02

E   |     |  

 දිනය: 2015-11-21   පිළිතුර ලබා දී ඇත 

0093/2015: පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම : පදිංචිය සනාථ කිරීම

93/’15

 

ගරු වාසුදේව නානායක්කාර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      පාසල්වල පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේදී තමන් ජීවත්වන වාසස්ථානයට හිමිකම් පෙන්වන ඔප්පුවක් නොමැතිකම මත පමණක්ම සම්මුඛ පරීක්ෂණයට පවා නොකැඳවුනු අවස්ථා තිබෙන බවත්; සහ

(ii) පසුගිය ආණ්ඩු සමයේ ඔප්පු නැතිකම මතම පමණක් පාසලට ඇතුළත්කර නොගත්තා වූ දරුවන් සම්බන්ධයෙන් වෙනම අභියාචන කමිටුවක් පත්කළ බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) පාසල්වල පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේදී පදිංචිය සනාථ කිරීම සඳහා පදිංචිකරුවන් විසින් අදාළ ඉඩමේ ඔප්පුව ඉදිරිපත් කළයුතු බවට නීතියක් තිබේද;

(ii) ඔප්පු නොමැතිකම මතම පමණක්, පාසල්වලට අද දක්වා ඇතුළත් කර නොගත් දරු දැරියන් සංඛ්‍යාව කොපමණද; සහ

(iii) හිමිකම් ඇති නැති බව නොසලකා පදිංචිය සනාථ වේ නම්, එය සුදුසුකම ලෙස සාධාරණව නිරාකරණය කිරීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-11-21

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      අදාළ නොවේ.

                        පදිංචිය සනාථ කිරීමට ඔප්පුවක් නොතිබුණ ද අනෙකුත් ලේඛන (ඡන්ද හිමි නාම ලේඛනය/ජාතික හැඳුනුම්පත/විදුලි බිල්පත්/ජල බිල්පත්/ දුරකථන බිල්පත්/ විවාහ සහතිකය ආදිය) මඟින් පදිංචිය සනාථ වන්නේ නම් එවන් සෑම කෙනෙක්ම සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලැබේ.

              (ii)      ඔප්පු නොමැතිකම මත වෙනම අභියාචනා කමිටුවක් පත් නොකරන ලදී. එහෙත් පළමු ශ්‍රේණියට හා අනෙකුත් ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමේදී අසාධාරණයට ලක් වූවන්ගේ අභියාචනා සලකා බැලූ අතර, එම අවස්ථාවේදී එසේ ඔප්පු නොමැති අයගේ අභියාචනා ද සලකා බැලීමට ලක් කර ඇත.

(ආ) (i) නැත.

පදිංචිය සනාථ වන ලිපි ලේඛන පමණක් ප්‍රමාණවත්ය. සියලුම ගණයන් සඳහා ලකුණු ලබා දෙනු ලබන පටිපාටියක් පවතී. එහි උපරිම ලකුණු සංඛ්‍යාව 100කි. මෙහිදී ආසන්න පදිංචිකරුවන්ගේ ගණය සඳහා පදිංචිය සනාථ කරන ලිපිලේඛන හා ළඟම තිබෙන පාසල්වලට ලකුණු අඩු කිරීම සඳහා ලකුණු 90ක් ලබා දෙන අතර, පදිංචිය තහවුරු කරන ලේඛන වශයෙන්

ඔප්පුවට ලකුණු 10ක්ද

දෙමාපියන්ගේ නමට තිබේ නම් ලකුණු 06ක් ද

ලියාපදිංචි බදු ඔප්පුව/රජයේ නිල නිවාස ලේඛනය/නීත්‍යනුකූලව පිළිගත හැකි අයිතිය තහවුරු කරන වෙනත් ලේඛන සඳහා ලකුණු 04 ක් ද

ලියාපදිංචි නොකළ බදු ඔප්පුව සඳහා ලකුණු 02ක් ද වශයෙන් ලකුණු ලබා දේ.

මෙම ලේඛනයට ලබා දෙනු ලබන ලකුණු සමස්ත ලකුණට බලපෑමක් ඇති නොකිරීම සඳහා ලකුණු 10ට අඩු කර ඇත.

මේ සඳහා ලකුණු නොලැබුණා වුවද අනෙකුත් ලකුණුවලින් පාසලට ඇතුළත් වීමට හැකියාව ඇති අතර, එසේ පාසල්වලට ඇතුළත් වූ ළමයින් විශාල පිරිසක් සිටී.

(ii) එසේ සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකියාවක් නොමැත. ප්‍රායෝගිකව මේ සඳහා දිගු කාලයක් ගත වන බැවින් එසේ නිශ්චිත සංඛ්‍යාවක් ලබා දීමට හැකියාවක් නොමැත.

  (iii) ඔව්. දැනටමත් එසේ සිදු කරනු ලබයි. එහෙත් ලබා දී ඇති ලකුණු පටිපාටියකට අනුව ඉල්ලුම්කරුවන්ගෙන් සුදුසුකම් අනුව පමණක් තෝරා ගැනීම සිදු කරනු ලබයි.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2015-11-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks