01

E   |     |  

 දිනය: 2016-12-10   පිළිතුර ලබා දී ඇත 

1035/2016: ධීවර කර්මාන්තයේ ප්‍රගතිය : ගෙන ඇති පියවර

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       “කුඩා හා මධ්‍ය පරිමාණ ධීවර කර්මාන්තය සඳහා නවීණ තාක්ෂණය හඳුන්වා දීම” යන වැඩසටහන යටතේ, 2016 අයවැය මඟින් වෙන් කරන ලද රුපියල් මිලියන 1,600 ක මුදල, එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඔබ අමාත්‍යාංශය වෙත ලැබී තිබේද;

(ii) එසේ නම්, එම මුදල් ඉහත ව්‍යාපෘති කටයුතු සඳහා යොදවා තිබේද;

(iii) මුදල් යොදවා ඇති ව්‍යාපෘති කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ගම්පහ දිස්ත්‍රික්කයේ, ධීවර කර්මාන්තය ප්‍රධාන ස්ථානයක් ගන්නා මීගමුව ප්‍රදේශයේ ධීවර කාර්මිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් කවරේද; 

(ii) එමඟින් ධීවරයන්ගේ සාමාන්‍ය මාසික ආදායම ඉහළ ගොස් තිබේද; 

(iii) එසේනම්, ඒ කවර ආකාරයෙන්ද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-12-10

අසන ලද්දේ

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්.

              (ii)      ඔව්. ප්‍රසම්පාදන කටයුතු අවසන් කරමින් පවතී.

              (iii)      යාන්ත්‍රික එක් දින යාත්‍රා හා පිටත එන්ජිම සහිත යාත්‍රා (OFRP) සඳහා ඉන්ධන සහනාධාර වෙනුවට ලබාදුන් විකල්ප සහනාධාර යටතේ එක්දින යාත්‍රා 235කට සහ පිටත එන්ජිම සහිත යාත්‍රා 966කට දැල් ආම්පන්න ලබා දීමට කටයුතු කර ඇත. මේ සඳහා යොදවා ඇති මුදල රුපියල් මිලියන 152කි. ඉතිරි රුපියල් මිලියන 1,448 බහුදින යාත්‍රා 2,228ක් සඳහා තාක්ෂණික උපකරණ කට්ටලයක් ලබා දීමට කටයුතු කරමින් පවතී.

(ආ) (i)    ·       මීගමු කළපු සංවර්ධන ව්‍යාපෘතිය.

· මීගමුව පළගතුර ශාන්ත ආනා තොටුපළට යන ප්‍රධාන අතුරු මාර්ගය සංවර්ධනය කිරීම - රුපියල් මිලියන 0.4යි.

· මීගමුව දුන්ගාල්පිටිය කොස්ගහවත්ත තොටුපළට ආවරණ වහලය සැකසීම - රුපියල් මිලියන 0.6යි.

· මීගමුව අලිඅප්පු උතුර තොටුපළට ආවරණ වහලය සැකසීම - රුපියල් මිලියන 1යි.

· සෙත්තපාඩුව අලිඅප්පු මැද තොටුපළට අවරණ වහලය සැකසීම - රුපියල් මිලියන 0.6යි.

· මීගමුව කැපුන්ගොඩ ආඩිමුල්ල තොටුපළට ආවරණ වහලය සැකසීම - රුපියල් මිලියන 45යි.

· කැපුන්ගොඩ සිවිල් ගුවන් සේවා තොටුපළට ආවරණ වහලය සැකසීම - රුපියල් මිලියන 1.5යි.

· පලගතුරේ ප්‍රජා ශාලාව ඉදිකිරිම - රුපියල් මිලියන 1.996යි.

· ඉහත යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවලට අමතරව කුඩා හා මධ්‍ය පරිමාණ ධීවර කර්මාන්තය සඳහා නවීන තාක්ෂණය හඳුන්වාදීමේ වැඩසටහන යටතේ මීගමුව දිස්ත්‍රික්කයටද විකල්ප සහනාධාර යටතේ එක්දින යාත්‍රා හා දැල් ආම්පන්න ලබාදීමට කටයුතු කර ඇත.

(ii) මෙම ව්‍යාපෘති බොහොමයක් විශේෂයෙන්ම යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති වන අතර, ධීවර කාර්මිකයන්ගේ ආදායම් අනිවාර්යයෙන්ම ඉහළ ගොස් තිබිය යුතුය.

(iii) පහසුකම් ලබාදීම තුළින් කර්මාන්ත නතර කර සිටින ධීවරයන් නැවත කර්මාන්තයට අවතීර්ණ වීම හා ගුණාත්මකභාවයෙන් යුතු අගය එකතු කළ මත්ස්‍ය නිෂ්පාදන සැකසීම කළපු සංවර්ධනය මඟින් ඒවායේ මත්ස්‍ය අස්වැන්න ඉහළ යාම වැනි හේතූන් මත ධීවරයන්ගේ ආදායම් ඉහළ යාම සිදුවේ.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2016-12-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks