පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
74/’15
ගරු බුද්ධික පතිරණ මහතා,— අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම්පතක් නොමැති පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද;
(ii) ඔවුන්ට ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට ක්‍රියා නොකළේ මන්ද;
(iii) එම පිරිසට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු කරන්නේද;
(iv) එසේ නම්, ඒ කෙසේද;
(v) එම හැඳුනුම්පත් නිකුත් කරනු ලබන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට රජය කටයුතු කරමින් සිටින්නේද;
(ii) එසේ නම්, වයස අවුරුදු 18 ඉක්මවූ සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට හැඳුනුම්පතක් ලබා දීමට එම ක්‍රමය යටතේ හැකිවේද;
(iii) ඒ සඳහා ඇති සැලසුම් කවරේද;
(iv) එම නව ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට බලාපොරොත්තුවන මුදල කොපමණද;
(v) නව හැඳුනුම්පත සඳහා ජනතාවගෙන් මුදලක් අයකරගන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-11-30
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සංඛ්‍යාව නිශ්චිතව කිව නොහැක. 175,000ක්, 200,000ක් අතර ප්‍රමාණයකට හැඳුනුම්පත් ලබා දීමට තිබෙන බව අනුමාන කළ හැක.
2014.10.15 දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශ තුළ හැඳුනුම්පත් මේ වනවිටත් ලබා නොගත් පිරිස පිළිබඳව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් තොරතුරු කැඳවා ඇත. ඒ අනුව 2014.10.15 දින වනවිට හැඳුනුම්පත් ලබා නොගත් පිරිස 250,000ක් නොඉක්මවන බව කිව හැකිය. 2015.11.15 දින වනවිට 175,000ක පමණ ප්‍රමාණයකට ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම්පත් ලබා දීමට තිබෙන බව සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළ හැකි වුවද, එසේ ලබා දී ඇති පිරිසෙන් මිය ගිය පිරිස, විදේශගතව සිට විදේශීය රටවල පුරසිභාවය ලබා ගැනීමෙන් ශ්‍රී ලාංකීය පුරවැසිභාවය අහිමි වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු නිශ්චිතව ලබා ගත නොහැකි බැවින්, හැඳුනුම්පත් ලබා ගත යුතු පිරිස කොපමණද යන්න ස්ථිරව ප්‍රකාශ කළ නොහැක.
(ii) උපත සම්බන්ධ පැහැදිලි ලේඛන නොමැති වීම හා හැඳුනුම්පතක් ලබා ගැනීමට අවශ්‍යතාවක් නොමැති වීම නිසා සමහර පුද්ගලයන් ඒ සඳහා ඉල්ලුම් කර නොතිබීම;
ශ්‍රී ලාංකීය දෙමාපියන්ට දාව විදේශීය රටවල උපත ලද දරුවන් 1948 අංක 18 දරන පුරවැසි පනතේ 5වන වගන්තිය යටතේ ලියාපදිංචි වී නොතිබීම;
ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා ගත් බවට පැහැදිලි ලේඛන නොමැති වීම;
හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීමේදී ඉදිරිපත් කර ඇති සහතිකවල නිර්ව්‍යාජ බව තහවුරු නොවීම.
1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතෙහි 8වන වගන්තියට අනුව වයස අවුරුදු 16ට හෝ ඊට වැඩි සෑම අයෙකුම හැඳුනුම්පත ලබා ගැනීම අනිවාර්යය වේ. එහෙත් උප්පැන්න සහතික නොමැති වීම, උපත් ලියා පදිංචි වී නොතිබීම, කල් ගිය උපත් ලියා පදිංචි කිරීම හා අනුමාන වයස් සහතික ලබාගැනීමට උනන්දු නොවීම මීට බලපා ඇත. උප්පැන්න සහතික වෙනුවට විකල්ප ලේඛන (කේන්දර පිටපත්, පාසල් හැර යෑමේ සහතික, දරුවන්ගේ සහතික සමඟ උපත් විස්තර සනාථ කරන දිවුරුම් ප්‍රකාශයක්) ඉදිරිපත් කොට හෝ හැඳුනුම්පතක් ලබාගැනීමට ඇතැමුන් කටයුතු නොකරන බව පෙනේ. විදේශ රටවල උපත ලබන ශ්‍රී ලාංකික දරුවන් පුරවැසි පනතේ 5(2) වගන්තිය යටතේ ලියා පදිංචි කළහොත් පමණක් එම දරුවන්ට ශ්‍රී ලාංකික පුරවැසි බව හිමි වේ. එහෙත් ඇතැම් දෙමාපියන් එම කටයුතු සිදු කර නොමැත. ඉහත තත්ත්වය අනුව ඇතැම් පුද්ගලයන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමට නොහැකිව ඇත.
(iii) ඔව්.
උපත් විස්තර සනාථ කිරීමට සහතික ඉදිරිපත් කිරීමට නොහැකි පුද්ගලයන්ට විකල්ප ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියාත්මක වී හැඳුනුම්පත් ලබා දීමේ වැඩ පිළිවෙළක් සැලසුම් කොට ඇත.
(iv) a. සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් හැඳුනුම්පත් ලබා නොගෙන සිටින පිරිස දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම;
b. උප්පැන්න සහතික නොමැති, අනුමාන වයස් සහතික නොමැති හෝ එවැනි ලේඛනවල අඩු පාඩු සහිත තැනැත්තන් දැනුවත් කර, ඒ අයහට විවාහ සහතික, දරුවන්ගේ උප්පැන්න සහතික මඟින් හෝ හිස් ප්‍රතිඵල ලේඛන මඟින් හා දිවුරුම් ප්‍රකාශ මඟින් හෝ පුද්ගලයා සම්බන්ධව ඇති කේන්දර පිටපත්, දිවුරුම් ප්‍රකාශ හා පදිංචිව සිටින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කරන ලද ග්‍රාම නිලධාරි විසින් පුද්ගලයාගේ තොරතුරු සනාථ කර සකස් කරන ලද ග්‍රාම නිලධාරි වාර්තා මඟින් හෝ එම පුද්ගලයාගේ උපන් දිනය, උපන් ස්ථානය හා නම පිළිබඳ සනාථ කළ හැකි අනෙකුත් ලියවිලි මඟින් හා දිවුරුම් ප්‍රකාශ මඟින් හෝ හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු කිරීම;
c. විදේශයකදී උපත ලද ශ්‍රී ලාංකික දෙමාපියන්ගේ දරුවන් පුරවැසි පනත යටතේ ලියා පදිංචි කර නැත්නම් හෝ යම් තැනැත්තෙකුගේ පුරවැසිභාවය සනාථ නොවේ නම් එම කරුණු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් ඉටු කරවාගැනීමට උපදෙස් දී නියමිත ලෙස එම සහතික ඉදිරිපත් කළ පසු හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කිරීම;
d. ඉහත ක්‍රමවේදයන් පිළිබඳව සියලු ප්‍රාදේශීය ලේකම්වරුන්හට ලිඛිතව ම වරින්වර උපදෙස් දී ඇති අතර, ඒ අනුව 2014 වසරේ සිට මේ වන තෙක් දිවයින පුරා ජංගම සේවා 312ක් පවත්වා එහිදී හැඳුනුම්පත් 15,307ක් නිකුත් කර ඇත. 2014.02.28 දින සිට පරිගණක ක්‍රමවේදයන් ඔස්සේ ද සිංහල හා දෙමළ භාෂාවලින් හැඳුනුම්පත් මුද්‍රණය කර ලබා දීම තුළින් එම කාර්යය කඩිනම් කර ඇත.
(v) මේ වන විටත් ඉහත (iv) හි සඳහන් පරිදි හැඳුනුම්පත් නිකුත් කිරීම කඩිනමින් සිදු කරමින් පවතී.
(ආ) (i) ඔව්.
2016 වර්ෂයේදී නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට අවශ්‍ය සැලසුම් සහ ඉදිරි පියවරයන් මේ වන විටත් සකස් කර ඒ සඳහා 2015.10.07වන දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.
(ii) ඔව්.
නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත වයස අවුරුදු 15ක් හෝ ඊට වැඩි සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලබාගැනීමට හැකි වන පරිදි 1968 අංක 32 දරන පුද්ගලයන් ලියා පදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීමට අදාළ කටයුතු කර ඇති අතර, ඒ සඳහා 2015.10.14වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර, ඊයේ දවසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මඟින් මේ සංශෝධන අනුමත වී ඇත.
(iii) 1968 අංක 32 දරන පුද්ගලයන් ලියා පදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීම හා ඊට අදාළ රෙගුලාසි සකස් කිරීම.
දත්ත එකතු කිරීමේ කටයුතු සඳහා පුද්ගලයන් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාල මෙහෙයුම් මධ්‍යස්ථාන ලෙස ස්ථාපිත කිරීම සහ අවශ්‍ය යටිතල පහසුකම් සකස් කිරීම.
වයස අවුරුදු 15 හෝ ඊට වැඩි සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ජීවදත්ත, ජීවමිතික ලක්ෂණ ලෙස ඇඟිලි සලකුණු හා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (International Civil Aviation Organization - ICAO) ප්‍රමිතියට අනුකූලව ලබාගන්නා එම අයගේ ඡායාරූප හා පවුලේ තොරතුරු ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් ලබාගැනීම; එම තොරතුරු විද්‍යුත්කරණයට ලක් කිරීම තුළින් ජාතික පුද්ගල නාම ලේඛනය මධ්‍යම දත්ත ගබඩාවක් ලෙස ස්ථාපිත කිරීම; එමඟින් විද්‍යුත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331 හි පුද්ගලයන් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ඒකක පිහිටුවනු ලබන අතර, උතුරු හා නැඟෙනහිර පළාත් සඳහා පළාත් කාර්යාල පිහිටුවා එමඟින් ඉල්ලුම් පත්‍ර හා ලේඛන විද්‍යුත් මාර්ගයෙන් (online system) ලබාගැනීමට කටයුතු සූදානම් කර තිබීම.
ඉහත කාර්යයන් සම්බන්ධව නිලධාරින් පුහුණු කර ඉදිරි කටයුතු සඳහා සූදානම් කර ඇත.
(iv) රුපියල් බිලියන 08කි.
ජාතික පුද්ගල නාම ලේඛන ස්ථාපිත කිරීම හා විද්‍යුත් ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර තිබූ මුදල රුපියල් බිලියන 14.5කි. එම ඇස්තමේන්තු මුදල රුපියල් බිලියන 8කට සංශෝධනය කර ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතිය කඩිනම් කිරීමේ සැලැස්ම සඳහා 2015.10.07 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.
(v) ඔව්.
1968 අංක 32 දරන පුද්ගලයන් ලියා පදිංචි කිරීමේ පනතේ 9වන, 16වන සහ 17වන වගන්ති අනුව යම් තැනැත්තෙකු ලියා පදිංචි වී හැඳුනුම්පතක් ඉල්ලුම් කිරීමේදී හා හැඳුනුම්පතේ දෙවන පිටපතක් ඉල්ලුම් කිරීමේදී අදාළ ගාස්තු ඉල්ලුම්කරු විසින් ගෙවිය යුතුය. එම ගාස්තුව පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයක පළ කරනු ලබන නිවේදනයකින් නියම කළ යුතුය. යම් කෙනෙකුට දරිද්‍රතාව හේතුකොට ගෙන ගාස්තු ගෙවීමට අපහසු වන්නේ නම් ගාස්තු අත හැරීමේ සහතිකයක් නිකුත් කිරීමට කොමසාරිස් ජෙනරාල්වරයාට, දිස්ත්‍රික් ලේකම්වරයාට හෝ ප්‍රාදේශීය ලේකම්වරයාට පනතේ 36වන වගන්තියට අනුව බලතල පැවරිය හැක.
(ඇ) ඉහත (v) පිළිතුර අනුව අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2016-02-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එස්. බී. නාවින්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks