04

E   |     |  

 දිනය: 2015-11-30   පිළිතුර ලබා දී ඇත 

0072/2015: අධිවේගී මාර්ග හේතුවෙන් ගංවතුර තර්ජනයට ලක් වූ ප්‍රදේශ: මුදා ගැනීම

72/’15

 

ගරු බුද්ධික පතිරණ මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන්  ඇසීමට,— 

(අ)         (i)       දක්ෂිණ, කටුනායක - කොළඹ සහ පිටත වටරවුම් යන අධිවේගී මාර්ග හේතුවෙන් කුඹුරු ඉඩම්, තෙත්බිම් හා ගංගා පිටාර තැනි ආදියට හානි සිදු වී ඇති බවත්;

             (ii)       ඒ හේතුවෙන් ගංවතුර තර්ජනයකට අධිවේගී මාර්ග අවට ජනයා මුහුණ දී සිටින බවත්;

(iii) මෙම පරිසර හානිය සමස්ත රටේම පරිසර තුලිතතාවට බලපාන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) අධිවේගී මාර්ග හේතුවෙන් ගංවතුර තර්ජනයට ලක් වී තිබෙන ප්‍රදේශ එම තර්ජනයෙන් මුදා ගැනීමට පියවර ගෙන තිබේද;

(ii) එසේ නම්, එම පියවර කවරේද;

(iii) හානියට ලක් වූ පරිසර පද්ධතීන් සංරක්ෂණයට එතුමා පියවර ගෙන තිබේද;

(iv) එසේ නම්, එම පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) ඉහත අ(ii)හි සඳහන් ගංවතුර තර්ජනය හා සම්බන්ධ වන අනෙකුත් අමාත්‍යාංශ සමඟ ඒකාබද්ධ වැඩසටහනක් තිබේද;

(ii) එසේ නම්, එම වැඩසටහන කුමක්ද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-11-30

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      දක්ෂිණ, කොළඹ - කටුනායක හා පිටත වටරවුම් මාර්ග ව්‍යාපෘති I සහ  II  යන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම පරිසර අධිකාරිය,                  ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වැනි රජයේ ආයතනවල අනුමැතිය ලබාගෙන ඇත. එකී අනුමැතියට යටත්ව පාරිසරික බලපෑම් පිළිබඳව එම ආයතනවල කොන්දේසි මත අධිවේගී මාර්ග හේතුවෙන් එම මාර්ග දෙපස ඇති කුඹුරු ඉඩම්, තෙත්බිම් හා ගංගා පිටාර තැනි ආදියට සිදු ‍විය හැකි හානිය අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇත.

(ii) අධි‍වේගී මාර්ග ඉදිකිරීමට පෙර සිට ගංවතු‍ර තර්ජන පැවති ප්‍රදේශවල තවමත් ගංවතුර අවදානමක් ඇති නමුත්, අධිවේගී මාර්ග නිසා එම තත්ත්වය වර්ධනය ‍වීමක් නිරීක්ෂණය කර නොමැත.

(iii) පරිසර සමතුලිතතාවයට බලපෑමක් සිදු වී ඇති බවට සාධක ඉදිරිපත් වී නොමැත.

(ආ) (i) අධික වර්ෂාවන් පවතින අවස්ථාවල ඇති වන පිටාර වතුර සහ විශාල ගංවතුර බැස යාමේ බාධක පවතින බව නිරීක්ෂණය වූ අවස්ථාවල වහාම එය නිවැරදි කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇත.

(ii) අධිවේගී මාර්ග නිසා එකතු වන අමතර ජල ප්‍රමාණය මඟින් ජල ගැලීම් තත්ත්වයක් ඇති නොවන පරිදි ජලය බැස යාම සඳහා දෙපස ඇති ජලාපවහන මාර්ග පළල් කර සංවර්ධනය කිරීම සිදු කර ඇති අතර, එම ජලාපවහන පද්ධති අවශ්‍ය පරිදි නඩත්තු කිරීමට කටයුතු කරනු ලබයි.

‍ එමෙන්ම අධිවේගී මාර්ග ඉදි කිරීමට ප්‍රථම ඒ සඳහා විධිමත් පාරිසරික බලපෑම් ඇගයීමක් සිදු කර එම ඇගයීම අනුව ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කරමින් අධිවේගී මාර්ග ඉදි කර ඇත.

එම මාර්ග සැලසුම් කිරීමේදී සියලු ජල පෝෂක ප්‍රදේශ සඳහා ජල විද්‍යාත්මක විශ්ලේෂණය, ජල ගැලීම් අවදානමක් ඇති ප්‍රදේශ හඳුනා ගැනීම, සියලු පාලම් හා බෝක්කු සඳහා ජල විද්‍යාත්මක සැලසුම් නිර්මාණය කිරීම යන කරුණු පදනම් කර ගෙන සියලු බෝක්කු හා පාලම් නිර්මාණය කර ඇත.

(iii) අධිවේගී මාර්ග හේතු කොට ගෙන පරිසරයට බලපාන විශේෂ ගංවතුර තත්ත්වයක් මතු වී නොමැති වුවද පරිසර පද්ධතියට ඇති විය හැකි බලපෑම් අවම කිරීම සඳහා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන කාලයේදී පරිසර ඇගයීම් වාර්තාව අනුව අවශ්‍ය පියවර ගෙන ඇත.

(iv) පහත්බිම් හරහා ඉදි කරනු ලබන මාර්ග කොටස් සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව ඉදිරිපත් කර ඇති යෝජනා සැලකිල්ලට ගෙන දිගු පාලම් - viaducts - පාලම්, බෝක්කු හා අනෙකුත් වතුර බැස යාමට අවශ්‍ය ඉදි කිරීම් සිදු කිරීම.

ඉවුරු ඛාදනය වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම.

ඉහත මාර්ග ඉදිකිරීමේදී ජලය බැසයාම සඳහා පවත්නා කුඩා ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම.

කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී මීගමුව කළපුව හරහා වැටී ඇති බැවින්, එමඟින් වන බලපෑම අවම කිරීම සඳහා එම කළපුව විශාල කිරීම.

(ඇ) (i) ඔව්.

(ii) ඉහත සඳහන් මාර්ග සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව,  ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ අදාළ ව්‍යාපෘතිය නිරන්තර සම්බන්ධීකරණය කරනු ලබයි. තවද, ගොවි සංවිධාන සහ බලපෑමට ලක්වන පුද්ගලයන් සහ පුද්ගල කණ්ඩායම් සමඟ සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සිදු කරනු ලබයි.

(ඈ)   පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2016-02-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks