01

E   |     |  

 දිනය: 2017-05-24   පිළිතුර ලබා දී ඇත 

1338/2017: කහල්ල රක්ෂිතයේ වැව් ප්‍රතිසංස්කරණය: වැඩ පිළිවෙළ

1338/’16

ගරු බිමල් රත්නායක මහතා,— තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      කහල්ල රක්ෂිතය තුළ ඇති ආක්‍රමණික ශාක ඉවත් කර ස්වභාවික වනය වැවීමටත්, එහි ඇති පුරාණ වැව් ප්‍රතිසංස්කරණය කිරීමටත් කටයුතු කරන්නේද;

            (ii)      එසේ නම්, එම දිනය කවරේද;

(iii) එම කටයුතු අවසන් කිරීමට ගතවන කාලය කවරේද;

(iv) ඒ සඳහා ශ්‍රම දායකත්වය ලබාදීමට ප්‍රදේශයේ ස්වෙච්ඡා සංවිධාන එකඟතාවය පළ කර තිබේද;

(v) ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-05-24

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

තිරසර සංවර්ධන හා වනජීවි

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්. කහල්ල, පල්ලෙකැලේ අභයභූමිය තුළ ඇති ආක්‍රමණශීලී ශාක ක්‍රමාණුකූලව ඉවත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇත. ඒ අනුව, තැනින් තැන ව්‍යාප්ත වී ඇති ගඳපාන ශාක ඉවත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2016 වර්ෂයේ සිට කටයුතු ආරම්භ කර ඇත. තවද, අභය භූමිය තුළ බහුලව ව්‍යාප්ත කර ඇති තේක්ක ශාක ඉවත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇත. එමෙන්ම ප්‍රධාන වැව් කිහිපයක් වයඹ ඇළ ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය කරන අතර, කුඩා වැව් සමූහයක් 2015 වර්ෂයේ සිට අලුත්වැඩියා කර ඇත.

ගරු කථානායකතුමනි, එක් කරුණක් ගරු බිමල් රත්නායක මන්ත්‍රීතුමාට කියන්න ඕනෑ.  Kahalla - Pallekele Sanctuary එක සම්බන්ධයෙන් නීත්‍යනුකූලව ක්‍රියා කිරීමට මට ලැබුණු බලය තුළ මීට මාස එකහමාරකට කලින් මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ප්‍රධාන වැව් දෙකක් තිබෙනවා. එයින් කළු ගඟ නඩත්තු කිරීමේ කටයුතු මෙහෙයවන්නේ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයෙනුයි. එම නිසා අනාගතයේ වනජීවී දෙපාර්තමේන්තුව වාරි පද්ධතිය නඩත්තු කිරීමේදී ප්‍රශ්න ඇති වෙයි කියලා ජනාධිපතිතුමා නිර්දේශයක් කළා.

ඒ වැව්වලට ජලය එන පද්ධතිය මහවැලියෙන් නඩත්තු කරන්නත්, රක්ෂිතය වනජීවී දෙපාර්තමේන්තුවෙන් කරන්නත් තමයි ජනාධිපතිතුමාගේ නිර්දේශයේ තිබෙන්නේ. එලෙස තමයි ඉදිරියේදී ක්‍රියාත්මක වන්නේ.

(ii) ඉහත සඳහන් කර ඇත.

(iii) සකස් කර ඇති කළමනාකරණ සැලැස්ම සඳහා අවුරුදු 5ක කාලයක් ගත වේ.

ඒ කියන්නේ ජලාශයෙන් එන ජලයත් එක්ක වනජීවී භූමියක් ඇති වනවා. ඔබතුමා දන්නවා ගල්ගමුවට, යාපහුවේ මී ඔයට වතුර නැහැයි කියලා. මේ තුළින් දුගීභාවය නැති වනවා; වියළි භූමිය තෙත් භූමියක් වනවා. එම නිසා මෙය අපට -අනුර දිසානායක මන්ත්‍රීතුමා නියෝජනය කළ වයඹ පළාතට- ඉතාම වැදගත් වනවා. ජේවීපී එකේ හිටපු අපේ නායකතුමා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තමයි ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවට ආවේ. ඒකත් තෙත් භූමියක් වනවා. ඒක ඉතාම වටිනා දෙයක්. නායකතුමා කියලා මා කිව්වේ අනුර දිසානායක මන්ත්‍රීතුමාටයි.

 

             (iv)      අදාළ ක්‍රියාකාරකම් අනුව සාකච්ඡා සිදු කෙරේ.

              (v)      ඉහත ක්‍රියාකාරකම් සියල්ල ප්‍රජා මූල සංවිධාන හරහා ක්‍රියාත්මක වේ.

                        මහජන සංවිධාන තුළින්, ගමේ සංවිධාන තුළින් තමයි ඔක්කොම කෙරෙන්නේ. ඒ එක්කම නීති විරෝධීව පදිංචි වී සිටින අයට වන්දි ගෙවනවා. ඒ අයට අපි වෙනම ඉඩම් දෙනවා. දෙල් ගහට, ගහ කොළට ඔක්කොටම වන්දි ගෙවනවා. මා ඒ සහතිකය දෙනවා. කිසි කෙනකු අසාධාරණ ලෙස ඉවත් කරන්නේ නැහැ.

එම ඉඩම්වල ඒ අය ඉන්නේ නීති විරෝධි ලෙස. නමුත් අපි තීරණය කර තිබෙනවා, කිසි කෙනෙක් අසාධාරණ විධියට ඉවත් කරන්නේ නැහැ කියලා. අපි එම වැව ප්‍රතිසංස්කරණය කරන්න ඕනෑ; අලි ටික බේරන්න ඕනෑ. නැත්නම්, මරණ ඉවරයක් නැහැ. අපට මේ කරදරවලට මුහුණ දෙන්නට වෙනවා, ඉවරයක් වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නවලට සදාකාලික විසඳුමක් විධියට එම පවුල් ටිකටත් ඉඩම් දෙනවා. දෙල් ගහටත්, කොස් ගහටත්, පොල් ගහටත්, හැම දෙයටම අපි වන්දි ගෙවනවා. නිවසේ වර්තමාන වටිනාකම තක්සේරු කරලා, ඒකටත් ගෙවනවා. මම වාරිමාර්ග සහ ජල කළමනාකරණ ඇමති විධියට කටයුතු කළ කාලයේ දැදුරුඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මම ඒක ඒ විධියටම කළා. එම නිසා ඒ සම්බන්ධයෙන් මා සහතිකයක් දෙනවා. ජනතාවගේ දියුණුවක් ඇති කරන්න අපි දැන් ඉඩම් පැවරීම ක්‍රියාත්මක කරනවා. පැවරීම ඉක්මන් කරන්න, ඔබතුමන්ලාගේ සහායත් මම ඉල්ලනවා. මෙයට බාධා කිරීමක් නොවෙයි කළ යුත්තේ. ඔබතුමන්ලාගේ සහාය මම ඉල්ලා සිටිනවා.

(ආ)  අදාළ  නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-05-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks