01

E   |     |  

 දිනය: 2015-10-21   පිළිතුර ලබා දී ඇත 

0079/2015: විදුලි වැට ව්‍යාපෘති : විස්තර

79/’15

 

ගරු චන්දිම ගමගේ මහතා,— තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ)         (i)      පසුගිය වසර පහක පමණ කාලයක සිට අලි - මිනිස් ගැටුම උග්‍ර අතට හැරුණු අතර එමගින් අදටත් මිනිස් ජීවිත මෙන්ම අලි සම්පත ද විනාශ වෙමින් පවතින බවත්; සහ

             (ii)      අවිධිමත්ව හා සැලසුමකින් තොරව විදුලි වැටවල් ඉදිකිරීම තුළින් වන අලින්ගෙන් ගම්මාන ආරක්ෂා වීම වෙනුවට අසාධාරණ ලෙස තමන්ගේ ඉඩකඩම් හා ගේ දොර අහිමිවීමෙන් ගම්මානවල ජීවත්වන ජනතාව අසරණ භාවයට පත්වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

 (ආ) (i) පසුගිය කාලයේදී ඉදිකල හා ඉදිකිරීමට යෝජිත විදුලි වැට ව්‍යාපෘති ගණන කොපමණද;

(ii) විදුලි වැට ඉදිකර ඇති දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) මේ වනවිට අක්‍රියව ඇති විදුලි වැටවල් සංඛ්‍යාව කොපමණද; සහ

(iv) ඉහත (අ) (ii)හි සඳහන් සිද්ධීන්වලට මුහුණ දුන් ජනතාවට සාධාරණය ඉටු කිරීම පිණිස හා එවැනි පැමිණිලි භාර ගැනීමට නිසි ක්‍රමවේදයක් අමාත්‍යාංශය තුළ ස්ථාපනය කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-10-21

අසන ලද්දේ

ගරු චන්දිම ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

තිරසර සංවර්ධන හා වනජීවි

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      විදුලි වැට ඉදිකිරීම තුළින් ඉඩම් සහ ගේදොර අහිමි වීම සම්බන්ධව වාර්තා වී නොමැත.

                        දැනට ඒ ප්‍රදේශවලින් අපට දෛනිකව වාර්තා ලැබෙනවා. අපට ලැබෙන වාර්තා අනුව පියවර ගැනීමට අප කටයුතු කරනවා. අපි ඒ ජනතාවට අලුතින් රක්ෂණ ක්‍රමයකුත් ඇති කරන්න කටයුතු කරනවා. මේ අය වැය විවාදයේ මගේ කථාවේදී ඒ ගැන මා ප්‍රකාශ කරනවා. නමුත්, මා මේ අවස්ථාවේදී කියන්න ඕනෑ, ලබන ජනවාරි මාස‍යේ ඉඳලා ඒ අයගේ නිවාස සම්පූර්ණයෙන් හදලා දෙන්න ගරු සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමා සමඟ අපි දැන් සාකච්ඡා කර තිබෙන බව. ඒ වාගේම කෘෂිකර්ම අමාත්‍යාංශයත් එක්ක මගේ අමාත්‍යාංශය දැන් සාකච්ඡා කරලා තිබෙනවා, ඒ අයගේ විනාශ වූ භෝග ප්‍රමාණය බලලා කෘෂි රක්ෂණය තුළින් වන්දියක් ලබා දෙන්න. රක්ෂණය කරන කොට ගොවිජන සේවා සහතිකයක් තිබෙනවා නේ. ඒ සහතිකය යටතේ විනාශ වූ භෝග ප්‍රමාණයට වන්දි ගෙවීමට අපි පියවර ගන්න බලාපොරොත්තු වනවා. මම දැන්ම ඒක ප්‍රකාශ කරන්න කැමැති නැහැ.

නමුත්, කෙටියෙන් මා ඒ ගැන කියනවා. අමාත්‍යාංශ හතරක් එසේ එක්ව කටයුතු කරනවා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශයත් එක්කත්, කෘෂිකර්ම අමාත්‍යාංශය එක්කත් එකතු වී කටයුතු කරනවා. මෙලෙස එක් වුණු අමාත්‍යාංශ හතරකින් ලැබෙන සහන හා රක්ෂණ ක්‍රම තුළින් අපි ගොවියාට, ඒ අහිංසක අයට සහනයක් සලසා දෙනවා.

(ආ) (i) වනඅලි මිනිස් ගැටුම පාලනය කිරීමේ එක් විසඳුමක් ලෙස විදුලි වැට ඉදිකිරීම සිදු කරන අතර පසු ගිය කාලයේදී ඉදි කළ විදුලි වැට කිලෝමීටර් 2,900ක් පමණ වේ. ඉදිරියේදී ඉදි කිරීමට යෝජිත විදුලි වැට ප්‍රමාණය කිලෝමී‍ටර් 3,000ක් පමණ වේ.

ගරු කථානායකතුමනි, ලංකාව ව‍ටා අලි-මිනිස් ගැටුම තිබෙන ප්‍රදේශවල තව කිලෝමීටර් 3,000ක ප්‍රමාණයක විදුලි වැට ගහන්න තිබෙනවා. මේ ගහනවා; මේ කඩනවා. ඒවා කඩන්නේ කවුද? අලිත් දැන් කපටි වෙලා. මම මේ දවස්වල එක් එක් දිස්ත්‍රික්කවලට යනවා. මම ගිය සුමානේ බුත්තලට ගියා. අලියා ගිහින් දළෙන් කම්බිය උස්සා විදුලි වැට කඩා දමා තිබුණා. ඊළඟට, අලියා කණුවක් ගන්නවා; කණුවෙන් ගහලා යනවා. අපි ළඟ පින්තූර තිබෙනවා. ඉස්සෙල්ලා ලොකු අලි ටික යනවා. ඊට පසුව අලි පැටවු ටික තල්ලු කර ගෙන කම්බියෙන් පැන පැන යනවා, හරියට අපි හොරකම් කරන්න යනවා වාගේ.

 

(ආ)        (ii)       විදුලි වැට ඉදි කර ඇති දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඇමුණුමෙහි දක්වා ඇත. මම එම ඇමුණුම සභාගත* කරනවා.

                        ගරු කථානායකතුමනි, පොළොන්නරුව කලාපයේ මුතුගල බෝධිගොඩආරුව කියන ස්ථානය දැනට වතුරෙන් යට වෙනවා. අපි දැන් ගමත් එක්ක කථා කරනවා. ගමේ සමහර අය බලෙන් ගිහිල්ලා ඒ මායිම්වල හේන් ගොවිතැන් කරනවා. අපි ඒ ප්‍ර‍ශ්න විසඳාගෙන යනවා.  ඊයේ පෙරේදා දවසක අම්පාර දමනේවෙල ප්‍රදේශයේ අලි රෑනක්ම ගියා. මොකද ඒ? වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් වෑකණ්ඩිය හදන්න ගිහිල්ලා කම්බිය කපලා තිබෙනවා. එතැනින් අලි රෑනම ගියා. ඒ ගැන  වාර්තාවක් දෙන්න කියලා මම එස්පීටත් කිව්වා. මම අද දයා ගමගේ ඇමතිතුමා එක්ක එතැන බලන්න යන්නයි හිටියේ. නමුත් එතුමාට අද පාර්ලිමේන්තුවේ කථා කරන්න තිබෙනවා.  [බාධා කිරීමක්]

 

(ආ)       (iii)      මේ වන විට ඉදි කරන ලද විදුලි වැටවල් 04ක් අක්‍රිය තත්ත්වයේ පවතී. ඒවා නම්,

 

විදුලි වැට

යථාතත්ත්වයට පත් කිරීමට ‍ගන්නා පියවර

01

පොළොන්නරුව කලාපය

 

 

මුතුගල බෝධිගොඩආරුව කි.මි.7

මෙම විදුලි වැට ජනතාවගේ කුඹුරු පැවතීම හේතුවෙන් විල්ලු ප්‍රදේශයක ඉදි කිරීම හේතුවෙන් ජලයෙන් යටවීම නිසා  අක්‍රිය වී ඇත.  ඉදිරියේදී විදුලි වැට ගම්මාන මායිමෙන් ඉදි කිරීමට අපේක්ෂිත ය.

 

දමනේවෙල නුවරගල සිට පහලයක්කුරේ කි.මි.28

මහවැලි අධිකාරියෙන් ඉදි කළ විදුලි වැටකි. කිහිපවරක් පුනරුත්ථාපනය කළද අක්‍රියව ඇති බැවින් එම විදුලි වැට පුනරුත්ථාපනය කිරීමට අපේක්ෂිතයි.

02

දකුණ කලාපය

 

 

කුඩා ඉඳිවැව මලලආර කි.මි. 10

විදුලි වැට කම්කරුවන් යෙදුවද මේ වන විට නඩත්තුවෙන් ඉවත්ව ඇති බැවින්, වැට නඩත්තුව සිදු නොවීමෙන්  අක්‍රිය වී ඇත. විදුලි වැට නඩත්තුවට සිවිල් ආරක්ෂක භටයන් යෙදවීමට අපේක්ෂිතව ඇත.

03

ඌව කලාපය

 

 

කිරිඳිඔය දෙමෝදර කි.මි. 20 (පැලවත්ත සීනි සමාගමේ විදුලි වැටකි)

වැට පුනරුත්ථාපනය කර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට නඩත්තු කටයුතු සිදුකිරීම භාර දීමට අපේක්ෂිතය.

(iv) අලි සංරක්ෂණය හා කළමනාකරණ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හරහා අලි මිනිස් ගැටුම තවදුරටත් අවමකොට මිනිස් ජීවිත මෙන්ම වන අලින්ගේ සංරක්ෂණ කටයුතු කර ගැනීමට අවශ්‍ය සැලසුම් මේ වන විටත් සකස්කොට අවසන්ව ඇත.

විදුලි වැට ඉදි කිරීම හේතුවෙන් යම් ඉඩමක් තමුන්ට අහිමි වන බව දන්වන්නේ නම් ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමට වනජීවි අධ්‍යක්ෂ ජනරාල්ට හැකියාව ඇත.

අපි මේ  ඔක්කෝටම පියවර අරගෙන තිබෙනවා. ගරු කථානායකතුමනි, අපි මේ කටයුතු ගමට බාරදෙනවා. ගමත් එක්ක අපි කටයුතු කරනවා. ඊළඟට, අලියා අකැමැති දේවල් ටිකක් තිබෙනවා. ඒ මොනවාද? තල්ගස්. යාපනයේ දිසා ලේකම්තුමාට තල් පැළ ලක්ෂ 3ක් දීලා තිබෙනවා. අපි ඒවා දැන් ඒ ගම්වල අයට බෙදනවා. The Hon. Members from Jaffna  know that.  [බාධා කිරීමක්] 

(ඇ) පැන නොනඟී.

 

*  සභාමේසය මත තබන ලද ඇමුණුම:

   சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :

   Annex tabled:

 

 

 

 

විදුලි වැට ඉදිකළ දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

 

 

දිස්ත්‍රික්කය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

අම්පාර

අම්පාර, දෙහිඅත්තකණ්ඩිය,  දමන, ලාහුගල, උහන, අඩ්ඩාලච්චේන

මඩකලපුව

කෝරළේපත්තුව දකුණ

පොළොන්නරුව

දිඹුලාගල, ඇලහැර, තමන්කඩුව, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ, වැලිකන්ද, ලංකාපු‍ර

මාතලේ

විල්ගමුව, නාවුල, ලග්ගල, ගලේවෙල

ත්‍රිකුණාමලය

කන්තලේ, සේරුවිල, නගර හා කඩවත්, මොරවැව

අනුරාධපුරය

රාජාංගණය, මහවිලච්චිය, තලාව, කැකිරාව, ගල්නෑව, පලාගල

කුරුණෑගල

නිකවැරටිය, පොල්පිතිගම, ඇහැටුවැව, ගල්ගමුව, කොටවෙහෙර, ගිරිබාව

පුත්තලම

නවගත්තේගම, කරුවලගස්වැව, වනාතවිල්ලුව, පුත්තලම

මහනුවර

මිනිපේ

නුවරඑළිය

හඟුරන්කෙත, වලපනේ

හම්බන්තොට

තිස්සමහාරාමය, හම්බන්තොට, සූරිය වැව

මොනරාගල

කතරගම, තණමල්විල, බුත්තල, වැල්ලවාය, සෙවනගල

රත්නපුරය

ඇඹිලිපිටිය, වැලිගෙපොල

වන්නිය

වන්නි

බදුල්ල

මහියංගනය, කන්දකැටිය

 

පිළිතුරු දුන් දිනය

2015-11-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks