01

E   |     |  

 දිනය: 2016-09-20   පිළිතුර ලබා දී ඇත 

0811/2016: ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලබා දී ඇති රැකියා: විස්තර

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ඌව පළාත් වත්මන් ප්‍රධාන අමාත්‍යවරයා එම තනතුරට පත්වීමෙන් පසු පළාත් සභාවේ විවිධ ආයතනවල මේ දක්වා පුද්ගලයන්ට ලබා දී ඇති රැකියා සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම පුද්ගලයන්ගේ නම් හා රැකියා ලබා දී ඇති ආයතන වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) රැකියා ලබා දීම සඳහා අනුගමනය කර ඇති ක්‍රියාමාර්ගය කවරේද;

(iv) එම රැකියා අවස්ථා දේශපාලන පක්ෂ භේදයකින් තොරව ලබා දී තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-09-20

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඌව පළාත් වත්මන් ප්‍රධාන අමාත්‍යතුමා බලයට පත්වීමෙන් පසු ලබා දුන් මුළු රැකියා සංඛ්‍යාව - 1816 (එක්දහස් අටසිය දහසයයි)

 

              (ii)      එම පුද්ගලයන්ගේ නම් හා රැකියා ලබා දී ඇති ආයතනවල සාරාංශය ඇමුණුම් අංක 01 වශයෙන් ද ඊට අදාළ විස්තර පහත ඇමුණුම්වල ද සඳහන් කර ඇත.

                අධ්‍යාපන අමාත්‍යාංශය - ඇමුණුම් අංක 02  {පිටු අංක 1(i)- 1 (xxxix) දක්වා}

ක්‍රීඩා අමාත්‍යාංශය - ඇමුණුම් අංක 03 {පිටු අංක 1(i) - 1(iv) - දක්වා}

සෞඛ්‍ය අමාත්‍යාංශය - ඇමුණුම් අංක 04 {පිටු අංක 1(i) - 1(ii) - දක්වා}

කෘෂිකර්ම අමාත්‍යාංශය - ඇමුණුම් අංක 05 {පිටු අංක 1(i) - 1(ii) - දක්වා}

මාර්ග අමාත්‍යාංශය - ඇමුණුම් අංක 06 {පිටු අංක 1(i) }

ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව - ඇමුණුම් අංක 07 {පිටු අංක 1(i) -  (v) - දක්වා}

ඇමුණුම් සභාගත* කරමි.

 

(iii) (i) ආයතනවල ඇති වන පුරප්පාඩු සඳහා ඌව පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය මත තනතුරුවලට අදාළව අනුමත බඳවා ගැනීමේ පරිපාටියේ සඳහන් සුදුසුකම් මත බඳවා ගැනීම් සිදු කර ඇත.

            (ii) කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ වර්ගීකරණය අනුව MN 1 හා ඊට ඉහළ සේවා ගණවලට අයත් තනතුරු සඳහා (දීප ව්‍යාප්ත සේවයේ තනතුරු හැර) බඳවා ගැනීමේ බලතල ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පවරා ඇත.

ඒ අනුව එකී තනතුරුවල පවතින පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කරන මෙන් ඌව පළාතේ ප්‍රධාන ලේකම්ගේ නිර්දේශ අනුව බඳවා ගැනීම් සම්බන්ධයෙන් ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව කටයුතු සිදු කර ඇත.

ඌව පළාතේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හා ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය අනුව එක් එක් තනතුරුවලට අදාළ බඳවා ගැනීමේ පරිපාටියේ විධිවිධාන අනුගමනය කරමින් අයදුම්පත් කැඳවීමට කටයුතු කර ඇති අතර, බාහිරව හා අභ්‍යන්තරව සම්පූර්ණ කළ යුතු පුරප්පාඩු සංඛ්‍යා පදනම් කරගෙන බාහිර හා අභ්‍යන්තර අයදුම්කරුවන්ගෙන් වෙන් වෙන් වශයෙන් පුවත් පතේ හෝ ගැසට් පත්‍රයේ පළ කරන අයදුම්පත් කැඳවීමේ නිවේදන සහ අභ්‍යන්තර නිවේදන මඟින් අයදුම් පත් කැඳවා ඇත.

නියමිත සුදුසුකම් සහිත අයදුම්පත් සංඛ්‍යාව පුරප්පාඩු සංඛ්‍යාවට වඩා වැඩි වූ විට තරග විභාගයක ලකුණුවල ප්‍රමුඛතාව මත ද, අයදුම්පත් සංඛ්‍යාව පුරප්පාඩු සංඛ්‍යාවට වඩා අඩු වූ විට සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණයක නිර්දේශ මත ද බඳවා ගැනීම සිදු කර ඇත.

ඒ අනුව අදාළ අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ හා බඳවා ගැනීමේ පරිපාටිවල සඳහන් කොන්දේසි අනුව ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහ ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය අනුව සියලු පත්වීම් ලබා දී ඇත.

(iii) ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පවරා ඇති බලතල ප්‍රකාරව PL කාණ්ඩයේ සේවා ගණවලට අයත් තනතුරුවලට බඳවා ගැනීම අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානින් හා පළාත් පාලන ආයතන ප්‍රධානින් වෙත පවරා ඇත.

ඒ අනුව ඒ ඒ ආයතනවල ඇති වන පුරප්පාඩු ඉතා සීමිත බැවින් ඒ සඳහා අයදුම්පත් කැඳවා විභාග පවත්වා බඳවා ගැනීම් සිදු කළහොත් ඒ සඳහා වැය වන කාලය, ශ්‍රමය, ධනය ඉතා අධික බැවින් බඳවා ගැනීමේ පරිපාටියෙන් බැහැරව බඳවා ගැනීමට ගරු ආණ්ඩුකාරතුමාගේ පූර්ව අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරයි. එම අනුමැතිය ලද පසු සම්මුඛ පරීක්ෂණයක් මඟින් සුදුස්සන් තෝරා ගනු ලබයි. එසේ තෝරා ගනු ලැබූ අයදුම්කරුවන් වෙත පත්වීම් ලබා දීමට නැවත ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය ලබා ගෙන අදාළ පත්වීම් බලධාරින් විසින් පත්වීම් ලබා දෙනු ලැබේ.

(iv) ඔව්.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2017-01-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks