02

E   |     |  

 දිනය: 2017-03-09   පිළිතුර ලබා දී ඇත 

1465/2017: ගරු මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවන පොලිස් නිලධාරින්: දීමනා

1465/’16

ගරු විමලවීර දිසානායක මහතා,— නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවන පොලිස් නිලධාරින්ට ගමන් වියදම් හා මූලික වැටුපෙන් 1/3ක විශේෂ දීමනාවක් ගෙවනු ලබන්නේද;

(ii) එසේ නම්, විශ්‍රාමික ජනාධිපතිවරයකු වූ ගරු මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක සේවයේ යෙදෙන පොලිස් නිලධාරින්ට එකී දීමනාව 2016 මැයි මස සිට ගෙවීම අත්හිටුවා ඇත්තේ මන්ද;

(iii) සමාන සේවයට සමාන හිමිකම් නොලැබෙන එම පොලිස් නිලධාරින්ට අදාළ දීමනා ලබා දීමට පියවර ගන්නේද;

 යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-03-09

අසන ලද්දේ

ගරු විමලවීර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)         ඔව්.

              (ii)         මෙම 1/3 විශේෂ දීමනාව දෙන්න කටයුතු ආරම්භ කළේ  2002 වර්ෂයේයි. විශේෂ ආරක්ෂක කොට්ඨාසය ස්ථාපිත කිරීමත් එක්ක ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, විශ්‍රාමික ජනාධිපතිවරුන්ට ආරක්ෂාව සපයන ඇමති ආරක්ෂක අංශයේ සේවය කරන නිලධාරින්ට ඔවුන් කරන ඒ විශේෂ ආරක්ෂක කටයුතු නිසා මේ 1/3 දීමනාව ගෙවන්න ආරම්භ කළා. නමුත් ඒ සඳහා යම් කොන්දේසි වගයක් තිබෙනවා. ඒ රාජකාරිය කරන්න අවශ්‍ය සුදුසුකම් තිබෙනවාය කියන එක පෙන්වන්න යෝග්‍යතා පරීක්ෂණ වගයක් සමත් වෙන්න තිබෙනවා. එයින් එක කාරණයක් තමයි වෙඩි තැබීම. අනෙක් ඒවා තමන්ගේ ශාරීරික යෝග්‍යතා. 

විශ්‍රාමික ජනාධිපතිවරුන් වූ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාටත්, ඩී.බි. විජේතුංග මැතිතුමාටත් ඔවුන්ගේ ධුර කාලයෙන් පස්සේ ඇමති ආරක්ෂක අංශය හරහා තමයි ආරක්ෂාව සැපයුවේ.

2005දී ඒ කාරණයේ වෙනසක් වෙන්න පටන් ගත්තා. හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය විශ්‍රාම ගියාට පස්සේ එතුමියගේ ආරක්ෂක කොට්ඨාසය කැබිනට් පත්‍රිකාවක් මඟින් ආවා. ඒ කැබිනට් පත්‍රිකාවේත් සඳහන් වනවා, "යෝග්‍යතා පරීක්ෂණ අවශ්‍යයි" කියලා. අදටත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ආරක්ෂක එකකයේ නිලධාරින් ඒ යෝග්‍යතා පරීක්ෂණවලට ලක් වුණාම තමයි ඒ තුනෙන් එකක                        විශේෂ දීමනාව ගෙවීම අනුමත වෙන්නේ. අගමැතිතුමාගේ ආරක්ෂක ඒකකයේ නිලධාරින්ටත් එහෙමයි; ඇමති ආරක්ෂක ඒකකයේ නිලධාරින්ටත් එහෙමයි; චන්ද්‍රිකා මැතිනියගේ ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරින්ටත් එහෙමයි. 2005 පූර්වාදර්ශය අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂක කොට්ඨාසයත් වෙනම කොට්ඨාසයක් හැටියට ස්ථාපිත වුණා.

දැන් මේ ප්‍රශ්නය මතුකර තිබෙන්නේ, ඇයි එතුමාගේ නිලධාරින්ට ඒ තුනෙන් එකේ දීමනාව ගෙවන්නේ නැත්තේ කියලායි. ගරු කථානායකතුමනි, එතුමාගේ නිලධාරින් එම යෝග්‍යතා පරීක්ෂණවලට ලක් වෙලා නැහැ. 2004  සිට අගමැති ආරක්ෂක ඒකකයත්, ඇමති ආරක්ෂක ඒකකයත් මේ තුනෙන් එකේ විශේෂ දීමනාව ලබන්නේ නැති මට්ටමට ආවා.  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිතුමා වුණාට පස්සේ, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වුණාට පස්සේ තමයි අපි නැවත අගමැති හා ඇමති ආරක්ෂක ඒකකවලට මේ තුනෙන් එකේ විශේෂ දීමනාව ගෙවන්න පටන් ගත්තේ. ඒත් ඒ යෝග්‍යතා පරීක්ෂණවලට යටත්ව. දැන් ජනාධිපති ආරක්ෂක කොට්ඨාස දෙකක් තිබෙනවා, ඇමති ආරක්ෂක ඒකකයට අනුයුක්ත කරලා නැතිව. මම උපදෙස් දුන්නා, ඒ කොට්ඨාස දෙකත් පෙර පරිදිම ඇමති ආරක්ෂක ඒකකයට අනුයුක්ත කරලා, ඒ පරිපාලනයට යටත් කරලා, යෝග්‍යතා පරීක්ෂණවලට යටත්ව  මේ විශේෂ දීමනාව ගෙවන්න කියලා. දැන් ඒ ප්‍රශ්නය විස‍‍ඳෙනවා. ඒයෝග්‍යතා පරීක්ෂණවලට ලක් වුණාට පස්සේ, ඒ පරීක්ෂණවලින් සමත් වුණාට පස්සේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිලධාරින්ටත්  ඒ තුනෙන් එකේ විශේෂ දීමනාව ලැබෙනවා ගරු කථානායකතුමනි.

(iii) විශ්‍රාමික ජනාධිපතිවරුන් වෙනුවෙන් ආරක්ෂාව සැලසීම සඳහා වෙනමම කොට්ඨාස වශයෙන් ස්ථාපිත කර ඇති විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාස iv සහ vට අනුයුක්ත නිලධාරින් ඇමති ආරක්ෂක කොට්ඨාසය වෙත වෙන වෙනම ආරක්ෂක ඒකක වශයෙන් අනුයුක්ත කිරීමෙන් අනතුරුව වාර්ෂිකව පැවැත්වෙන යෝග්‍යතා පරීක්ෂණයකින් සමත් වීමෙන් පසුව අදාළ දීමනා ලබා දීමට කටයුතු කරනු ලැබේ.

(ආ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2017-03-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සාගල රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks