04

E   |     |  

 දිනය: 2017-07-26   පිළිතුර ලබා දී ඇත 

1582/2017: නාය යෑමේ අවදානමට ලක් වූ වතු : කෑගල්ල දිස්ත්‍රික්කය

1582/’17

ගරු කනක හේරත් මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2016 මැයි මාසයේ දිවයිනට බලපෑ අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් නායගිය හා නායයෑම් අවදානමට ලක් වූ කෑගල්ල දිස්ත්‍රික්කයේ වතු සංඛ්‍යාව කොපමණද;

(ii) එම වතුවල නම් කවරේද;

(iii) අධික වර්ෂාව හේතුවෙන් නායයෑමෙන් හා නායයෑ‍මේ තර්ජනයට ලක් වීමෙන් අවතැන් වූ පවුල් සංඛ්‍යාව කොපමණද;

(iv) අවතැන් වූ පවුල් සඳහා පදිංචියට රජයෙන් ස්ථිරව නිවාස ලබාදී තිබේද;

(v) එසේ නොමැති නම්,  ඔවුන් මේ වනවිට පදිංචිව සිටින ස්ථාන කවරේද;

 (vi) මෙම අවතැන් පවුල් සඳහා රජයෙන් නිවාස ලබාදීම අවසන් කරනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-07-26

අසන ලද්දේ

ගරු කනක හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      වතු සංඛ්‍යාව 14කි. ඒ පිළිබඳ විස්තර ඇමුණුමෙහි සඳහන් වේ. ඇමුණුම සභාගත* කරමි. 

              (ii)      එම වතුවල නම් පහත පරිදි වේ.

 

 

අනු අංකය

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

ග්‍රාම නිලධාරි වසම

වත්තේ නම

අවදානමට ලක් වූ ක්ෂේත්‍ර අංකය හෝ කොටස

01

දෙහිඕවිට

119 හල්ගොඩ

ඩෙන්ස්වර්ත්

145612m 193592m (2014 රබර් වගාව)

02

 

115 බී බොරලන්කඩ

අයිලා

-

03

 

123 බටංගල

වුඩ්න්ඩ්

යෝගමුව

04

 

මඩගම්මන

තලපිටියවත්ත

1984 හා 1986 රබර්

05

 

123 බටංගල

ග්ලාසල්

2008 කොටස

06

 

123 බටංගල

යෝගම

-

07

 

122 ඒ රංගේගම

රංගේගම

2015 කොටස

08

දෙහිඕවිට හා ඇහැළියගොඩ

මාදොල හා 137 බී දිවුරුම්පිටිය

දිව්රුම්පිටිය වත්ත

138039m 190805m

09

බුලත්කොහුපිටිය

කිරිපෝරුව

කිරිපෝරුව

නො. 03 කොටස

10

 

නෙව්ස්මියර් ඉහළ

නෙව්ස්මියර් ඉහළ

අංක 01 කොටස

11

 

නෙව්ස්මියර් ඉහළ

නෙව්ස්මියර් ඉහළ

අංක 05

12

 

උඩපොත

කළුපහන වත්ත

අරන්දර කොටස

13

 

128 පූනාහැල

ඇඳුරාපොලවත්ත

බටහිර කොටස

14

දැරණියගල

වත්තේගෙදර

ඉලුක්තැන්න

-

  (iii)  ආපදා තත්ත්ව වාර්තා අනුව නාය යෑම් හා නාය යෑම් අවදානම් හේතුවෙන් අවතැන් වූවන් ලෙස පවුල් 4853ක ප්‍රමාණයක් හඳුනා ගෙන ඇත. මෙම පිරිස කඳවුරුගත කිරීම් සිදු කර පිසූ ආහාර, වියලි සලාක, අත්‍යවශ්‍ය වෙනත් සහනාධාර ද්‍රව්‍ය ලබා දීම් සිදු කළ අතර, ඉහත හඳුනා ගත් පවුල් අතරින් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් කරන ලද මූලික භූ පරීක්ෂණ මඟින් අධි අවදානම් හා නැවත පදිංචි කළ යුතු පවුල් සංඛ්‍යාව 1965ක් වශයෙන් හඳුනා ගෙන ඇත.

(iv)  ඉහත හඳුනා ගත් අධි අවදානම් පවුල්  1965 අතරින් පවුල් 1941ක් සඳහා 2016.07.26වැනි දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ අංක අමප/16/1457/715/012 සහ 2017.04.04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ අංක අමප/17/0709/715/009 අනුව පදිංචිය  සඳහා පහත සඳහන් පරිදි  නිවාස ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

(අ) රාජ්‍ය අනුග්‍රහය හා ප්‍රතිලාභ ශ්‍රම දායකත්වය යටතේ රජය මඟින් වෙන් කර දුන් ඉඩම් කොටස්වල හා තම පුද්ගලික ඉඩමෙහි පවුල් 997ක් සඳහා නිවාස ඉදිවෙමින් පවතී.

(ආ)  නිවසක් සහිත ඉඩමක් තමා විසින් මිල දී ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරන ලද පවුල් 110ක් සඳහා විශේෂ නිර්ණායක යටතේ ගෙවීම් කිරීමට ද පියවර ගෙන ඇත.

(ඇ) පුද්ගලික / රාජ්‍ය නොවන සංවිධාන අනුග්‍රහය යටතේ නිවාස 201ක් ඉදි කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර, ඒ අතරින් පවුල් 114ක් නිවාසවල පදිංචි කරවීමද පවුල් 17ක්  නිවාස ඉදි කිරීම් අවසන්ව පදිංචි කිරීමට නියමිතවද, පවුල් 70ක් සඳහා ඉඩම් හඳුනා ගැනීම හා හඳුනා ගත් ඉඩම්වල නිවාස ඉදි කිරීම් ආරම්භ කිරීමට ද පියවර ගෙන ඇත.

(v)  ඉහත පරිදි පදිංචි කිරීම් සිදුවන අතර, ස්ථිර පදිංචිය අවසන් කළ පවුල් හැර ඉතිරි පවුල් තම ඥාති නිවෙස්වල හා ඉදි කිරීම සිදුවන රජයේ ඉඩම්වල අර්ධ තාවකාලික නිවාස වෙත යොමු කර ඇත. තවද අරණායක හා බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පිළිවෙළින් ආරක්ෂිත තාවකාලික කූඩාරම් සහිත ස්ථාන 9ක් හා 6ක් වශයෙන් පදිංචි කර ඇත.

(vi )  නිවාස සකස් කිරීම සඳහා මෙතෙක් ක්‍රියාත්මක ක්‍රමවේදය වූයේ අදියර 5ක් යටතේ සම්පූර්ණ නිවාසය ඉදිකිරීමෙන් අනතුරුව පදිංචි කිරීම වුවත්, මෙම ක්‍රමයෙන් බැහැරව නව ක්‍රමවේදයක් යටතේ නිවාස ඉදිකිරීමත්, ඒ අනුව පදිංචිය කඩිනම් කිරීම සඳහාත් අදාළ ඉඩමෙහි සම්පූර්ණ කළ අත්තිවාරම මත වැසිකිළිය සහිතව එක් කාමරයක් ඉදිකොට පදිංචි කරවීමට පියවර ගෙන ඇත. මෙම ක්‍රමවේදය අනුව අවම වශයෙන් මාස 03ක කාලයක් තුළ වැඩ කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන අතර නිවාස තැනීමට අදාළ ඉඩම් අත්පත් කර ගැනීම සඳහා තවදුරටත් පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට අවශ්‍ය පියවරද ගෙන ඇත. එකී ඉඩම් ගැටලු නිරාකරණය කොට අවසන් වීම සඳහා තවත් මාස 02ක පමණ කාලයක් ගතවනු ඇතැයිද ඉන් අනතුරුව එළඹෙන මාස 02ක කාලය තුළ පදිංචිය සඳහා අවශ්‍ය ඉදි කිරීම් අවසන් කිරීමටද හැකි වනු ඇතැයි අපේක්ෂා කරනු ලැබේ.

(ආ) පැන ‍නොනඟී.

පිළිතුරු දුන් දිනය

2017-07-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දුනේෂ් ගන්කන්ද මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks