02

E   |     |  

 දිනය: 2016-02-11   පිළිතුර ලබා දී ඇත 

0224/2016: තාක්ෂණවේදය විෂය ධාරාව: විශ්වවිද්‍යාල ප්‍රවේශය

224/’15

 

ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      2013.07.15 දින උසස් පෙළ විෂය ධාරාව සඳහා තාක්ෂණවේදය නමින් නව විෂය ධාරාවක් හඳුන්වා දුන් බවත්;

             (ii)      ආරම්භයේදී පාසැල් 252ක ශිෂ්‍යයන් 14,000ක් සඳහා එම විෂය ධාරාව ඇරඹූ බවත්;

(iii) 2016 වසරේ උපාධි පාඨමාලා හැදෑරීම සඳහා තාක්ෂණවේදය විෂය ධාරාව තෝරාගත් ශිෂ්‍යයන් 3000කට ඉඩකඩ ලබාදෙන බවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එකඟ වූ බවත්;

(iv) රජයේ විශ්වවිද්‍යාලයන්හි උපාධි පාඨමාලාවන්ට අමතරව ශිෂ්‍යයන් 6000කට ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව (NVQ) යටතේ අධ්‍යාපනය ලබාදීම සඳහා විශ්වවිද්‍යාල විද්‍යායතන (University Colleges) ආරම්භ කළ බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) 2014 වර්ෂයේ තාක්ෂණවේදය විෂය ධාරාව ක්‍රියාත්මක වූ පාසැල් සංඛ්‍යාව;

(ii) දෙවැනි කණ්ඩායම ලෙස එම විෂය ධාරාව තෝරාගත් ශිෂ්‍යයන් සංඛ්‍යාව;

(iii) උසස් පෙළ සඳහා තාක්ෂණවේදය හැදෑරූ ශිෂ්‍යයන් අතරින් 2016 වර්ෂයේදී විශ්වවිද්‍යාල සඳහා සහ විශ්වවිද්‍යාල විද්‍යායතන සඳහා ඇතුළත් කරගැනීමට සැලසුම් කරනු ලබන ශිෂ්‍යයන් සංඛ්‍යාව;

වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-02-11

අසන ලද්දේ

ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      2013 ජූලි මස 15වන දින දිවයින පුරා පාසල් 251ක අපොස උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව ආරම්භ කළ අතර 13,170ක් වූ පළමු ශිෂ්‍ය කණ්ඩායම 2015 වර්ෂයේදී අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින ලදී.

             (iii)      මෙම විෂය ධාරාව හදාරා සාමාර්ථය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2025ක් විශ්වවිද්‍යාලයන්හි තාක්ෂණවේදී උපාධිය හැදැරීම පිණිස තෝරා ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සැලසුම් කර ඇත.

(iv) විශ්වවිද්‍යාල ප්‍රවේශය නොලබන එහෙත් විභාගය සමත් සිසුන්ට නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය විසින් අලුතින් ආරම්භ කරන ලද රත්මලාන, කුලියාපිටිය, යාපනය, අනුරාධපුරය සහ මාතර යන විශ්වවිද්‍යාල විද්‍යායතන (University Colleges) සඳහා එක් විද්‍යායතනයකට 600ක් බැගින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3,000කට උසස් තාක්ෂණ ඩිප්ලෝමාව ලබා ගැනීම සඳහා ඉඩ ප්‍රස්ථාව සලසා දෙනු ඇත.

(ආ) (i) මුල් වටයේ පාසල් 251ක් සහ දෙවන වටයේ පාසල් 171ක් වශයෙන් පාසල් 422ක විෂය ක්‍රියාත්මක වේ. මෙම පාසල් ප්‍රමාණයෙන් දෙවන වටයේ තාවකාලික අනුමැතිය ලබා දී ඇති පාසල් 171න් ලබා ගත් ශිෂ්‍ය සහ ගුරු තොරතුරු මත විෂය ක්‍රියාත්මක කිරීම සඳහා විධිමත් අනුමැතිය ලබා දීම පිණිස ලේඛන සකස් කර, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ නිර්දේශ සඳහා දැනට යොමු කර ඇත. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ නිර්දේශ සැලකිල්ලට ගෙන අධ්‍යාපන අමාත්‍යාංශයේ ව්‍යුහ කමිටු අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

(ii) ශිෂ්‍යයන් 15,177කි.

(පළාත් අනුව වෙන් වෙන් වශයෙන් ශිෂ්‍ය සංඛ්‍යාව ඇමුණුම 01හි දක්වා ඇත.)

(iii) ඔව්.

BSc (Engineering Technology) -    700

BSc (Bio System Technology)  -     825

BSc (IT/ICT)                        -    500ක්

වශයෙන් (2025 දෙනෙක්)

පාඨමාලා සඳහා බඳවා ගැනීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් දැනුම් දී ඇත.

(විශ්වවිද්‍යාල මට්ටමෙන් අයදුම්කරුවන් සංඛ්‍යාව ඇමුණුම 02හි දක්වා ඇත.)  

විශ්වවිද්‍යාල විද්‍යායතන හා තාක්ෂණ විද්‍යාලවලට බඳවා ගන්නා සංඛ්‍යාව පිළිබඳ එකඟතාව ලබා ගැනීම සඳහා දැනටමත් අන්තර් අමාත්‍යාංශ කමිටුව මඟින් සාකච්ඡා ආරම්භ කර ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2016-02-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks