් මේ සම්බන්ධයෙන් යොමු කළ ලිපියකට අදාළව අභියාචක වෙත ලබා දුන් තීරණ වෙනස් කළ නොහැකි බවට මහජන පෙත්සම් කාරක සභාව වෙත 2014.09.30 දින දන්වා ඇත.

(ආ) (i) මහජන පෙත්සම් කාරක සභාවේ නිර්දේශය අනුව නිලධාරියා නැවත සේවයේ පිහිටුවිය නොහැකි බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව මහජන පෙත්සම් කාරක සභාවට දන්වා ඇත.

     (ii) රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිලධාරියාගේ අභියාචනය නිෂ්ප්‍රභ කර ඇති බැවින් නිලධාරියා නැවත සේවයේ පිහිටුවීවේ හැකියාවක් නොමැත.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2017-08-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සාගල රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks