04

E   |     |  

 දිනය: 2017-02-21   පිළිතුර ලබා දී ඇත 

1096/2017: නීති විරෝධී කටයුතු සඳහා අනුබල දුන් විදුහල්පතිවරුන් හා අධ්‍යාපන බලධාරින්: විනය ක්‍රියා මාර්ග

ගරු අශෝක ප්‍රියන්ත මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      පුත්තල‍ම දිස්ත්‍රික්කයේ පාසල්වල පැවති අ. පො. ස. (උසස් පෙළ) විභාගය සඳහා එම දිස්ත්‍රික්කයෙන් පරිබාහිර වෙනත් දිස්ත්‍රික්කවලට අයත් සිසුන් පෙනී සිටීමේ සිද්ධීන් ගණනක් වාර්තා වූ බව දන්නේද;

(ii) එම තත්ත්වය නිසා අඩු පහසුකම් යටතේ අ. පො. ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂා කරන පුත්තලම දිස්ත්‍රික්කයේ සිසුන්ට බලවත් අසාධාරණයක් සිදු වූ බව පිළිගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

‍(ආ) (i) පිටස්තර දිස්ත්‍රික්කවල සිසුන්ගේ ව්‍යාපෘති වාර්තා ව්‍යාජ ලෙස අනුමත කර පුත්තලම දිස්ත්‍රික්කයෙන් ඉහත විභාගවලට පෙනී සිටීමට අනුබල දුන් විදුහල්පතිවරුන්ගේ නම් හා ඔවුන් සේවය කරන පාසල් කවරේද;

 

(ii) එවැනි නීති විරෝධී කටයුතු කළ හා එම නීති විරෝධී කටයුතු සඳහා අනුබල දී ඇති විදුහල්පතිවරුන්ට හා අධ්‍යාපන බලධාරින්ට එරෙහිව යම් විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට අපේක්ෂා කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-02-21

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)         ඔව්.

                        පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම හා හලාවත කලාපවලින් සිද්ධීන් 221ක් වාර්තා වී ඇත. ඇමුණුම 01හි විස්තර දක්වා ඇත.  

               (ii)         පිළිගනී.

                        වෙනත් දිස්ත්‍රික්කවලට අයත් සිසුන් පුත්තලම දිස්ත්‍රික්කයෙන් අපොස (උසස් පෙළ) විභාගයට පෙනී සිටීම නිසා පුත්තලම් දිස්ත්‍රික්කයේ සිසුන්ට අසාධාරණයක් සිදුවේ.

ඉහත සිද්ධීන් මීටපෙරද වාර්තා වී ඇති අතර, 2016 වර්ෂයේ වාර්තා වූ සිද්ධීන්වලට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මූලික විමර්ශන කටයුතු සිදු කිරීමෙන් පසු අයදුම්කරුවන් 21කගේ විභාග ප්‍රතිඵල තාවකාලිකව අත්හිටුවීමට ක්‍රියා කරන ලදී.

පසුව එම අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවට කැඳවා තොරතුරු ලබා ගැනීමෙන් පසු ඔවුන්ගේ ප්‍රතිඵල දිස්ත්‍රික් කුසලතාව නො‍මැතිව නිදහස් කිරීමට කටයුතු කරන ලදී.

එසේ පැමිණි ඉහත අයදුම්කරුවන්ගෙන් 20දෙනෙකුගේ ප්‍රතිඵල දිස්‍ත්‍රික් කුසලතාව නොමැතිව නිදහස් කළ අතර, ඒ සඳහා නොපැමිණි එක් අයදුම්කරුවකුගේ ප්‍රතිඵල තවදුරටත් අත්හිටුවා ඇත. ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ අයදුම්කරුවන්ට සිදුවන අසාධාරණය වැළකෙනු ඇත.

ගරු කථානායකතුමනි, ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නය කාලයක් තිස්සේ ආ එකක්. මේ තත්ත්වය වෙනස් කරන්න අපි ගිය සැරේ ගත් තීන්දු තීරණ අනුව මේ වෙනකොට ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් පවතිනවා.

(ආ) (i) ඇමුණුම 02හි විස්තර දක්වා ඇත.

(ii) අදාළ සිදුවීම් පිළිබඳව මූලික විමර්ශන මඟින් අනාවරණය වූ කරුණු මත හලා/අල්හිරා මුස්ලිම් විදුහලේ විදුහල්පති එස්.එච්.එම්. ස්මයිල් මහතාගේ හා හලා/බර්නදෙත් දෙමළ මහ විදුහලේ විදුහල්පති බී.ඒ.ආර්. මිරැන්ඩා මහතාගේ වැඩ තහනම් කර විධිමත් විනය පරීක්ෂණයක්  පැවැත්වීමට කටයුතු කරමින් පවතී.

අනෙකුත් පාසල් 15ක විදුහල්පතිවරුන්ටද මූලික විමර්ශන පවත්වා ඇති අතර, විධිමත් විනය පරීක්ෂණ පැවැත්වීමට ඉදිරියේදී කටයුතු කර විනය පියවර ගනු ඇත.

ඇමුණුම් සභාගත* කරමි.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-02-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks