01

E   |     |  

 දිනය: 2017-08-11   පිළිතුර ලබා දී ඇත 

1122/2017: මාර්ග අංක: 103,144,117 සහ 192 : ශ්‍රී ලංගම බස් ධාවනය

1122/’16

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       කොළඹ අග නගරය ආශ්‍රිතව මාර්ග අංක 103, බොරැල්ල - නාරාහේන්පිට හා මාර්ග අංක 144 රාජගිරිය - කොටුව යන මාර්ගවල කිසිදු ලංගම බස්රථයක්වත් ධාවනය ‍නොවන බවත්;

(ii) මේ හේතුවෙන් එම බස් මාර්ග පෞද්ගලික බස්රථ හිමියන්ගේ ඒකාධිකාරයට යටත් වීමෙන් එම මාර්ගවල ගමන් ගන්නා ජනතාව ගැටලු රාශියකට මුහුණ දී ඇති බවත්;

(iii) එසේම, මාර්ග අංක 117 රත්මලාන - නුගේගොඩ මාර්ගය හා මාර්ග අංක 192  මොරටුව - මහරගම මාර්ගවල ධාවනය වන්නේ එක් ලංගම බස්රථයක් පමණක් වන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) ඉහත බස් ගමන් මාර්ගවල අමතර ලංගම බස්රථය බැගින් ධාවනය සඳහා එක් කිරීමට අවශ්‍ය පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-08-11

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      දැනට ධාවනය නොවේ.      

                        මාර්ග අංක 103 වසර දොළහක පමණ කාලයක සිටද, මාර්ග අංක 144 වසර හතරක  පමණ කාලයක සිටද ශ්‍රී ලංගම බස්රථ ධාවනය කර නොමැත.

              (ii)      මාර්ග අංක 103 කොටුව-බොරැල්ල-නාරාහේන්පිට හා මාර්ග අංක 144 රාජගිරිය-කොටුව, අධික මඟී පිරිසක් ගමන් ගන්නා මාර්ග බැවින්, පුද්ගලික බස්රථ පමණක් ධාවනය කිරීම නිසා ජනතාවට ගැටලු ඇතිවිය හැකිය.

(iii) මාර්ග අංක 117 නුගේගොඩ-රත්මලාන

මාර්ග අංක 117 නුගේගොඩ-රත්මලාන මාර්ගයේ බස්රථ ධාවනය පුද්ගලික බස්රථ සමඟ ඒකාබද්ධ කාලසටහනක් අනුව ධාවනය කෙරේ. ශ්‍රී ලංගම මඟින් මෙම මාර්ගයේ බස්රථ තුනක්  ධාවනය කළ යුතුව ඇත. දැනට බස්රථ දෙකක්  පමණක් ධාවනය කෙරේ. ඉදිරියේදී සේවක අවශ්‍යතාවද සම්පූර්ණ කිරීමෙන් පසුව ශ්‍රී ලංගමට නියමිත බස්රථ තුනම ධාවනය කළ හැකි බව දන්වමි.

මාර්ග අංක 192 මොරටුව-මහරගම

මෙම මාර්ගයේ බස්රථ හයක්  ශ්‍රී ලංගම මඟින් ධාවනය කළ යුතු වුවත්, දැනට ධාවනය වනුයේ බස්රථ දෙකක්  පමණි. ඉදිරියේදී සේවක අවශ්‍යතාව සම්පූර්ණ කිරීමෙන් පසුව ශ්‍රී ලංගමට නියමිත බස්රථ ප්‍රමාණය ධාවනය කිරීමට කටයුතු කළ හැකි බව දන්වමි.

(ආ) මෙම තත්ත්වය නිවැරැදි කිරීම සඳහා ඉදිරියේදී ශ්‍රී ලංගම හා පෞද්ගලික චක්‍රීය ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී සහ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ වන වැඩසටහන්වලින් පසුව මෙම මාර්ගය සඳහා ද කාර්යක්ෂම, සුවපහසු සේවාවක් ලබා දීමට අපේක්ෂා කරමි.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-08-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks