01

E   |   த   |  

 දිනය: 2017-02-21   පිළිතුර ලබා දී ඇත 

1129/2017: කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා ලේකම්වරියගේ ස්ථානමාරුව: හේතු

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      2016.09.22 දින බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරයා විසින් කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය මූලික විමර්ශනයකින් තොරව සහ කිසිදු සාධාරණ හේතුවකින් තොරව ස්ථාන මාරු කළ බවත්;

(ii) මූලික විමර්ශනයකින් තොරව මාරු කිරීම් සිදු නොකරන ලෙසත්, එම මාරු කිරීම අවලංගු කරන ලෙසත් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් එදිනම දන්වා ඇති බවත්; 

(iii) බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් එසේ දන්වා තිබියදී, බස්නාහිර පළාත් සභාවේ ලේකම්වරයා හෝ පළාත් පාලන කොමසාරිස්වරයා එම දැනුම්දීම ක්‍රියාත්මක කිරීම පැහැර හැර ඇති බවත්;

(iv) කරුණු එසේ තිබියදී, ඉන් දින කිහිපයකට පසු පළාත් පාලන කොමසාරිස්වරයා ප්‍රාදේශීය සභා ලේකම්වරියට බලපෑම් කොට ස්වකැමැත්තෙන් ස්ථාන මාරුවන බවට කැමැත්ත ලබා ගත් බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) පළාත් පාලන ආයතනයක කාලය අවසන්ව තිබෙන තත්ත්වයක් යටතේ එම පළාත් පාලන ආයතනයේ ලේකම්වරයාව මූලික විමර්ශනයකින් තොරව ස්ථාන මාරු කිරීමක් කළ හැකිද;

 (ii) ඉහත අ (iii) සඳහන් පැහැර හැරීම සිදු කර නොමැති නම්, ඒ බව ඔප්පු කළ හැකිද;

(iii) මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-02-21

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)         සාධාරණ හේතු සහිතව සේවා අවශ්‍යතාව මත ස්ථානමාරු කිරීමේ තීරණයක් ගෙන ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් මා වෙත වාර්තා කර ඇත.

              (ii)       ඔව්.

             (iii)      පිළිනොගන්නා බව ප්‍රධාන ලේකම් මා වෙත වාර්තා කර ඇත.

                        බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ දැනුම් දීමට පූර්වයෙන් ස්ථානමාරුවීම් නියෝගයක් ලබා දී ඇති නමුත් ගරු ආණ්ඩුකාරතුමාගේ දැනුම් දීමෙන් අනතුරුව, එකී ස්ථානමාරු නියෝගය ක්‍රියාත්මක කර නැත.

(iv) කිසිදු බල කිරීමකින් තොරව ස්ව කැමැත්තෙන් ස්ථානමාරුව සිදුව ඇති බව ප්‍රධාන ලේකම් මා වෙත වාර්තා කර ඇත.

(ආ) (i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අංක 1898/4 හා 2015.01.19 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ වූ බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කාර්යය පරිපාටි රීති සංග්‍රහයේ 207 වගන්තියෙහි සඳහන් විධිවිධාන අනුව මූලික විමර්ශනයකින් තොරව මාරුවීමක් ලබා දිය හැක.

(ii) ස්ථානමාරුවීම් නියෝගය ක්‍රියාත්මක වී නොමැති බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් මා වෙත වාර්තා කර ඇති අතර එය පළාත් සභා කටයුත්තක් බැවින් අප අමාත්‍යාංශයට මැදිහත් විය නොහැක.

(iii) ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට අප අමාත්‍යාංශයට බලයක් නැත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2017-02-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks