04

E   |     |  

 දිනය: 2015-12-09   පිළිතුර ලබා දී ඇත 

0089/2015: නොමිලේ ශිල්පීය හෝ වෘත්තීමය පුහුණුව ලබා දීම: පහසුකම්

89/’15

 

ගරු වාසුදේව නානායක්කාර මහතා,— නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      අ.පො.ස. (සා.පෙළ) සමත් තරුණ තරුණියන්, රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවලට බඳවා ගැනීමට ප්‍රථම ඔවුන්ගේ කුසලතාවයන් හා හැකියාවන් මත නොමිලේ ශිල්පීය හෝ වෘත්තීමය පුහුණුවක් ලබාදීම සඳහා දැනට ඇති පහසුකම් ප්‍රමාණවත්ද;

(ii) එසේ නොමැති නම්, පහසුකම් වැඩිකළ යුතු ප්‍රමාණය කවරේද; 

(iii) වෘත්තීය හා ශීල්පීය පුහුණුව සඳහා ඇති විෂය මාලාවන් අදට කොතරම් ගැලපේද; එසේ නොමැති නම්, ප්‍රමාණවත්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) උක්ත පුහුණුලාභීන් කිසිදු දේශපාලන බලපෑමකින් තොරව, සුදුසුකම් හා හැකියාවන් මත පමණක් රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රැකියාවලට බඳවා ගැනීම සඳහා  අවශ්‍ය ප්‍රතිපත්තියක් හා සුදුසු ක්‍රමවේදයක් සකසන්නේද;

(ii) රජයේ ඇබෑර්තු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීමේදී, පිරවීමට නියමිත තනතුරු සංඛ්‍යාව එම දැන්වීම සමග පළ කිරීමෙන් තරුණ තරුණියන් අනවශ්‍ය අපේක්ෂා භංගත්වයකට පත්වීම වැළැක්විය හැකි බව පිළිගන්නේද;

(iii) එසේ නම්, ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-12-09

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයන්හි පවත්වනු ලබන වෘත්තීය පුහුණු පාඨමාලා අතරින් බොහෝ පාඨමාලා නොමිලේ පවත්වා ගෙන යනු ලැබේ. වාර්ෂිකව වෘත්තීය පුහුණු ආයතනය මඟින් ඉල්ලුම්පත් කැඳවා පුවත් පත් දැන්වීම් පළ කරන අතර, ඒ සඳහා ඉල්ලුම් කරන සිසුන් පාඨමාලාවලට ඇතුළත් කරනු ලැබේ. ඒ අනුව සමහර පුහුණු පාඨමාලා සඳහා පවතින පහසුකම් ප්‍රමාණවත් වන නමුත්, සමහර පාඨමාලා සඳහා සුදුසුකම් ලත් ගුරුවරුන්ගේ හා වර්තමානයට ගැළපෙන පරිදි නවීන තාක්ෂණයෙන් යුත් උපකරණ ඇතුළු භෞතික සම්පත්වල අවශ්‍යතාව පවතී. මේ පිළිබඳව කටයුතු කරමින් පවතී.

(ii) පවත්වනු ලබන පුහුණු පාඨමාලාවන්හි ගුණාත්මකභාවය මෙන්ම නවීන තාක්ෂණ ක්‍රමවේදයන්ට අනුව අනෙකුත් පහසුකම් තවදුරටත් වැඩි දියුණු කළ යුතු වේ. එසේම වෘත්තීය පුහුණුව සඳහා යොමු නොවෙන සිසුන් වෘත්තීය පුහුණුව සඳහා යොමු කර ගැනීමට කටයුතු කරන අතර, එසේ වැඩි වන ප්‍රමාණයන්ට අනුවද තවදුරටත් භෞතික හා මානව සම්පත් පුළුල් කිරීම අවශ්‍ය වේ.

  (iii) වෘත්තීය හා ශිල්පීය පුහුණුව සඳහා ඇති විෂයය මාලාවන් රැකියා වෙ‍ළෙඳ පොළේ ඉල්ලුමට ගැළපෙන ආකාරයට මේ වන විට සකස් කරමින් පවතී.

කාර්මික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ක්ෂේත්‍රයේ හඳුනාගත් වෘත්තීන් 213ක් සඳහා ජාතික නිපුණතා සම්මත හා විෂය මාලා සකස් කර ඇති අතර, මින් 162ක් ජාතික සහතික පත් පාඨමාලා වන අතර, 51ක් ජාතික ‍ඩිප්ලෝමා පාඨමාලා වේ. කර්මාන්ත ක්ෂේත්‍රවලින් කරන ඉල්ලීම් මත සහ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු සැලසුම් මඟින් හඳුනාගන්නා වෘත්තීන් සඳහා කාලීනව විෂයය මාලා සංවර්ධනය කරනු ලැබේ.

මෙම සෑම ජාතික නිපුණතා සම්මත හා විෂය මාලාවක්ම අවුරුදු 2ත් 3ත් අතර කාලයක් තුළදී යාවත්කාලීන කරනු ලැබේ. මේවා සංවර්ධනය කිරීම සහ යාවත්කාලීන කිරීම කරනු ලබන්නේ අදාළ කර්මාන්ත ක්ෂේත්‍ර නියෝජනය කරනු ලබන පුද්ගලයන්ද ඇතුළත් කමිටුවල සහභාගිත්වයෙන් බැවින් මෙම විෂය මාලා කර්මාන්ත ක්ෂේත්‍රයේ තාක්ෂණික නිපුණතා සඳහා අවශ්‍ය පරිදි සකස් වේ.

කෙසේ නමුදු පුහුණු වන්නන්ගේ, ඉංග්‍රීසි භාෂාවද ඇතුළත්ව මෘදු කුසලතාවන්ගේ සංවර්ධන අවශ්‍යතාව හඳුනාගෙන ඇති අතර, එම අවශ්‍යතා සපුරා ලීම සඳහා කටයුතු සූදානම් කරමින් පවතී.

(ආ) (i) නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය මඟින් රැකියා වෙළෙඳ පොළෙහි අවශ්‍යතා හඳුනාගනිමින්, ඒ සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් බිහි කර ඔවුන් සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි අවම වශයෙන් මාස 06ක ප්‍රායෝගික පුහුණුවක් ලබා දීමෙන් අනතුරුව රැකියා වෙළෙඳ පො‍ළට ඉදිරිපත් කිරීම සිදු කරනු ලබයි.    

(ii) පිළිනොගනිමි.

(iii) දැනටමත් රාජ්‍ය අංශයේ ආයතනවලට ප්‍රසිද්ධ පුවත් පත් දැන්වීම් මඟින් බඳවා ගැනීමට කටයුතු කිරීමේදී පුරප්පාඩුවලට අදාළ තනතුරු සංඛ්‍යාවද සඳහන් කරනු ලැබේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2016-02-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks