01

E   |     |  

 දිනය: 2017-04-05   පිළිතුර ලබා දී ඇත 

1066/2017: ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව : දුම්රිය එංජින් මිලදී ගැනීම

1066/’16

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සකසන ලද 2015 – 2020 ක්‍රියාකාරි  සැලැස්මෙහි දුම්රිය එංජින් මිලදී ගැනීමට විධිවිධාන සලසා නොමැති වීමට හේතුව කවරේද;

(ii) එකී සැලැස්ම ක්‍රියාත්මක නොකරන්නේ නම්, විකල්ප සැලැස්මක් සකසා තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ජාත්‍යන්තර තරඟකාරි මිල කැඳවීමකින් තොරව ඉන්දියාවෙන් දුම්රිය එංජින් මිලදී ගැනීමට සැලසුමක් තිබේද;

(ii) එසේ නම්, එයට හේතු කවරේද;

(iii) ඉන්දියාවේ දුම්රිය එංජින් නිෂ්පාදනය කරන සමාගම්වල නම් කවරේද;

(iv) ජාත්‍යන්තර තරඟකාරි මිල ගණන් නොකැඳවීම යහපාලන මූලධර්මයට එකඟද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-04-05

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       වර්ෂ 1965 පමණ වනවිට දුම්රිය එංජින් 300ක් පමණ පැවති අතර දැනට ධාවන තත්ත්වයේ පවතින්නේ එංජින් 180ක් පමණය. ඒ අනුව 2015 - 2020 ක්‍රියාකාරී සැලැස්මෙහි දුම්රිය එංජින් මිලදී ගැනීම සම්බන්ධව සඳහන් කර නොමැති වුවත් දුම්රිය මැදිරි හා ගැල් මිලදී ගැනීම අවශ්‍යතාවක් ලෙස සඳහන් කර ඇති අතර දුම්රිය මැදිරි හා ගැල් ධාවනය වැඩි කිරීම සඳහා එංජින් මිලදී ගැනීමේ අවශ්‍යතාවද පවතී.

(ii) 2015 - 2020 සැලැස්ම අනුව කටයුතු කරමින් පවතී.

(ආ) (i) ඔව්.

(ii) ඉන්දීය ණය ආධාර යටතේ ලබා දී ඇති ප්‍රතිපාදනවල ඉතිරි මුදල් භාවිතා කිරීමක් බැවින් ඉන්දියාව තුළ ඇති ආයතනවලින් පමණක් මිල කැඳවීම් කර ඇත.

(iii) දුම්රිය එංජින් නිෂ්පාදනය කරනු ලබන්නේ ඉන්දීය රජයේ ආයතනයන් වන Diesel Locomotive Works (DLW), Varanasi සහ Chittaranjan Locomotive Works (CLW) යන ආයතනයි.

(iv) ලැබී ඇති ප්‍රතිපාදන ඉන්දීය ණය ආධාර යටතේ බැවින් එම ණය කොන්දේසිය අනුව කටයුතු කළ යුතුව ඇත.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2017-07-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks