01

E   |     |  

 දිනය: 2017-05-04   පිළිතුර ලබා දී ඇත 

1244/2017: පානීය ජල සැපයුම් ව්‍යාපෘති: මඩකලපුව දිස්ත්‍රික්කය

1244/’16

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       1983 වර්ෂය වනවිට මඩකලපුව දිස්ත්‍රික්කය තුළ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් පිරිසිදු පානීය ජලය සපයා තිබූ නිවාස සංඛ්‍යාව කොපමණද;

(ii) මේ වනවිට පිරිසිදු පානීය ජලය සපයා ඇති නිවාස සංඛ්‍යාව කොපමණද;

(iii) 1983 වර්ෂයෙන් පසුව යුද තත්ත්වය නිම වනතුරු පානීය ජලය ලබා දීම වෙනුවෙන් එක් එක්  වර්ෂය සඳහා රජය විසින් වෙන් කරන ලද මුළු මුදල කොපමණද;

(iv) යුද තත්ත්වය නිම වීමෙන් පසු 2015 වර්ෂය වනතෙක් පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘති වෙනුවෙන් රජය වෙන් කරන ලද මුළු මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) ඉහත සියල්ලෙහිම ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාව‍ට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-05-04

අසන ලද්දේ

ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම් හා ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       1983 වර්ෂය වන විට මඩකලපුව දිස්ත්‍රික්කය තුළ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් පිරිසිදු පානීය ජලය සපයා තිබූ නිවාස සංඛ්‍යාව 700ක් වේ.

              (ii)       2017 පෙබරවාරි මස වන විට පිරිසිදු පානී ජලය සපයා ඇති නිවාස සංඛ්‍යව 39,739ක් වේ.

             (iii)       1983 - 2010 වර්ෂය සඳහා රජය විසින් වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 54.6ක් වේ.

        (iv)   2010-2015 වර්ෂයන්ට අදාළව රුපියල් මිලියන 9334.6ක් ආසියානු සංවර්ධන බැංකු 04 වන ව්‍යාපෘතිය යටතේ ලබා දී ඇත.

       (v)      1975 වර්ෂය දක්වා ජල සැපයුම නඩත්තු කරන ලද්දේ මඩකලපුව හා කාත්තන්කුඩි නගර සභා මඟිනි.

ඉන් පසු 1976දී ජල සම්පාදන මණ්ඩලය මෙම ජල යෝජනා ක්‍රම දෙක පවරා ගන්නා ලදී.

1983 වර්ෂයේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ නගර සභා බල ප්‍රදේශයේ ජල සැපයුම් 200ක් හා දිස්ත්‍රික් රෝහල්ද ඇතුළත්ව ජල සැපයුම් 500ක් පමණ ලබා දී තිබුණි. 1990 වර්ෂයේදී මෙම ජල යෝජනා ක්‍රම දෙකෙහි වැඩි දියුණු කරන ලද අතර, එමඟින් නව භූගත නල ළිං 02ක් ඌරනි හා කොක්කුවිල් ප්‍රදේශයේ ඉදි කරන ලදී.

 2005 වර්ෂයේදී සුනාමි ව්‍යසනයෙන් පසු රාජ්‍ය නොවන සංවිධාන මඟින් මෙම ප්‍රදේශවල පැරණි චීනචට්ටි හා ඇස්බැස්ටස් ජල නළ ඉවත් කර අලුතින් ජල නළ එළීම සිදු කරන ලදී.

2008 වර්ෂයේදී ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ආරම්භ කරන ලද ජල සැපයුම් ව්‍යාපෘතිය 2011 වර්ෂයේදී අවසන් කරන ලදී. එම ව්‍යාපෘතිය මඟින් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 05ක් ආවරණය කරන ලදී. එම ව්‍යාපෘතියට සමගාමීව 2006 වර්ෂයේ සිට ක්‍රියාත්මක කල්ලර්, කාලුවාන්චිකුඩි ජල සැපයුම් ව්‍යාපෘති 2008 හා 2011 වර්ෂවලදී නිම කරන ලදී. ඒ සඳහා STAART  හා හෙල්විටාස් සමාගම් මූල්‍ය දායකත්වය සපයන ලදී.

2017 වර්ෂයේ පෙබරවාරි මස වන විට මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14න් 08ක් ආවරණය කර ජනගහනයෙන් 200,000ක් සඳහා පිරිසිදු පානීය ජලය ලබා දී ඇත. ඒ අනුව 40,000කට ආසන්න ගෘහස්ථ ජල සැපයුම් ප්‍රමාණයක් ලබා දී ඇත.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2017-05-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks