පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හේතුවෙන් බරපතල පරිසර දූෂණයක් සිදුවන බවට චෝදනා ඉදිරිපත් වන බව දන්නේද;
(ii) නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් සිදු වන අහිතකර වායු විමෝචනය වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
(iii) නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් පිටවන අළු කළමනාකරණය කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
(iv) නොරොච්චෝලේ බලාගාරයෙන් සිදුවන පරිසර දූෂණය අවම කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරි කාලය තුළ කොපමණ මුදලක් ආයෝජනය කිරීමට අපේක්ෂා කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-06-22
අසන ලද්දේ
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මෙම බලාගාරය ඉදි කිරීමේදී ලංකා විදුලිබල මණ්ඩලය පුළුල් අධ්‍යයනයක් සිදු කර අවශ්‍ය සියලුම අනුමැතියන් ලබා ගෙන ඇත. පාරිසරික බලපෑම් අධ්‍යයන වාර්තාව මඟින් හඳුනාගෙන තිබූ අහිතකර පාරිසරික ගැටලු අවම කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය මඟින් නියම කර ඇති කොන්දේසි මත එම බලාගාරය ඉදි කර තිබෙනවා. ඒ වාගේම ඒ කොන්දේසි ඉදිරියටත් නිසියාකාරයෙන් ඉටු කිරීම පිළිබඳව වගකීමෙන් ලංකා විදුලිබල මණ්ඩලයත්, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයත් කටයුතු කරනවා.
ඊළඟට, (අ) (ii) යටතේ අපේ ගරු මන්ත්‍රීතුමා ඉතා වැදගත් ප්‍රශ්නයක් අසා තිබෙනවා. එම ප්‍රශ්නය යොමු කිරීම පිළිබඳව ඔබතුමාට බොහොම ස්තුතියි. ගරු මන්ත්‍රීතුමනි, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් සිදුවන අහිතකර වායු විමෝචනය වැළැක්වීම සඳහා පියවර ගෙන නැති බවට හුඟාක් චෝදනා නැඟෙනවා.
(ii) පරිසර ඇගයීම් වාර්තාව මඟින් හඳුනාගෙන තිබූ අහිතකර වායු විමෝචන වැළැක්වීම සඳහා පහත ක්‍රියා මාර්ග ගෙන ඇත.
· සල්ෆර් ආශ්‍රිත වායු (SOx) විමෝචනය වීම වැළැක්වීම සඳහා (FGD -Flue Gas Desulfurization- Unit) ඒකකයක් සවි කර ඇත.
· අළු පිටවීම වැළැක්වීමට ස්ථිති විද්යුත් අවක්ෂේපක උපකරණයක් (ESP- Electro Statics Precipitator) සවි කර ඇත.
බලාගාරය සැලසුම් කිරීමේදී අහිතකර වායු විමෝචන අවම කිරීම සඳහා සුදුසු ඉහළ ප්‍රමිතියේ සල්ෆර් අඩු ගල් අඟුරු භාවිත කළ හැකි තාක්ෂණය යොදාගෙන ඇත.
සල්ෆර් අඩු ගල් අඟුරු භාවිත කිරීමටයි අපි කටයුතු කරන්නේ. සෑම අවස්ථාවකම අපේ ටෙන්ඩර් කොන්දේසිවල ඒ පිළිබඳව සඳහන් කර තිබෙනවා.
නයිට්‍රජන් ආශ්‍රිත වායු (NOx) විමෝචනය අවම කිරීමට (NOx) නයිට්‍රජන් වායු අඩුකර නිපදවන දාහක සවි කර ඇත.
ඒ අනුව අහිතකර වායු විමෝචනය අඩු කිරීමට හැකි විද්‍යාත්මකව ගත හැකි හැම පියවරක්ම අපි ගෙන තිබෙනවා, ගරු මන්ත්‍රීතුමනි.
ඊළඟට, ඔබතුමා තවත් ඉතා වැදගත් ප්‍රශ්නයක් අසා තිබෙනවා. මෙම ප්‍රශ්නය මතු කිරීම ගැන ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. මොකද, මේ ගැන ගොඩක් ප්‍රශ්න මතු වුණා.
(iii) නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් පිටවන අළු කළමනාකරණය කිරීම සඳහා පහත සදහන් ක්‍රියා මාර්ග ගෙන ඇත.
අළු විමෝචනය වැළැක්වීමට ස්ථිති විද්යුත් අවක්ෂේපක (ESP - Electro Statics Precipitator) සවිකර ඇත.
ගල් අඟුරු අළු අවට පරිසරයට විසිවීම වැළැක්වීම සඳහා සුළං බාධකයක් ඉදි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇත.
ගරු කථානායකතුමනි, මේ බාධකය ඉදි කිරීම හුඟක් ප්‍රමාද වෙලා තිබෙනවා. නමුත් වර්තමාන රජය බලයට පත් වුණාට පස්සේ ඒ පිළිබඳව අධ්‍යයනය කරලා, ඒ පිළිබඳව මාධ්‍යයන්වලින් ඉදිරිපත් වූ විවේචනත්, ප්‍රදේශයේ ජනතාව ඉදිරිපත් කළ කාරණාත් සලකා බලා, දැනට අපි ටෙන්ඩරයක් නිකුත් කර තිබෙනවා, සුළං බාධකයක් ඉදි කිරීම සඳහා.
සැහැල්ලු අළු (Fly Ash) විසිරීම වැළැක්වීම සඳහා රසායනික ද්‍රව්‍යයක් ඉස එය පාලනය කිරීමට කටයුතු කර ඇත.
සැහැල්ලු අළු (Fly Ash) තමයි ලොකුම ප්‍රශ්නය. ඒ අළු ගොඩ ගැසූ තැන්වල පිළිවෙළට සකස් කරලා ඊට උඩින් රසායනික ද්‍රව්‍යයක් යොදනවා. ඒක හරියටම පොලිතීන් ආවරණයක් යෙදුවා වාගෙයි. ඒක පොලිතීන් නොවෙයි. නමුත් පොලිතීන් ආවරණයක් යෙදුවා වාගේ උඩින් ශක්තිමත් ආවරණයක් සකස් වෙනවා. එතකොට සුළඟට ගසා යාම අඩු වෙනවා.
බලාගාරයට යාබදව ඇති පෞද්ගලික ඉඩම් ලංකා විදුලිබල මණ්ඩලය මඟින් මිල දී ගැනීමටත්, විදුලි බලාගාරය වටා වන ආවරණයක් ඇති කිරීමටත් කටයුතු සිදු කරමින් ඇත.
සැහැල්ලු අළු ආරක්ෂිත ලෙස ගබඩා කර සිමෙන්ති නිෂ්පාදනය සහ අනෙකුත් නිෂ්පාදන සඳහා ලබා දෙමින් පවතී.
මම මේ කාරණය ගැනත් කියන්නට ඕනෑ, ගරු කථානායකතුමනි. දැනටත් ගල් අඟුරුවලින් ඉතිරි වන අළු අපට ගැටලුවක්. බොහොම පැහැදිලිව මේ අළු සිමෙන්ති ගල් නිෂ්පාදනය සඳහා පාවිච්චි කිරීමට පුළුවන්. වැලිවලට ආදේශකයක් වශයෙන් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ නිසා නොරොච්චෝලේ බලාගාරයෙන් ඉවත් කරන අළු ඉතාම සහන ක්‍රමයකට විවිධ ව්‍යාපාරිකයන්ට ලබා දීමට කටයුතු කරනවා. ඕනෑම නිෂ්පාදකයකුට එය විවෘතයි.
(iv) පරිසර දූෂණය වැළැක්වීම සඳහා බලාගාරය සැලසුම් කිරීමේ සිටම විශාල මුදලක් වැය කර තිබෙනවා. මෙම බලාගාරය මීට වඩා අඩු ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු භාවිත කළ හැකි තාක්ෂණයක් යොදා ගෙන ඉදිකිරීමට තිබූ නමුත්, පරිසරය සුරැකීම සඳහා බලාගාරයට Flue Gas Desulphurization Unit 01ක්, ස්ථිති විද්යුත් අවක්ෂේපක උපකරණයක් (ESP - Electro Statics Precipitator), ඒ වාගේම නයිට්‍රජන් (NOx) අඩුවෙන් විමෝචනය කරන ධාහක ආදිය සවි කර ඇත. මීට අමතරව සැහැල්ලු අළු විසිර යාම වැළැක්වීමට රුපියල් මිලියන 950ක ඇස්තමේන්තුගත වියදමින් සුළං බාධකයක් බලාගාරයේ අවශ්‍ය ස්ථානයන්හි ඉදි කිරීමට පියවර ගනිමින් පවතී.
(ආ) ඉහත පිළිතුර අනුව අදාළ වන්නේ නැහැ.
පිළිතුරු දුන් දිනය
2017-06-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks