04

E   |     |  

 දිනය: 2015-11-23   පිළිතුර ලබා දී ඇත 

0164/2015: හමුදා සේවයෙන් ඉවත්ව සිටින සෙබළුන්: අර්ධ විශ්‍රාම වැටුප

164/’15

 

ගරු ලකී ජයවර්ධන මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      උතුරු නැගෙනහිර ක්‍රියාන්විත රාජකාරියේ නියැලී සිටි, ශ්‍රී ලංකා යුද හමුදා සෙබළු විශාල සංඛ්‍යාවක් වසර 12ක් යුද හමුදාවේ සේවය කර හමුදා සේවයෙන්   ඉවත්ව සිටින බවත්;

(ii) ඔවුන් මේ වනවිට ඉතා අසරණ තත්ත්වයෙන් පසුවන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) යුද හමුදාවේ වසර 12ක් සේවය කර හමුදා සේවයෙන් ඉවත්වී සිටින සෙබළුන් සංඛ්‍යාව කොපමණද;

(ii) ඔවුන්ට සහනයක් සැලසීමට කටයුතු කරන්නේද;

(iii) රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ එම පිරිසට අර්ධ විශ්‍රාම වැටුපක් ලබාදීම සුදුසු බව පිළිගන්නේද;

(iv) එසේ නම්, එම අර්ධ විශ්‍රාම වැටුප ලබා දීමට කටයුතු සලසන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ඇ) නොඑසේ නම් ඒ මන්ද? 

 

අසන ලද දිනය

2015-11-23

අසන ලද්දේ

ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්. ශ්‍රී ලංකා යුද හමුදා සේවයට බඳවා ගන්නා හමුදා සෙබළකු (සෙසු නිලයකු) ට ඔහුගේ තීරණය මත වසර 12ක් සේවය කර එයට අදාළ ප්‍රතිලාභ ලබාගෙන සේවයෙන් ඉවත් වීමට හෝ වසර 22 සම්පූර්ණ කිරීමෙන් පසු විශ්‍රාම වැටුපට හිමිකම් කියමින් ඉවත් වීමට හැකියාව ඇත.

              (ii)      වාර්තා වී නොමැත.

(ආ)         (i)      නිවැරදි සංඛ්‍යාවක් ලබා දීමට අපහසු අතර කඩිනමින් ලබා දීමට කටයුතු කරනු ලැබේ.

(ii) ඔව්. යුද හමුදාවේ වසර 12ක් සේවය කර ඉවත් වන සෙබ‍ළකු සඳහා ලැබෙන දීමනා පහත සඳහන් පරිදි වේ:

1. සේවා පාරිතෝෂිකය

එහිදි මාසික ඒකාබද්ධ වැටුප, සලාක දීමනාව, සුදුසුතා වැටුප සහ යහපත් පැවැත්මේ ලාංඡන දීමනාව සහ සියල්ලේ මුළු එකතුව මෙන් 24 ගුණයක සේවා පාරිතෝෂිකයක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මඟින් ගෙවනු ලැබේ.

2. සේවයෙන් ඉවත් වන විට ඔහු අවිවාහකව සිටියේ නම්, වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප සඳහා එතෙක් ගෙවන ලද මුදල, ඊට අදාළ පොලිය ද සමඟ ආපසු ගෙවනු ලැබේ.

3. සුභසාධක අරමුදල සහ යහසාධක අරමුදලට එතෙක් ගෙවන ලද මුදල් ඊට අදාළ පොලිය ද සමඟ ආපසු ගෙවනු ලැබේ.

තවද, වසර 12ක සේවා කාලයෙන් පසු යුද්ධ හමුදාවෙන් අස්ව ගොස් සිටි සාමාජිකයන් හට නැවත බඳවා ගැනීමේ කටයුතු 2006.07.04 දින සිට 2010.02.10 දින දක්වා සිදු කර නැවත යුද්ධ හමුදා සේවයට එක් වීමට අවස්ථාව ලබා දී ඇත. එසේ  නැවත සේවයට බැඳී අවුරුදු 22ක සේවා කාලය සම්පූර්ණ කළේ නම් ඔවුනට පූර්ණ විශ්‍රාමික වැටුප හිමි වන්නේ ය.

(iii)  සේවයට බඳවා ගන්නා සෙබළුන් අතරමඟදී එය හැර නොගොස්, සම්පූර්ණ සේවා කාලය වන වසර 22ක් සම්පූර්ණ වන තුරු සේවය කිරීමට උනන්දු කරවීම හා ඒ තුළින් ඔවුන්ගේ පරිණත සේවය රට වෙනුවෙන් ලබා ගැනීමත්, එම සේවා කාලය අවසානයේ පූර්ණ විශ්‍රාම වැටුප ප්‍රදානය කරමින් විශ්‍රාම යැවීමත් වඩාත් යෝග්‍ය බව අවධාරණය කරමි.

        (iv)  පැන නොනඟී.

(ඇ)   පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-12-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks